ඇතුළත් පිටතත් උණුසුම් වූ මාතර | සිළුමිණ

ඇතුළත් පිටතත් උණුසුම් වූ මාතර

කොවිඩ්19 බිය පහව යමින් තිබිය දී මහ මැතිවරණයේ දින තීන්දුවූයේ යළි මහ මැතිවරණ සටන කරලියට ගෙනඑමිනි. පක්ෂ විපක්ෂ තරග බිම මෙන්ම පක්ෂ අභ්‍යන්තරයන් තුළ ද තරගය වැඩිකරමින් ඇරඹි මැතිවරණ සටන මාතර ජනතාවට අලුත් අත්දැකීමක් එක් කළේ මැතිවරණ සටනේ දී ප්‍රවීනයන්ට අභියෝගයක් වෙමින් නවකයින් තරග බිබේ පෙළහර පෑමට පටන්ගැනීමත් සමගය. මේ නිසාම මැතිවරණ සටනේ වැඩිම අවධානයට ලක්වූ දිස්ත්‍රික්ක අතරින් ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වූයේ මාතරය. සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක මංගල සමරවීර මෙවර තරගයෙන් ඉවත්වීමත් රාජපක්ෂ පවුලේ සාමාජිකයකු ලෙස නිපුන රණවක මැතිවරණයට ඉදිරිපත්කිරීමත් ඊට ප්‍රධාන හේතුව විය. එහෙත් එම කතාවට එහා ගිය කතා බවට පත්වූයේ මන්ත්‍රීධූර වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයන් තුළ හටගෙන තිබූ දැඩි තරගයයි. විටක පෙණෙන මානයේත් තවත් විටක නොපෙණෙන මානයේත් ඇතුළතත් පිටතත් උණුසුම්වෙමින් මැතිවරණය ව්‍යාපාරය පෙරට ගියේය.

පක්ෂ හා කණ්ඩායම් අතර තරගය වෙනුවට තම තමන්ගේ කණ්ඩායම්තුළ තරගයක් බවට පත්ව ඇ දී ගිය මැතිවරණ ව්‍යාපාරය කෙළවරවූයේ පසුගිය 05 වැනිදා දිනය නිමාවට පත්කරමින් ජනතාව සියයට හැත්තෑවකට (70%)වඩා ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශයට පත්කිරීමත් සමගය. එය පසුගියජනාධිපතිවරණයට වඩා අඩු මට්ටමක පැවතීම සුවිශේෂී සිදුවීමක් විය.

මෙවර මැතිවරණයේ දී මාතර ජනතාව අතර දැඩි අවධානයක් මෙන්ම කතාබහක් ද ඇතිව තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මන්ත්‍රීධුර වෙනුවෙන් ඇතිවී තිබූ ප්‍රබල තරගයයි. මැතිවරණයේ දී ඩලස් අලහප්පෙරුම පසුගිය මහ මැතිවරණයේ දී මෙන්ම මෙවරද දිස්ත්‍රික්කයේ පළමුවැන්නා වනු ඇතැයි ඇතැම් අය මත පළකරද් දී එම පාක්ෂිකයින් අතර තවත් කොටසක් මත පළකළේ නවක අපේක්ෂකයකු වන නිපුන රනවක ප්‍රථම ස්ථානය ලබාගනු ඇති බවයි. එමෙන්ම කංචන විජේසේකර ද මනාප ප්‍රතිඵලයේ ඉදිරියෙන්ම සිටිනු ඇති බව ද තවත් මතයක් බවට පත්ව තිබුණි. මෙම මතයන්ට හේතුවී තිබුනේ නිපුන රණවක දිස්ත්‍රික්කයේ ආසන හත පුරාම දියත්කර තිබූ ප්‍රබල ප්‍රචාරක වැඩසටහන නිසා මෙන්ම තරුණ ප්‍රජාව වැඩි වශයෙන් ඔහු වටා රැස්වීමත් ඔහු ඩී. ඒ. රාජපක්ෂ ගේ මුණුපුරෙකුවූ නිසාය. එමෙන්ම ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ද එකට සිටිමින් දිස්ත්‍රික්කය පුරා ඇවිදිමින් ජනතාවගේ හදවතට කතාකරමින් දියත්කළ ප්‍රචාරක වැඩසටහන ද ජනතා ආකර්ශණය දිනාගැනීමට ප්‍රබල සාධකයක්ව පැවැතියේය.

මාතර දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වූයේ ඉතිහාසයේ මෙතෙක් සිදුව නැති ප්‍රතිඵලයක් ද සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුන්ලක්ෂ පනස්දෙදහස් දෙසිය දාහතක් ඡන්ද ලබාගනිමින් මන්ත්‍රී ධූර හයක් ලබාගනිද් දී සමගි ජන බලවේගය ඡන්ද හැත්තෑදෙදහස් හත්සිය හතළිහක් ලබාගනිමින් එක් මන්ත්‍රී ධූරයක් ලබාගත්තේය. මාතර මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ප්‍රතිඵලයක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම ඡන්ද ප්‍රතිඵලයේ විශේෂිම අවස්ථාව වන්නේ පළපුරුදු අපේක්ෂකයින් අබිබවා නවකයින් පෙරට පැමිණිමයි. ඒ අනුව මනාප ප්‍රතිඵල මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමුවැන්නා බවට පත්ව ඇත්තේ මනාප එක්ලක්ෂ තිස්එක්දහස් දහයක් ලබාගත් නවක අපේක්ෂකයකුවූ නිපුන රණවක ය. දෙවැනි තැනට ද මනාප ලබා ඇත්තේ නවක අපේක්ෂකයකුවූ ව්‍යාපාරික කරුණාදාස කොඩිතුවක්කු ය. ඔහු ලබාගෙන ඇති මනාප ප්‍රමාණය එක්ලක්ෂ දාහතර දහස් තුන්සිය දහනයකි. තුන්වැනි ස්ථානයට මනාප ලබාගෙන ඇත්තේ ඩලස් අලහප්පෙරුම ය. එම මනාප ප්‍රමානය එක්ලක්ෂ තුන්දහස් පන්සිය තිස්හතරකි. හතරවැනි තැනට මනාප අනූහයදහස් තිස් තුනක් ලබාගත් කංචන විජේසේකර පත්ව ඇත. මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට පත්ව ඇත්තේ මනාප අසූදහස් පන්සිය අනූපහක් ලබාගත්මහින්ද යාපා අබේවර්ධනයි. නවක අපේක්ෂකයකුවූ වීරසුමන වීරසිංහ හයවැනියා ලෙස පත්වන්නේ මනාප 77967ක් ලබා ගනිමින්ය. පෙර පාර්ලිමේන්තුවේ සිටි නිරෝෂන් ප්‍රේමරත්න හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන් ජයග්‍රහණ ලැයිස්තුවෙන් ඉවත්වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂය දෙකඩවීමත් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායකයාව සිටි මංගල සමරවීර තරගයෙන් ඉවත්වීමත් සමඟ එහි දිස්ත්‍රික් නායකත්වයට පත්වූ බුද්ධික පතිරණ මෙවර ද මනාප හතළිස් හතරදහස් අටසිය තිස් නවයක් ලබාගනිමින් සමගි ජන බලවේගයෙන් තේරුණ එකම අපේක්ෂකයා බවට පත්ව ඇත. ඔහු දේශපාලන පොරපිටියට පැමිණි දා සිට අපරාජිතව සිටීම විශේෂත්වයකි. මනාප ප්‍රතිඵල ගණන්කරමින් සිටිය දී නවක අපෙක්ෂක චතුර ගලප්පත්ති හා බුද්ධික පතිරණ අතර තියුණු තරගයක් දක්නට ලැබුණු අතර කඹුරුපිටිය ආසනයේ මනාප ප්‍රතිඵලයත් සමඟ චතුර අභිබවා බුද්ධික පතිරණ පෙරට පැමිණියේය. ඒ බුද්ධික පතිරණ මනාප දෙදහස් දොළහක් වැඩියෙන් ලබාගැනීමත් සමඟය. මැතිවරණ තරග බිමෙන් ඉවත්වූ මංගල සමරවීරට ද මනාප දෙදහස් අනූහතක් ලබා දී තිබීම තවත් විශේෂ අවස්ථාවක් විය.

මාතර මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රී ධූරයක් හිමි නොවීමත් ජාතික සමගි ජන බලවේගයටත් වඩා පසුපසට වැටීමත් විශේෂතම අවස්ථාවකි. ජාතික සමගි ජන බලවේගයට පසුගිය මැතිවරණවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකරගනිමින් ඡන්ද තිස්හත්දහස් එකසිය තිස් නවයක් ලබාගත්ත ද මන්ත්‍රීධූරයක් හිමිනොවූ අතර තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් මාතර දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත්වීම විශේෂත්වයකි. එහෙත් ගණන් කිරීම් මධ්‍යස්ථානයේත් ඉන් පිටතත් රැඳී සිටි බහුතරයකගේ අදහසවූයේ සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයකු බවයි.

මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වීමෙන් පසු මාධ්‍යයට අදහස්දක්වමින් ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන, වීරසුමන වීරසිංහ යන අය කියා සිටියේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය ගැන ජනතාව වඩාත් අවධානයෙන් සිතා බැලිය යුතු බවයි. එමෙන්ම මනාප ඡන්දයේ අවසන් මැතිවරණය බවට මෙය පත්විය යුතු බව ද එම පිරිස කී අතර ඩලස් අලහප්පෙරුම කියා සිටියේ ජනාධිපතිතුමගෙන් මෙම මනාප මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම ගැන අවධානය යොමුකරන ලෙස පුරවැසියන් ලෙස ඉල්ලාසිටින බවයි. මනාප යුද්ධයේ පීඩනයෙන් ජනතාවත් රටත් ගලවා ගැනිම තිස් අවුරුදු යුද්ධය නිමාකළාටත් වැඩි පිනක් අතවන බව ද ඩලස් අලහප්පෙරුම කීවේය.

මංගල සමරවීරගේ ඉවත්වීමෙන් පසු සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකත්වය හිමිවූයේ බුද්ධික පතිරණ මහතාටය. ඔහු දේශපාලන පොරපිටියට ආදා සිට අපරාජිත අපේක්ෂකයකු ලෙස සිටිය ද චතුර ගලප්පත්ති, රංජිත් මුණසිංහ, රෙහාන් ජයවික්‍රම මහත්වරු හැරුණු විට ජනතාව අතර වඩාත් ජනප්‍රිය හා ජනතාව ප්‍රබල ලෙස හඳුනාගත් පිරිස් ඡන්ද සටනේ දක්නට නොලැඹීමත් ඔවුන් ලැබූ මෙම ප්‍රතිඵලයට හේතුවූ බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

මෙවර එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ දිස්ත්‍රික් නායකත්වයට අලුතින් පත් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීවය. එයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නවක අපේක්ෂකයින් ලෙස මැතිවරණයට එක්වූ ජනිත් වික්‍රමසිංහ, වින්දන ප්‍රශාද් මෙන්ම දිනේෂ් විදානපතිරණ තමතමන්ගේ කෝට්ඨාශවල ඡන්ද ප්‍රචාරක වැඩසටහන් දියත් කළ ද දිස්ත්‍රික්කය පුරා එය සක්‍රීය ලෙස ව්‍යාප්ත නොවීම ද එම පිරිස් ජනතාව වැඩි වශයෙන් හඳුනාගෙන නොතිබීමත් මෙවර එක්සත් ජාතික පක්ෂය ලැබූ මෙම ප්‍රතිඵලයට හේතුවූ බව ජනතාවගේ අදහසයි. එමෙන්ම නායකත්වයේ හා ජනප්‍රිය දේශපාලන නායකයින්ගේ මැදිහත්වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත නොකිරීම ද ඔවුන්ගේ මෙම ප්‍රතිඵලයට ප්‍රබල ලෙස බලපෑ බව දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

 

Comments