ලෙබනනය දෙදරවූ බීරූට් හි මහා පිපිරුම | සිළුමිණ

ලෙබනනය දෙදරවූ බීරූට් හි මහා පිපිරුම

සුගිය අගෝස්තු හතරවැනිදා රාත්‍රියේ ලෙබනනයෙන් අසන්නට දකින්නට ලැබුණු පුවත් හිරෝෂිමා මහා පිපිරුම, චර්නොබිල් ඛේදවාචකය යලි මිනිස් වර්ගයාට සිහි කැඳවීය. සැබවින්ම ලෙබනනයේ සිදුවූ මහා පිපිරුමෙන් මුළු ලොවම තිගැස්සී ගියේ රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීමේදී කොතරම් පරීක්ෂාකාරී විය යුතු දැයි සෑම රටකටම අවධාරණය කරමිනි.

ලෙබනනයේ බීරුට් නුවර වරාය ආසන්නයේ පිහිටා ඇති ගබඩාවක මේ මහා පිපිරුම සිදුවූයේ පසුගිය හතරවැනිදා එරට වේලාවෙන් සවස හයට පමණය. පිපිරීමෙන් මුළු මහත් ලෙබනනය පමණක් නොව එයට කිලෝමීටර් 240ත් දුරින් පිහිටා ඇති සයිප්‍රසයද කම්පනය වූ බවට වාර්තාවල සඳහන්ය.

මේ මහා පිපිරුම සිදුවී ඇත්තේ බීරූටි වරාය ආසන්නයේ ගබඩාවක ඉතා අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2750ක ප්‍රමාණයක් පුපුරා යෑමෙනි. ඇමෝනියා වායුව යනු ඉතා පහසුවෙන් පුපුරා යා හැකි වායුවකි. එය ගබඩා කර තැබිය යුත්තේ ඉතා ආරක්ෂිතවය. එහෙත් දැනට දැනගන්නට ලැබෙන පරිදි බීරූට් හි ගබඩා සංකීර්ණයේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක ප්‍රමාණයක් වසර හයක් පුරා අනාරක්ෂිතව තබා ඇත. අනික් අතට මේ පිපිරුමෙන් පසු බොහෝ දෙනා අසනු ලැබූ ප්‍රශ්නය වූයේ මෙතරම් ඇමෝනියම් නයිට්රේට් ප්‍රමාණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි. මේ ඇමෝනියම් නයිට්රේට් පොහොර නිෂ්පාදනය සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කළ බව මේ වන විට ලෙබනන බලධාරීන් ප්‍රකාශ කළද එහි සැඟවුණු තතු ඉදිරියේදී දැනගැනීමට ලැබෙනු ඇත. මේ අතර ඉරානය වහා ඉදිරිපත්වී පවසා සිටියේ පිපිරීමෙන් අනතුරට පත් ජනතාවට ප්‍රතිකාර පහසුකම් ලබා දීමට තමන් කටයුතු කරන බවයි.

අගෝස්තු පස්වැනිදා සවස්කාලය වන විට පිපිරීම හේතුවෙන් පුද්ගලයන් 100දෙනෙකු මියගොස් 4000ක් පමණ තුවාල ලබා ඇතැයි ලෙබනන වාර්තාවල සඳහන් විය. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද ප්‍රකාශ විය. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද සිටින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කර සිටියේය. බීරූට් හි වරාය ආශ්‍රීත ප්‍රදේශය විදෙස් ශ්‍රමිකයන් විශාල වශයෙන් රැකියාවල නිරතවන ප්‍රදේශයකි. එබැවින් ඉදිරියේදී තුවාල ලැබූවන් සම්බන්ධව වැඩි තොරතුරු වාර්තා වීමටද ඉඩ තිබේ.

මේ වන විටත් ලෙබනන ගිනි නිවන හමුදාව සහ මුදා ගැනීමේ අංශ එක්ව කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් ඉවත් කරමින් තුවාල ලැබූවන් සොයමින් සිටින බවද වාර්තා වේ.

පිපිරීම සිදුවී සුළු මොහොතකින් විශේෂ කැබිනට් රැස්වීමක් සූදානම් කළ ජනාධිපති මිචෙල් අවුන් පවසා ඇත්තේ මෙතරම් පුපුරන සුලු වායුවක් අනාරක්ෂිතව ගබඩා කර තැබීම සම්බන්ධව තමන් පුදුමයට පත්වන බවයි. පිපිරීමට හේතුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද දැනට දැනගන්නට ලැබී ඇත්තේ ඇමෝනියම් නයිට්රේට් ගබඩා කර තිබූ ගබඩා සංකීර්ණයේ සිදු කරන ලද පෑස්සුම් කිරීමක් පිපිරීමට හේතුව වන්නට ඇති බවයි.

බේරූට් නගරාධිපති ජමාල් ඉතානි මාධ්‍ය හමුවේ පවසා සිටියේ නගරය සැබවින්ම යුධ පිටියක ස්වභාවය ගෙන ඇති බවයි. එමෙන්ම නගරය යළි ප්‍රතිසංස්කරණය කිරිමට ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ද නගරාධිපතිවරයා අනුමාන කර සිටියේය.

පිපිරීමෙන් පසු ඇති වූ මහා ගිනි ජාලාවද තත්ත්වය තවදුරටත් බැරෑරුම් කිරීමට සමත්ව තිබේ. එම ගින්න නිවා දැමීමට අගෝස්තු පස්වැනිදා දහවල් වන විටත් දරුණු සටනක නියැළීමට බීරූට් ගිනි නිවන හමුදාවට සිදුවී තිබිණි.

ඇතැම් ලෙබනන් වැසියන් පවසා තිබුණේ මේ සිදුවීම දශක ගණනාවක් පුරා ලෙබනනය මුහුණ දුන් යුද්ධය සිහිපත් කරවූ බවයි. 1975 සිට 1990 දක්වා කාලයේදී ලෙබනනය ඊශ්‍රායෙලය සමඟ යුද්ධයක පැටලී සිටි අතර එම කාලය ලෙබනන වැසියන් තවමත් සිහිපත් කරන්නේ මහත් කනගාටුවෙනි. එකල මෙවැනි පිපිරුම් බීරූට් නගරයේ නිරන්තරව සිදුවූ නමුත් මෑතකාලීනව ලෙබනනය සාමකාමී රටක් ලෙස ප්‍රසිද්ධියට පත්විය.

එහෙත් පසුගියදා සිදුවූ පිපිරීම ඉතා විශාල පිපිරීමක් වූ බැවින් ඒ සමඟම රික්ටර් මාපකයේ ඒකක 3.4ක භූමිකම්පාවක්ද සිදුවූ බවට ජර්මානු භූ විද්‍යා ආයතනය ඒ සමඟින් වාර්තා කර තිබිණි.

මේ අතර ලෙබනනයේ ඇමරිකානු තාතාපති කාර්යාලය එරට වෙසෙන ඇමරිකානු ජාතිකයන්ට පවසා ඇත්තේ පිපිරීමත් සමඟ විකිරණශීලී වායූන් ද පරිසරයට නිදහස් විය හැකි බැවින් හැකිතාක් නිවෙස් ඇතුළටම වී සිටින ලෙසයි.

පිපිරීමෙන් පැය කිහිපයකට පසුව මාධ්‍ය අමතමින් එරට සෞඛ්‍ය ඇමතිවරයා පවසා සිටියේ තවමත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම තුවාල ලැබූවන් සෙවීමට, මුදාගැනීමට සහ රෝහල්වල ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යෑමට විදුලිය නොමැතිවීමෙන් දැඩි සේ බාධා ඇතිවී ඇති බවයි.

බොහෝ දෙනෙකුගේ අත ඇති කැමරා සහිත ජංගම දුරකථන හේතුවෙන් පිපිරීම සිදුවන අන්දම රැගත් වීඩියෝ පට රාශියක් අන්තර්ජාලයට එක්ව තිබිණි. එසේම ඇතැම් දෙනා දෙවැනි පිපිරීමක් බලාපොරොත්තු නොවූයෙන් සිදුවීම වීඩියෝ ගත කරමින් සිටින අවස්ථාවේදී දෙවැනි පිපිරීමෙන් තුවාල ලබන අන්දමද කැමරාවල සටහන් වී තිබිණි.

එමෙන්ම බීරූට්වලින් ලැබුණු වාර්තාවල සඳහන් වූයේ කිලෝමීටර් දෙකක් පමණ දුරට පිපිරීමෙන් පසු ඇති වූ ගින්නෙන් බලපෑම් ඇතිවී තිබූ බවයි. එමෙන්ම දෙවැනි ප්‍රබලතම පිපිරුමත් සමඟ මහා ගිනිබෝලයක් සහ සුදුපැහැ විශාල වලාකුළක් වැනි වායුවක් අහසට නැගෙනු ඉතා පැහැදිලිව වීඩියෝ දසුන්වල සටහන් වී තිබිණි.

Comments