කෑගල්ලෙන් වැඩි ඡන්ද ලක්ෂ 2ක් සමඟින් කනක හේරත් පෙරමුණේ | සිළුමිණ

කෑගල්ලෙන් වැඩි ඡන්ද ලක්ෂ 2ක් සමඟින් කනක හේරත් පෙරමුණේ

බරගමුව පළාත මායා රටට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 ක් හා ග්‍රාමසේවා වසම් 574 ක් අයත් වෙයි. කෑගල්ල වනාහි වර්ග කිලෝ මීටර 1663 විශාලත්වයකින් යුත් දිස්ත්‍රික්කයකි. කොළඹ සිට කිලෝ මීටර 104 ක් දුරින් පිහිටා ඇති මෙහි ලංකාවේ විශාල තම මිනිරන් පතල පිහිටා ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ඛනිජ ද්‍රව්‍යය වන්නේද මිනිරන්ය.

කෑගල්ල භූමි ප්‍රමානයෙන් රබර් වගාව සියයට 33 කත්, තේ වගාව සියයට 6කත්, වී වගාව අක්කර 29000 කත් වගා කෙරෙයි. සුළු අපනයක භෝග වන කරාබු අක්කර 1883 ක්ද ගම්මිරිස් අක්කර 1669 ක්ද කෝපි අක්කර 1173 ක්ද කොකෝවා අක්කර 1132 මෙහි වගා කෙරෙයි.

2019 වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය 8,87000 කි. 1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක දී ම කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි වුණේ මන්ත්‍රී ධූර 9ක් පමණි. මෙතෙක් පැවති මහා මැතිවරණවල දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ 2010 මහා මැතිවරණයේ දී යි. එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 7ක් ලබාගත්තේ 66.89%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමිනි.

කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 9 කට ලියාපදිංචි දේශපාලන පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 7 ක නියෝජිතයින් 228 ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි තරග වැදුණහ. මේ සඳහා භික්ෂූන් වහන්සේලා පස්නමක් හා කාන්තාවන් 16 දෙනෙක්ද අයත්ය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 574 කදි පැවැත් වූ අතර ඒ සදහා රාජ්‍ය නිළධාරින් 7000 කට ආසන්න පිරිසක් සහභාගි වූහ. මෙවර පිය පුතු රාශියක්ද තරඟ බිමට එක්විය. කෑගල්ල හිටපු මහ ඇමති වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ පුත් කනක හේරත් , කෑගල්ල හිටපු මන්ත්‍රී ජගත් බාලසූරිය මහතාගේ තාරක බාලසූරිය හිටපු මන්ත්‍රී එච්. ආර් මිත්‍රපාල මහතාගේ පුත් දුෂ්මන්ත මිත්‍රපාල යන අය පොදුජන පෙරමුනෙන්ද හිටපු මන්ත්‍රී වින්සන්ට් පෙරේරාගේ පුත් සුජිත් සංජය පෙරේරා සබරගමුව පළාත් හිටපු මන්ත්‍රි ඩබ්ලිව්. එස් . සෝමපාල මහතාගේ පුත් සුරේස් සංජීව මහතා සමගි ජන බලවේගයෙන්ද හිටපු මන්ත්‍රී යූ.එල්.එම්.ෆාරුක් මහතාගේ පුත් නිහාල් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැඳුනහ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරිම කෑගලු බාලිකා විද්‍යාලයේ හා ස්වර්ණ ජයන්ති විද්‍යලයේදි සිදුවිය.

මෙම මහජන නියෝජිතයින් තෝරා පත්කිරීම සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සුදුසු කම් ලැබු ඡන්දදායකයින් පිරිස 684,189 ක්ද වේ. එම ප්‍රමානය පසුගිය ජනාධිපති මැතිවරණයට ලියාපදිංචි වූ සංඛ්‍යාවට වඩා 7648 කින් වැඩිවී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දායක පිරිසක් වාර්තා වන්නේ මාවනැල්ල කොට්ඨාශයෙන් වන අතර එහි ඡන්ද දායක පිරිස 97,819 කි. දෙවන ස්ථානය දැදිගම මැතිවරණ කොට්ඨාශය වන අතර එහි ඡන්ද සංඛ්‍යාව 91,389 කි. අනෙකුත් මැතිවරණ කොට්ඨාශය වන රුවන්වැල්ලෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් 78,596 ක්ද, යටියන්තොටින් 78,082 ක්ද, කෑගල්ලෙන් 74,813ක් ද, දැරණියගලින් 70,938 ක්ද, ගලිගමුවෙන් 69,656 ක්ද, රඹුක්කනින් 68,571 ක්ද, අරණායකින් 54,325 ක් ද වෙයි. මෙවර කෑගල්ල දිස්ත්‍රික්කයේ සුදුසු කම් ලැබු ලියාපදිංචි තැපැල් සංඛ්‍යාව 33,955 කි. මෙවර මැතිවරණ පැමිණිලි 38 ක් ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැත. කෑගල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70% කි.

 

Comments