අනුරපුරින් චන්ද්‍රාණි-හැරිසන් එළියට එස්.එම්. සහ මහාචාර්ය චන්නට ඉහළම මනාපයක් | සිළුමිණ

අනුරපුරින් චන්ද්‍රාණි-හැරිසන් එළියට එස්.එම්. සහ මහාචාර්ය චන්නට ඉහළම මනාපයක්

ටේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයත් සමඟ සමපාත වන මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනයට වඩාත් බැඳුණු ප්‍රදේශයක් හැටියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ වට පිටාව ජාතික දේශපානයට ඉතා වටී. මැදවච්චිය හා කලාවැව යන මැතිවරණ ආසන කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටු බවට පත් ව තිබීම තවත් විශේෂත්වයකි. දිවංගත නායක මෛත්‍රීපාල සේනානායක මහතා වසර 47ක් තිස්සේ අඛණ්ඩව අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අනුරාධපුරයෙන් ලෝක ඉතිහාසයට එක්වූ වාර්තාවකි.

කෘෂිකර්මික ප්‍රදේශයක් වීම , ඓතිහාසිකව රාජධානියක් මුලකරගෙන පැවැතීම හා දීර්කාලයක් ත්‍රස්තවාදයට මුහුණදීම යන කරුණුත් 88-89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් හා පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තදින් බැටකෑ පිරිසක් සිටීමත් අනුරාධපුරයේ දේශපාලන චින්තන ධාරාවට එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයෝ හයලක්ෂ අනූතුන්දහස් හයසිය තිස් හතර දෙනෙක් (693,634) 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි වී සිටියහ.

මෙය ගියවර යොදාගත් (2018) ඡන්ද හිමි නාමලේඛනයට වඩා ඡන්ද එකොළොස් දහස් එකසිය අසූහතරක (11,184) වැඩිවීමකි. පසුගිය (2019) ජනාධිපතිවරණයේ දී යොදාගත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද හයලක්ෂ අසූ දෙදහස් හාරසිය පණහකි. (682,450)

මෙවර මැතිවරණ කොට්ඨාස අනුව ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන මෙසේ ය. නැගෙනහිර අනුරාධපුර -106,993, බටහිර අනුරාධපුර - 111, 892, මැදවච්චිය - 92,576, හොරොව්පොතාන - 88,141, කලාවැව - 133, 702, මිහින්තලේ - 70,512 සහ කැකිරාව - 89,818 වශයෙනි. එම ඡන්ද ප්‍රදේශ හත තුළ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 22කි. දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 634කි.

2020 මහ මැතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පනස් හයදහස් හාරසිය පනස් අටදෙනෙකු (56, 458) සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්. බී. එම් සුෆ්යාන් මහතා දක්වා තිබිණි.

ඉකුත් 2019 ජනාධිපතිවරණය වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 45000කට ආසන්න පිරිසක් අලුතින් ලියාපදිංචි වී සිටි බව අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල තොරතුරුවලින් හෙළිවේ.

ඊට පෙර පැවැති පළාත්පාලන ඡන්දයේ දී 2014 ඡන්ද හිමි නාමලේඛනයට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 6 36 733කි. 2019 පැවැත්වූ ජනාධිපතිවරණයේදී 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දදායක සංඛ්‍යාව 6 82 450 කි. එවරවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායක සංඛ්‍යාව 49101කි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී මෙම දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 281,161කි. එවර ඡන්දය ජයග්‍රහණය කළ මෛත්‍රිපාල සිරිසේන මහතා අනුරාධපුරයෙන් ලබාගෙන තිබූ ඡන්ද සංඛ්‍යාව 238,407කි. එවර ලියාපදිංචි 636 733න් භාවිත කර තිබූ සංඛ්‍යාව 529 133ක් වේ. එම ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ මහතා සියයට 53.59ක් ද මෛත්‍රිපාල සිරිසේන මහතා 45.44ක් ද හිමිකරගත් අයුරු දැක්වේ.

මෙවර මහ මැතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරගවදින දේශපාලන පක්ෂ 12කට හා ස්වාධීන කණ්ඩායම් 10කට අයත් අපෙක්ෂකයින් 264 දෙනෙක් අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 9 දෙනෙකු තෝරාගැනේ. 2015 දක්වා අනුරාධපුර දිස්ත්‍රිකකයෙන් තෝරාගනු ලැබූවේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකි. 2015 දී ජන සංයුතිය අනුව අනුරාධපුරයට හිමි මන්ත්‍රිධූර සංඛ්‍යාව 9ක් වූ අතර එක්සත් ජනතා නිදහස් සංධානයෙන් එස්.එම්.චන්ද්‍රෙස්න, ශෙහාන් සේමසිංහ, එස්.සී.මුතුකුමාරණ, වීරකුමාර දිසානායක හා දුමින්ද දිසානායක, එක්සත් ජාතික පෙරමුණෙන් චන්ද්‍රාණි බණ්ඩාර, පී.හැරිසන්, චන්දිම ගමගේ හා ඉසාක් රහුමාන් මහත්ම මහත්මීහු මන්ත්‍රි ධූර හිමිකරගත්හ. ඒ අනුව පසුගිය 2015 මහ මැතිවරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එම සන්ධානය මන්ත්‍රි ධූර පහක්ද එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රිධූර හතරක් ද වශයෙන් ලබාගත්ත ද සන්ධානයෙන් තරගවැදුණු දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක මහත්වරු යහපාලන ආණ්ඩුව හා එක්වූහ. ඒ දෙදෙනාම මෙවර තරග වදින්නේ පොහොට්ටුව ලකුණිනි. මේ නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු වල දී කාණ්ඩ තුනක මුහුණුවරක් දැකිය හැකි විය. එකක් සෘජුවම මුල සිට පොහොට්ටුව ලකුණින් සිටි අපෙක්ෂකයින් ය. තව පිරිසක් එම ලකුණ තුළ සිටිය ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ (වියත්මඟ) සංකල්පය අනුව අලුතින් ම පරම්පරා දේශපානයෙන් තොරව හා අධ්‍යාපනයක් සහිතව වූ පිරිස ලෙස පෙනි සිටින අයයි. ඒ අතර වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා දිස්ත්‍රික්කය පුරා පර්යේෂකයෙකු ලෙස ගොඩනගාගත් ජනමතය ඔස්සේ මැතිවරණය මෙහෙයවී ය.

Comments