හිරෝෂිමාවට බෝම්බ හෙළා වසර 75යි | සිළුමිණ

හිරෝෂිමාවට බෝම්බ හෙළා වසර 75යි

මස්ත මිනිස් වර්ගයාට යුද්ධයේ කුරිරු බව එදා තරම් දැණුනු දිනයක් තවත් නොතිබෙන්නට ඇත. එවන් දිනයක් යළි උදා නොවේවා යන්න සමස්ත මිනිස් වර්ගයාගේ පැතුම ද වනු ඇත. ඒ අවාසනාවන්ත දිනය උදාවී මේ වන විට වසර 75ක් ගෙවී ගොස්ය. පසුවූ අගෝස්තු 6වැනි දිනය සටහන් කළේ ඒ ඛේදවාචකයේ 75වැනි සැමරුමයි.

අදින් වසර 75කට පෙර උදාවූ අගෝස්තු 6වැනිදා උදෑසන ජපානයේ හිරෝෂිමාවට අන් සෑමදා මෙන්ම සුන්දර උදෑසනයක් විය. දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් වසර කිහිපයක් පැවති ආර්ථික අසීරුතා එදිනෙදා ජනජීවිතයට නොයෙකුත් ගැහැට එක් කර තිබුණද ජපාන ජනතාව කෙසේ හෝ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමට සමත්ව සිටියහ. එදින උදෑසන හිරෝෂිමා නගරයේ ජනතාව තවත් දිනකට දවස ඇරඹූහ.

එහෙත් ඒ වන විට අමෙරිකාවේ මැන්හැට්න් නගරයේ සිට මිනිසුන් පිරිසක් එතෙක් ලෝක ඉතිහාසයේ නොවූ විරූ ආයුධයක් ජපානයේ ඉලක්කයක් වෙත යැවීමට කටයුතු සූදානම් කරමින් සිටියහ. ජර්මනිය දණ ගැස්වූවද තවමත් සටන් පෙරමුණේ ඉදිරියට යමින් සිටින ජපානය පසුබැස්වීම ඔවුන්ගේ අරමුණ විය.

ඒ ආයුධය සඳහා ඔවුහු වසර ගණනක් පර්යේෂණ කළහ. ඉතිහාස වාර්තා පවසන පරිදි ලෝකයේ ප්‍රථමයෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිපදවීම සඳහා පර්යේෂණ ජර්මානු පාර්ශ්වයෙන් සිදු කෙරුණද ඔවුන්ට සාර්ථකත්වයක් අත් කර ගැනීමට නොහැකි විය. මේ අතර න්‍යෂ්ටික අවි නිපදවීම කෙරෙහි අවධානය යොමු කළ අමෙරිකාව ඒ සඳහා දැනුම ලබා ගත්තේ නාසි ජර්මනියේ සිට පණ බේරාගෙන පැමිණි යුදෙව් විද්‍යාඥයන්ගෙනි. එහෙත් ඔවුන් තොකරම් උත්සාහ දැරූවද බ්‍රිතානය න්‍යෂ්ටික අවි පිළිබඳ කමිටුවේ සහයෝගය ලැබෙන තෙක් ඔවුන්ට අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණේ සුළු සාර්ථකත්වයකි. අවිය නිපදවීම සඳහා කැනඩාවේ සහයද හිමිවූ බව සඳහන්ය. මේ එකද රටක් හෝ අමතක කළ නොහැකි වන්නේ ඔවුන් මිනිස් ඉතිහාසයේ ප්‍රභලතම අවිය නිපදවීමට එකසේ දායක වූ බැවිනි.

මින් පෙර ලෝකයේ නිපදවා නොතිබූ මේ අති විනාශකාරී බෝම්බ නිපදවීම වෙනුවෙන් නම් කෙරුනු ‘මැන්හැට්න් ව්‍යපෘතියේ’ අරමුණ වූයේ ජපානයේ නගර හතරක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමය. එහෙත් කාලය සම්පූර්ණ වන විට ඔවුන් බෝම්බ දෙකක් නිපදවූ අතර එම බෝම්බ දෙක සඳහා භාවිත කළ තාක්ෂණය එකිනෙකින් වෙනස් විය.

එක් බෝම්බයක් යුරේනියම් බල ගැන්වීමෙන් නිපදවූ අතර එය ‘පුංචි කොල්ලා’ යනුවෙන් නම් කර තිබිණි. දෙවැනි බෝම්බය නිපදවා තිබුණේ ප්ලූටෝනියම් බලගැන්වීමෙනි. එය ‘මහත මිනිහා’ ලෙස නම් කර තිබිණි.

එක්සත් ජනපද හමුදාවේ ගුවන් අංශය මේ බෝම්බ හෙළීමේ වගකීම දැරීමට සූදානමින් සිටි අතර නවීකරණය කරන ලද බෝයිං B – 29 සුපර්ෆෝට්රස් යානා දෙකක් මේ බෝම්බ හෙළීමේ වගකීම වෙනුවෙන් සූදානමින් පසුවිය.

හිරෝශිමාවට තවත් සුන්දර දිනයක් උදා වන්නේ මේ අතරතුරේදීය. හිරෝෂිමාව න්‍යෂ්ටික බෝම්බයක් හෙළීමට තරම් වැදගත් නගරයක් වූයේ කෙසේද? සැබවින්ම ටෝකියෝව හෝ වෙනත් ජපානයේ ප්‍රසිද්ධ නගරයක් මේ සඳහා තෝරා ගත හැකිව තිබූ බව බොහෝ දෙනාගේ මතය විය. එහෙත් හිරෝෂිමාව තෝරා ගැනීමට විශේෂ හේතුවක් මිත්‍ර පාර්ශ්වය සතුව විය.

මැන්හැට්න් ව්‍යාපෘතියේ එක් වැදගත් අංශයක් වූයේ බෝම්බ හෙළීමේ ඉලක්ක තීරණය කිරීමේ කමිටුවයි. මේ කමිටුවට ඇමරිකානු හමුදා නීලධාරීන් කිහිප දෙනෙකු සමඟ විද්‍යාඥයන් වූ ජෝන් වොන් නියුමාන්, රොබර්ට් ආර්. විල්සන් සහ විලියම් පෙනීද සහභාගී විය. සැබවින්ම මේ කමිටුව එම වසරේ අප්‍රේල් මාසයේ සිට බෝම්බ හෙළිය යුතු ජපාන ඉලක්ක පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර අවසානයේ මැයි 28වන විට ඔවුහු නගර පහක් ඒ සඳහා සුදුසු ඉලක්ක ලෙස නම් කරමින් ප්‍රධාන කමිටුවට බාර දුන්හ. ජපානයේ එවකට කොකුරා නගරය ( වර්තමානයේ මෙය හැඳින්වෙන්නේ කිතක්යුෂූ යනුවෙනි.) මේ ඉලක්ක අතර ඉදිරියෙන්ම පැවති අතර එය තෝරා ගැනීමට හේතු වූයේ ජපානයේ විශාලතම ආයුධ ගබඩාව එම නගරයේ පිහිටා තිබීමය. හිරෝෂිමා නගරය දෙවැනියට සඳහන්වූ අතර ප්‍රධාන නැව් තොටක්, කාර්මික නගරයක් සහ ප්‍රධාන හමුදා මූලස්ථානයක් ලෙස හිරෝෂිමාව ප්‍රසිද්ධ විය. බෝම්බ හෙළීමට තුන්වැනිව යෝජනා වූ යොකොහමා නගරය ගුවන් යානා නිපදවීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් විය. අමතරව යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, බොරතෙල් පිරිපහදුකරණ යනාදී අති විශාල ආර්ථිකමය වැදගත්කම් රැසක්ම යොකාහාමා නගරය සතු විය. සිව්වැනිව තෝරාගත් ඉලක්කය වූ නිගාටා නගරය වරායකින් මෙන්ම වානේ, තඹ ඇතුළු කර්මාන්ත ශාලා රැසකින්ද, තෙල් පිරිපහදුවකින්ද සමන්විත විය. අවසාන ඉලක්කය ලෙස මැන්හැට්න් සාමාජිකයන් ලබාදුන් ක්යෝතෝ නගරය ජපානයේ ප්‍රධානතම කාර්මික නගරය විය. එහෙත් මේ ලබා දුන් කිසිඳු ඉලක්ක නගර අතර නාගසාකි නගරය වූයේ නැත.

ඉලක්ක හඳුනා ගැනීමේදී අදාළ පිරිසට නිර්නායකයන් කිහිපයක් මත පදනම් වෙමින් කටයුතු කිරීමට සිදුවිය. ඒ අනුව ඉලක්ක කර ගන්නා නගරය වර්ග කිලෝමීටර් 4.8කට වඩා වැඩි විශ්කම්භයකින් යුතු නාගරික ප්‍රදේශයක් සහිත නගරයක් විය යුතු අතර වරායක් සහ තවත් වැදගත් නිෂ්පාදන කර්මාන්ත සහිත නගරයක්ද විය යුතුය. තවද බෝම්බය හෙළීමෙන් පසු නගයරට එයින් ඍජු බලපෑමක් ඇති විය යුතු බැවින් ආදාළ බලපෑමට හසුවන අන්දමේ නගරයක් විය යුතුය. එමෙන්ම මීට පෙර යුදමය ක්‍රියාදාමයකට මුහුණ නොදුන් නගරයක්ද විය යුතුය, යනාදී වශයෙන් වන නිර්නායක පදනම් කර ගනිමින් ඉලක්ක තෝරා ගැනීමට කණ්ඩායම කටයුතු කර තිබිණි.

මෙලෙස ලබා දුන් ඉලක්ක නගර පහ මැන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධානීන් විසින් සැලකිල්ලට ගනු ලැබු අවස්ථාවේදී හිරෝෂිමා නගරය අංක එකට සියලු දෙනාගේම කැමැත්ත මත ප්‍රථම ඉලක්කය ලෙස තහවුරු විය. දෙවැනි ඉලක්කය වශයෙන් ක්යෝතෝ නගරය තෝරා ගනු ලැබූවද කණ්ඩායමේ සිටි එක් සාමාජිකයකු වූ හෙන්රි එල්.ස්ටිම්සන් එයට විරෝධය පළ කර සිටියේ ක්යෝතෝ නගරයේ ඇති ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික පසුබිම සැලකිල්ලට ලක් කරවමිනි. පරමාණු බෝම්බ හෙළීමෙන් නගරය සම්පූර්ණයෙන් විනාශ වන බැවින් ක්යෝතෝ අත් හැර දැමිය යුතු බව ස්ටිම්සන්ගේ අදහස විය. එහෙත් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ක්යෝතෝ ඉලක්කය වෙන් කිරීමට අකමැත්ත දැක්වූයෙන් තීරණයක් ගැනීමේ අවස්ථාව ජනාධිපති හැරී එස්. ටෲමන්ට හිමි විය. එවකට අමෙරිකාවේ ජනාධිපති ධූරය හෙබවූ හැරී එස්. ටෲමන් වහාම ක්යෝතෝ නගරය ඉලක්ක ලැයිස්තුවෙන් කපා හැරියේය. නාගසාකි නගරය ආදේශ වන්නේ ක්යෝතෝ වෙනුවටය.

නාගසාකි ජපානය සතුවූ ප්‍රබලතම නාවික කඳවුරක් ස්ථාපිත කර තිබූ නගරයක් විය. එමෙන්ම ජපානයේ ප්‍රධානතම නෞකා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සහ තවත් කර්මාන්ත රැසක් නාගසාකි හි ස්ථාපිත වී තිබිණි. මේ සියල්ල මත දෙවැනි බෝම්බය පතිත කිරීමේ ඉලක්කය ලෙස නාගසාකි තෝරා ගනු ලැබිණි. මිලියන ගණනක් ජපාන ජනතාව නොදැන සිටියද 1945 මැයි මාසය වන විට ඔවුන්ගෙ ඉරණම මේ ලෙස තීන්දු වී තිබිණි.

දෛවය කොතරම් කුරිරු වීද යත් මැන්හැට්න් ව්‍යාපෘතියේ කිසිවක් අසාර්ථක වූයේ නැත. සියල්ල නිවැරදිව නිශ්චිතව ක්‍රියාත්මක වූයේ ජපන් ජාතිකයන් මිලියන ගණනකගේ අවාසනාවටය. ඒ අනුව අදින් වසර හැත්තෑ පහකට පෙර අගෝස්තු 6 වැනිදාවක උදයේ නවීකරණය කරන ලද ඇමරිකානු බෝයිං B – 29 සුපර්ෆෝට්රස් යානය ස්වකීය ඉලක්කය සොයා පියඹා ගියේය. එනෝලා ‌ගෙ යනුවෙන් නම් කර තිබූ මේ යානයේ පරිවාර යානා ලෙස තවත් යානා දෙකක් ඒ අසලින් පියඹා ගියේය. පසුව හෙළිදරව් කරන ලද අන්දමට තවත් රහසිගත යානාවක් මේ යානා සියල්ලට පසුපසින් ධාවනය කර තිබිණි. හිරෝෂිමාවේ අහසට ඉහළින් නැගුණු මහා ඛේදවාචකයේ දූලි වළාව ඡායාරූප ගතකර තිබුණේ එම යානය මගිනි. අගෝස්තු හය වැනිදා අලුයම ඇමරිකානු ගුවන් යානා රාශියක් ජපන් ගුවන් සීමාව දෙසට පැමිණෙන ජපාන රේඩාර් විසින් නිරීක්ෂණය කර තිබිණි. මේ ගුවන් යානා පොකුරු පිටින් ජපානයේ විවිධ ඉලක්ක වෙත පියඹා ගිය අතර එනෝලා ගේ යානය සහ පරිවාර යානා හෙමින් සීරුවේ තම ඉලක්කය වෙත ළඟා විය. හිරෝෂිමාවේ වේලාවෙන් උදෑසන අට පසුවී විනාඩි පහළොව සටහන් වී තිබිණි. යානයේ සිටි බෝම්බ හෙළන්නා ලීවරය බුරුල් කළේය. කිලෝග්රූම් 64ක් බරැති මහා විනාශකාරී බෝම්බය ක්ෂණයකින් පහළ වැටෙන්නට විය. පසුව ගණනය කළ අන්දමට බෝම්බය පුපුරා යෑමට පෙර තත්ත්පර 44.4ක් පුරා පොළවට ඇදී ගොස් තිබිණි. ඒ අතරතුර ගුවන් යානා අඩි 31,000ක් උසට පියාසර කර තිබිණි. හිරෝෂිමා නගරයට අඩි 1,900ක් ඉහළ අහසේදී බෝම්බය පුපුරා ගියේය. මිනිස් වර්ගයා මෙතෙක් තමතමන් වෙනුවෙන් කළ ඉතාම අධම ක්‍රියාව එෙලස ඉතිහාස පොත්වලට එක්විය.

එහෙත් අවසන් මොහොතේදී අමෙරිකානු විද්‍යාඥයන් පුදුමයට පත් කළ ප්‍රතික්‍රියාවක් සිදුවිය. එනම් පරමාණු බෝම්බය තම ඉලක්කයෙන් මඳක් ඉවතට ගමන් කිරීමයි. පරමාණු බෝම්බය හෙළීමේදී ගුවන් නියමුවන්ට නොවරදින ඉලක්කය ලෙස ලබා දී තිබුණේ හිරෝෂිමා නගරයේ අයෝඉ පාලමයි. මේ පාලම 1932 වසරේදී ඉදි කළ, ගුවනට නොවැරදී දිස්වන පහසු ඉලක්කයකි. එහෙත් සොබාදහම මේ මහා විනාශය සිදුවීම වළකාදැමීමට හැකි උපරිම උත්සාහ යෙදුවේ ය. එහෙත් සෛාබාදහමට හැකියාව ලැබුණේ බෝම්බය ඉලක්කයේ සිට අඩි 800ක් ඉවතට ගෙන යෑමට පමණි. ඒ අනුව ශිමා සායනික රෝහලට ඉහළ අහසේදී මහා විනාශයක් කරමින් ‘පුංචි කොල්ලා’ පුපුරා ගියේය.

පසුව අමෙරිකානු බලධාරීන් සොයා ලැබුවේ බෝම්බය ඉලක්කයෙන් ඉවතට ගමන් කිරීමට හේතුව කුමක්ද යන්නයි. මහ පොළව කරා ගමන් කරන ඕනෑම දෙයකට එයට ප්‍රතිවිරුද්ධ සුළං පහරකින් ප්‍රතිරෝධයක් ඇති කෙරෙන බව සොයා ගනු ලැබුවේ එහිදීය. හරස් සුළඟ (Crosswind) යනුවෙන් එය නම් කෙරුණු අතර එය නව සොයාගැනීමක්ද විය.

කෙසේ වුවද එතැනින් පහළ හිරෝෂිමාව එක්වරම මිහිපිට අපාය බවට පත්විය. එක් ක්ෂණයක් තුළ හිරෝෂිමාවේ ජනගහණයෙන් සියයට 30ක් මරු වැලඳ ගත්තේය. කනගාටුවට කරුණ වූයේ ඒ අතරින් අති බහුතරය සාමාන්‍ය ජනතාව වීමයි. එතැන් සිට වසර ගණනාවක් යනතුරු යුරේනියම් විකිරණ බලපෑමෙන් අතුරු ආබාධවලට ලක්වුණු ජනතාව සංඛ්‍යාවෙන් අතිමහත්ය. මේ සා විශාල විනාශයක් තම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස සිදුවනු දැකදැකම ඉන් දින තුනකට පසු නාගසාකි නගරයටද එවන්ම ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් ඇමරිකානුවන් ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වය සිත්පිත් විරහිත වීම සැබවින්ම කනගාටුවට මෙන්ම පුදුමයටද කරුණකි.

Comments