අභිනවයෙන් පත්වූ ආණ්ඩුව සතු වගකීම | සිළුමිණ

අභිනවයෙන් පත්වූ ආණ්ඩුව සතු වගකීම

ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් පවතින කවර රටක වුවද පොලීසිය ත්‍රිවිධ හමුදාව සැලකෙන්නේ නීති ආරක්ෂක ආයතන වශයෙනි. එහිදී අධිකරණයට පැවරෙන්නේ යුක්තිය පසිඳලීමයි. අධිකරණය මඟින් වැරදිකරුවකුයි තීන්දු කෙරෙන තීන්දු කරන පුද්ගලයා අදාළ කාල සීමාව තුළ සිර ගත කර තබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු කාර්යභාරයයි.

ඕනෑම රටක් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට නම් ඉහත සඳහන් සියලු ආයතනයන්හි තමන් සතු කාර්යාබාරයත් වගකීමත් නිවැරදිව ඉටුකළ යුතුය. එසේ නොමැති වූ විට සිදුවන්නේ රටේ නීතිය වන වැදී අවනීතිය රජවීමයි. එය කිසි සේත්ම සිදුනොවිය යුතු තත්වයකි.

එහෙයින් නිල ඇඳුම් අඳින හෝ නොඅඳින සියලුම ආරක්ෂකයන්ගේ වගකීම විය යුත්තේ කිසිදු පාර්ශ්වයකගේ බලපුළුවන්කාරකම්වලට යට නොවී තමන්ගේ රාජකාරීමය වගකීම නිවැරදි හා තම හෘදය සාක්ෂියට එකඟව ඉටුකිරීමය. එසේ වුවද වර්තමානයේ එවැන්නක් සිදුවන්නේ දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.

අප එසේ කියන්නේ ඉකුත් කාලය තුළ රටේ නීති ආරක්ෂක අංශවල කීර්ති නාමයට කැළලක් ලෙස පෙනෙන අවාසනාවන්ත සිඳුවීම් ගණනාවක් ගැන අසන්නට ලැබුණු බැවිනි. ඒ අතරින් බරපතළ සිද්ධිය වන්නේ රජයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කීපදෙනෙක් අතරට මෙරට මහා පරිමාණ මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීපව සිටිමින් ඔවුන්ට උදව් පදව් කර තිබෙන බවට තොරතුරු හෙළි වීමයි. තම නිල බලය යොදා ගනිමින් එම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්කුඩු ප්‍රවාහනයට පවා සම්බන්ධවී ඇතැයි ඒ පිළිබඳ පළවූ ජනමාධ්‍ය වාර්තා හෙළි කර සිටියේය. එම නිලධාරීන් පිරිස එකී මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සිදුකර ඇතැයි කියන අයථා ගනුදෙනු මඟින් රුපියල් කෝටි ගණනින් මුදල් රැස් කර ඇතැයි කියවෙන අතර එසේ උපයාගන්නා ලද මුදල් යොදවා වටිනා ඉඩම් ගෙවල් දොරවල් සහ සුඛොපභෝගීයාන වාහන පවා මිලට ගෙන ඇති බවක්ද මේ වනවිටත් අනාවරණය වී තිබේ.

මේ අතර මීට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය අතරට පාන් පිටි ලුණු කුඩු හා ග්ලූකෝස් වැන් දෑ මිශ්‍රකර ඒ වෙනුවට යටිමඩි ගසාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හට විකුණා ඇතැයි කියන විමසීම් ගැනද රජයේ ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත.

සත්‍යවශයෙන් එවැන්නක් සිදු වී ඇත්නම් එයද බරපතළ ගණයේ වංචාවකි. නැතහොත් වැරැද්දකි. එම සිද්ධිය සත්‍යක් නම් ගතවූ කාලය තුළ අධිකරණයේ නියෝගය පරිදි පොලීසියේ සහ හමුදාවේ දැඩි රැකවල් මධ්‍යයේ විනාශ කර දමා ඇත්තේ විවිධ නම්වලින් හැඳින්වෙන මත්කුඩු තොග නොව පාන් පිටි ලුණු කුඩු හෝග්ලූකෝස්ය. එලෙස රජයේ ආරක්ශක බලධාරීන්ගේ ඇස් වලට වැලිගසා එකතුකර ගත් මත් කුඩු යළි ජාවාරම් කරුවන් අතටම පත්කරමින් වංචනික ලෙස රුපියල් කෝටි ගණනින් මුදල් හා වෙනත් වරප්‍රසාද අතට ලබාගෙන ඇත්තේ ආරක්ෂක අංශවලම සේවය කරන කුප්‍රකට නිලධාරීන් කිහිපදනෙකි.

ඒ හොර ගනුදෙනු සම්බන්දයෙන් සැක කරන නිලධාරීන් පිරිස මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති. තවත් තවත් කිහිපදෙනෙක් ගැන රජයේ ආරක්ෂක අංශ දැළ එලා සිටින්නේ සුදුසු අවස්ථාව ආ විගස ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අදහසිනි.

එහෙත් එම පිරිස ජාත්‍යන්තර සැපයුම් ජාලයේ මහමොල කරුවන් නොව කුඩා හාල්මැස්සන් හෝ කූනිස්සන් විය හැකිය. ඒ අනුව මත්කුඩු වෙළඳාමේ මහ මොළකරුවන් හෝ කරුවෝ තවමත් නිදැල්ලේ පසුවන බව නොරහසකි. ඇතැම්විට ඔවුන් කෝටිපති ව්‍යාපාරිකයන් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් වීමට ඉඩ තිබේ. එසේම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් අතරත් එම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරුවන් සිටිය හැකිය.

අප එසේ කියන්නේ ඉහළින් එවැනි රැකවරණයක් නැති නම් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කරන හාල්මැස්සන් සහ කූනිස්සන් වැනි සුළු නිලධාරීන් තමන්ගේ රැකියාව, අනාගතය සහ තම සේවා ගරුත්වය පරදුවට තබාමෙවැනි අශිෂ්කිත ක්‍රියාවන්ට පෙලඹතැයි යන සාධාරණ සැකය මත ඇතැම් විට ඔවුන් නිල බලය, ධන බලය සහ මැර බලය හමුවේ දිගින් වැඩුණා විය හැකිය. එසේ නැතිනම් ඔවුන් යම බලවතකුගේ දැඩි පීඩනයට ලක් වූවා යැයි සිතීමට පුළුවන. ඉදිරි කාලය තුළ පැවැත්වෙන අධිකරණ ක්‍රියා මාර්ගයන්හිදී මෙම චූදිතයන් ඉදිරියේ තමන්ට මෙවැනි නීතියකට පටහැනි ක්‍රියාවකට හවුල්වීමට සිදුවූ හේතු සාධක පිළිබඳව පාපොච්චාරණයක යෙදීමටද ඉඩ තිබේ.

කලකට ඉහත මෙරට ආරක්ෂක අංශයේ ප්‍රබලම තනතුරු වලට බඳවා ගැනීමේදී අදාළ අපේක්ෂකයන්ගේ අත්තා මුත්තා ගැන පමණක් නොව එවුන්ගේ කිරිපල්ල පවා අතුගා බලන්නේය. රජය එසේ කළේ නොයෙක් වැරදිවලට මුල් වී ඇති අය ඉවත්කර මනා හික්මීමක් ඇති පුල්ගලයන් ආරක්ෂක අංශයේ තනතුරු සඳහා බඳවා ගැනීමටය.

එසේ නොවුණහොත් සිදුවන්නේ මීටත් වඩා බරපතළ වැරදි ගැන දිගින් දිගටම අසන්නට ලැබීමත්ය. ඒ ගැන වහාම සොයා බලා ඒ වැරැද්ද නිවැරදි කිරීම අභිනවයෙන් පත්වූ ආණ්ඩුව සතු බලවත් යුතුකමකි.

Comments