සය වැනි ධුර කාලය සඳහා බලය ඉල්ලන බෙලරූස් ජනාධිපතිට එරෙහිව ප්‍රබල විරෝධතා | සිළුමිණ

සය වැනි ධුර කාලය සඳහා බලය ඉල්ලන බෙලරූස් ජනාධිපතිට එරෙහිව ප්‍රබල විරෝධතා

යුරෝපයේ වැඩිම පාලන කාලයක් වාර්තා කර සිටින බෙලරූස්හි වර්තමාන ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මේ වන විට තම පාලන කාලයේ මුහුණ දුන් දැවැන්තම විරෝධතාවන්ට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. 65 හැවිරිදි ලුකෂෙන්කෝ මේ ගෙවමින් සිටින්නේ ඔහුගේ පසුවැනි ධූරකාලය වන අතර ඔහු සයවැනි ධූරකාලය සඳහා ජනතාවගෙන් වරම් ඉල්ලමින් මැතිවරණයක්ද කැඳවා තිබේ.

එහෙත් පසුගිය වසර කිහිපයක සිට ඔහුට ජනතාවගෙන් ප්‍රබල විරෝධතා එල්ල වෙමින් පැවති අතර ඔහු ඒකාධිපතියකු බවට ජනතාවගෙන් චෝදනා එල්ල විය. වරක් ඔහු තමා යළිත් බලයට නොපැමිණෙන බව ජනතාවට ප්‍රකාශ කර සිටියද යළිත් ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී තිබේ. ඒ සමඟ අති විශාල ජනතා විරෝධතාවන්ට මුහුණ දීමට ලුකෂෙන්කෝට සිදුවී ඇති අතර මේ ගෙවී යන මොහොත වන විටත් බෙලරූස් හි අගනුවර වන මින්ස්ක් හි ප්‍රබල ජනතා විරෝධතා පැවැත්වෙමින් තිබේ.

ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 සිට බෙලරූස් හි ජනාධිපතිධූරය හොබවමින් සිටී. ඒ අනුව මේ වන විට ඔහුගේ පාලන කාලය වසර 26කි. බලයට පැමිණි මුල් කාලයේදී ඔහු ජනතාව අතර ඉතා ජනප්‍රිය නායකයකු වූ අතර ඔහු සතුව කැරිස්මා ආධිපත්‍යයක් පැවතිණි. එහෙත් ආරම්භයේදී ඔහු ජනතාවගේ ආදරය දිනා සිටියද පසුකාලීව බලය රැකගැනීමේ අභිලාශයෙන් නොයෙක් අකටයුතුකම්වල නියැළුණු බව බෙලරූස් ජනතාවගේ මතය වී තිබේ.

ඔහුට විරුද්ධ මත දරන පුද්ගලයන් ගැන සෙවිල්ලෙන් සිටීමට ‘කේජීබී‘ නමින් හැඳින්වෙන පොලිස් ඒකකයක් විහේෂයෙන් ස්ථාපිත කර ඇති අතර, එම පොලිසිය මගින් ජනාධිපතිවරයාට විරුද්ධ මත දරන පිරිස් අත්අඩංගුවට ගත් අවස්ථා බොහෝය. මීට අමතරව තම දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට බලපෑම් කිරීම, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට තර්ජනය කිරීම සහ සිරගත කිරීම යනාදිය සම්බන්ධවද ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

මේ වන විට මින්ස්ක් නගරයේ පැතිරෙමින් පවතින දේශපාලන විරෝධතාවන්වලට නායකත්වය දෙමින් සිටින්නේ කාන්තාවකි. ඇය නමින් ස්වේත්ලානා තිකානෝව්ස්කයාය. ඇයගේ සැමියා බ්ලොග් රචකයෙකි. ඔහු ලුකෂෙන්කෝට විරුද්ධව ජනමතය හැසිරවීමේ යෙදුණු බවට චෝදනා කරමින් සිරගත කෙරිණි. ඒ සමඟ ඔහුගේ බිරිය ස්වේත්ලානා ජනතා විරෝධතාවලට එක්වුණු අතර මේ වන විට ඇය ජනතා විරෝධතාවලට නායකත්වය දෙමින් සිටින බව වාර්තා වේ. මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙසද ස්වෙතේලානාගේ සැමියා ඉදිරිපත් වී සිටී. මීට අමතරව ලුකෂෙන්කෝගේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදීන් වන වැලරි ටෙසෙප්කාලෝ සහ වික්ටර් බාබර්යාකෝ ද මේ විරෝධතාවල ඉදිරියෙන් සිටිති.

මින්ස්ක් නගරයෙන් ලැබෙන වාර්තා අනුව මේ වන විට ජනාධිපතිවරයාට විරුද්ධව පාරට බැස සිටින ජනතාව දහස් ගණනකි. මීට වසර කිහිපයකට පෙර පැවති විරෝධතාවලදී ජනාධිපතිවරයා පවසා සිටියේ තමාට විරුද්ධව පාරට බසින ජනතාව ‘ත්‍රස්තවාදීන්‘ ලෙස නම් කරන බවයි.

වරක් අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් බෙලරූස් සම්බන්ධව තම මතය පළ කරමින් ‘යුරෝපයේ හදවත ආසන්නයේ ඉදිරිවී තිබෙන එකම ඒකාධිපති පාලනය බෙලරූස් හි පවතින බව‘ පවසා සිටියේය. ඒ මීට වසර දහයකට පමණ ඉහතදීය. එමෙන්ම පසුගිය මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය පැතිර යෑම ආරම්භවීමත් සමඟ තම රට වසා නොදමමින් ඒ වෙනුවට හාස්‍ය ජනක ප්‍රකාශ කරමින් සිටීම සම්බන්ධවද, පාපන්දු ක්‍රීඩා තරග සහ ජාතික දිනය සැමරීම වැනි අවස්ථා සඳහා ජනතාව දහස් ගණනින් රැස් කිරීම සම්බන්ධවද එරට ජනතාව තම ජනාධිපතිවරයා කෙරෙහි අප්‍රසාදය පළ කළහ.

එමෙන්ම මෙතෙක් කල් බෙලරූස් පාලනයට රුසියාවෙන් ආධාර ලැබෙන බවට අනුමාන පැවතියද මේ වන විට රුසියාව බෙලරූස් පාලනයට විරුද්ධ බවට ඉඟි ලැබීමත් සමඟ ලුකෂෙන්කෝගේ අනාගතය අවිනිශ්චිත බව තහවුරු වී තිබේ.

රුසියාව මෙතෙක් බෙලරූස්හි සමීපතම සහ ප්‍රබලතම මිතුරා ලෙස පැවති අතර එය ලුකෂෙන්කෝගේ පාලනයට ශක්තියක්ද විය. එහෙත් පසුගියදා ලුකෂෙන්කෝගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා පවසා සිටියේ රුසියාව දේශපාලන විරුද්ධවාදීන්ට සහය දක්වන බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි. එමෙන්ම ගතවූ මාස කිහිපයක කාලය තුළ මින්ස්ක් නගරය අවටින් රුසියානුවන් 33ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ විවිධ චෝදනා යටතේය. කෙසේ වුවද ලුකෂෙන්කෝ සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සමීප මිතුරන් වන අතර නිතර දෙදෙනා අයිස් හොකී ක්‍රීඩාවේද නිතර වෙති.

2004 වසරේදී දීර්ඝ කාලීන පාලනය සීමා කිරීමේ අරමුණින් ජනමත විචාරණයක්ද පැවත්වූ අතර එහිදී ජනාධිපතිවරයකුට ධූරය දැරිය හැකි කාල සීමාව අවස්ථා දෙකක් පමණක් බවට මහජන මතයෙන් සම්මත විය. එහෙත් එම ජනමතවිචාරණ ප්‍රතිඵලයද නොසලකා හැරීමට ලුකෂෙන්කෝ කටයුතු කර තිබේ.

කෙසේ වුවද මෙවර ජනතා විරෝධතාවන්ගෙන් ගැලවී පාලනය ඉදිරියට ගෙන යෑම ලුකෂෙන්කෝට පහසු නොවනු ඇති බව විචාරකයන්ගේ මතය වී තිබේ. ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යනු ඉතා දුගී පවුලක උපත ලැබූ අයෙකි. ඔහුගේ පියාගේ ආදරය ඔහුට නොලැබුණු අතර මව ඉතා දැඩි අපහසුතා මධ්‍යයේ ඔහු පෝෂණය කළාය. පසුව ඔහු ග්ලානියා ලුකෂෙන්කෝ සමඟ විවාහ වී දරු දෙදෙනෙකුද ලැබුවේය. එහෙත් ඔහු විවාහ ජීවිතයෙන් වැඩි කළක් ගත කළේද බිරියගෙන් වෙන්වය. බෙලරූස්හි රූපරාජිනියන් සමඟ ඔහුගේ නම සම්බන්ධ වූ අවස්ථා රාශියකි. ඊට අමතරව ඔහු 2004 වසරේදී තමන්ට තවත් පුතකු ලැබුණු බව ප්‍රකාශ කළ අතර ඒ දරුවාගේ මව වූයේ ජනාධිපතිවරයාගේ වෛද්‍යවරියයි.

කෙසේ වුවද අගෝස්තු 9වැනි දින බෙලරූස්හි මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රතිඵල මත ජනාධිපතිවරයා කිනම් අන්දමේ ප්‍රතික්‍රියාවක් දක්වනු ඇතිදැයි ලෝකයම විමසිලිමත්ව සිටී.

Comments