සමාගම් ඈවර කිරීමේ නස්පැත්තිය | සිළුමිණ

සමාගම් ඈවර කිරීමේ නස්පැත්තිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම්හි ආයෝජනය කිරීම මෙන්ම බැංකුවල ආයෝජනය ආරක්ෂාකාරී නිසා එහි ආයෝජනය කිරීමට අපේ සමාජයේ බොහෝ දෙනා කටයුතු කරනු පෙනේ. එහෙත් ඇතැම් අවස්ථාවන්හිදී ඒ විශ්වාසය මුළුමනින්ම පළුදු වී ගොස් ඇති බව ද පෙනේ. මෙහි ආරම්භය ප්‍රමුඛ බැංකුවේ බංකලොත්භාවයත් සමඟම කරළියට ආවේය.

මේ ගැටලුව එතැනින් නැවතුණේ නැත. එතැනින් පසුව ‘ද ෆිනෑන්ස්‘ සමාගම, වනික් සමූහය, සීඅයිඑෆ්එල් (සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆයිනෑන්ෂල් ලිමිටඩ්) මෙන්ම වර්තමානය වන විට ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමද මහජන තැන්පතු බාරගෙන තැන්පත්කරුවන් අසීරුතාවට පත් කළ සමාගම් හා ආයතන අතරට එක් වී ඇත. වරක් ද්‍රවශීලතාවය පහළ යාම නිසා ඒෂියන් ෆිනෑන්ස් සමාගමද මේ තත්ත්වයට පත් වෙමින් පැවතියද අවසානයේ තැන්පත්කරුවෝ කෙසේ හෝ තම මුදල් ලබා ගැනීමට සමත් වූහ. වර්තමානය වන විට වඩාත්ම කතාබහට ලක්ව ඇත්තේ ඊටීඅයි හෙවත් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමයි.

ඊටීඅයි සමාගමේ අක්‍රමිකතා හා දූෂණ සොයා බැලීමට පත් කළ කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන් මහ බැංකුවේ එතැන් පරීක්ෂණ කළ නිලධාරියකු පවසා සිටියේ 2012 වසරේ ඊටීඅයි බැංකුවේ ගිණුම් පොත්වල සඳහන් නොකළ ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවයි. එය බිලියන 8 ඉක්මවූ අධික මුදලක් වූ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බව පැහැදිලිය.

ඒ අනුව ඊටීඅයි ගනුදෙනුකරුවන් දහස් ගණනක් අවසානයේ පාරට බැස තම මුදල් ඉල්ලන තත්ත්වයකට පත් විය. මේ කඩාවැටීමේ සිදුවීම හරහා මේ වන විට සියලු කටයුතු විමර්ශනය කරමින් පවතින අතර මූල්‍යායතන මෙන්ම බැංකු, සමාගම් ඇතුළු සියල්ලේම ගනුදෙනු කිරීමට පෙර ගනුදෙනුකරුවන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන මේ වන විට දෙපාරක් සිතන්නට සිදුව ඇත.

මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණය මෙන්ම කළමණාකරනය කිරීම කළ යුතු නමුත් හතු පිපෙන්නාක් මෙන් බිහිවන මූල්‍ය ආයතන නිසි පරිදි අධීක්ෂණය නොකරන්නේ නම් ගනුදෙනුකරුවන්ට කාගේ පිහිටද යන්න ගැන විමර්ශනය කළ යුතු වේ. පසුගියදා ස්වයංරැකියා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක් වූයේද එවන් කිසිදු ආකාරයක ලියාපදිංචියක් නොමැති ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේදී තම සාමාජිකයකුට වූ අගතියක් සම්බන්ධව කතා කරන්නට ගිය අවස්ථාවේදීය.

මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ මහ බැංකුවේ ලියාපදිංචි නොවන සමාගම් සම්බන්ධයෙන් වගකීමක් දරන්නට මහ බැංකුව හැකියාවක් නැති බවයි. පොලිසිය පවසන්නේ මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිල්ලක් ලදහොත් පමණක් තමන්ට අදාළ ආයතනයට විරුද්ධව කටයුතු කළ හැකි බවයි. එසේ නම් හතු පිපෙන්නාක් මෙන් දිවයින පුරා ඇති 12,000ක් පමණ වන මහ බැංකුවේ ලියාපදිංචි නොවන මූල්‍ය සමාගම්, ආයතන මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් වගකීමක් දරන්නේ කවුරුන්ද යන්න පැනයකි.

මේ ඇතැම් සමාගම් වාහන සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ කුලී සින්නක්කර (හයර් පර්චස්) ක්‍රමය යටතේය. කුලී සින්නක්කර ක්‍රමවේදය යටතේ ලබා දෙන ණය මුදල් සම්බන්ධව අදාළ පනත බලාත්මක වන්නේ 1989 පාරිභෝගික අධිකාරිය විසින් සම්මත කළ පනතක් යටතේය. එම නිසා වෙනත් අමාත්‍යාංශයක් යටතේ ඇති පනතක් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු නොකරතත් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමට ඕනෑම මූල්‍ය ආයතනයකට හැකියාවක් ඇත්ද එසේ බලය පවරනු ලබන්නේ කවුරුන්ද යන්න කිසි තැනක සඳහන් නොවේ. එය නීතිමය ක්‍රමවේදයේ ඇති පැහැදිලි දුර්වලතාවකි.

මේ විට මතුව ඇති බලවත්ම අර්බුදය වන ඊ.ටී.අයි. (ETI) මූල්‍ය සමාගම හා ස්වර්ණ මහල් සේවා සමාගම් කඩාවැටීම සම්බන්ධව අවධානය යොමු කළ ශ්‍රී ලංකා මහ බැංකුව එම සමාගම් තම බාරයට ගෙන ඒවාහි වත්කම් විකිණීමට තීරණය කරන ලදී. එම මූල්‍ය සමාගම් දෙකෙහි ආයෝජනය කර ඒවා පවත්වාගෙන යෑමට ආයෝජකයන් ඉදිරිපත් නොවීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයට හේතුවී ඇත.

එම තීරණය මහ බැංකුව තැන්පතුකරුවන් ගොනු කර ඇති නඩුවලට අදාල අධිකරණවලටද දැනුම් දීමට කටයුතු කර තිබුණි. වත්කම් විකිණීමෙන් පසු ලැබෙන මුදල් ඒවාහි තැන්පත්කරුවන්ට ලැබෙනු ඇතත් තැන්පත්කරුවන්ගේ තැන්පත්තුවලට ප්‍රමාණවත් තරම් දේපල එම සමාගම් දෙක සතුව දැනට නැති බව ද වාර්තා වේ.

ඊටීඅයි මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 24,000ක ප්‍රමාණයක් සිටින අතර ඔවුන් රුපියල් බිලියන 33ක් තැන්පත් කර ඇත. ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 2300ක් සිටින අතර ඔවුන් රුපියල් බිලියන 2.5 මුදලක් තැන්පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් පත්කර ඇති ජාතික ආර්ථික සභාව පවසන්නේ, මෙම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට මහ බැංකුවේ අනුදැනුම ඇතිව අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ බවයි.

අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති ඊටීඅයි මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට වරින් වර උපදෙස් ලබා දෙන ලදී. අර්බුදයට පත්ව ඇති මේ සමාගම් දෙස බැලීමේදී අප සලකා බැලිය යුතු කරුණු සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගෙන් විමසුවෙමු.

ඔහු පෙන්වා දුන්නේ මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නම් තැන්පත්කරුවන්ට උපරිම ලක්ෂ 6කට යටත්ව මුදල් ලබා දෙන බවයි. එමෙන්ම ඕනෑම ආයතනයක් ‘සීමිත‘ (ලිමිටඩ්) නම් එම ආයතනය සම්බන්ධව ගනුදෙනුකරුවන්ට තැන්පත්කරුවන්ට බල පවත්නා නීති රීති මෙන්ම වාසි අවාසි තත්ත්වයන්ද තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

එම ආයතනය හවුල් ව්‍යාපාරයක් නොවන්නේ නම් අධ්‍යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික දේපළ හෝ ඔවුන්ගේ නිසි ඉපැයීම් සම්බන්ධව කිසිදු ආකාරයක කටයුතු කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් එම ව්‍යාපාරය යම් ආකාරයක හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත්නම් හවුල් ව්‍යාපාරයට සම්බන්ධ සියලු හවුල්කරුවන් අදාළ ආයතනයේ බිඳ වැටීමට වගකිව යුත්තන් සේ සලකා කටයුතු කරන බවත් ඔවුන්ගේ ඕනෑම දේපළක් ඒ වෙනුවෙන් ලබාගෙන අදාළ ආයතනයෙන් ගෙවීමට ඇති සියලු ණය ගනුදෙනු සම්බන්ධව කටයුතු කළ හැකි බවයි.

හවුල් ව්‍යාපාරයක් එසේ බංකොළොත් වූයේ නම් ආයතනයේ සියලු වත්කම් මුදල් බවට පත් කරනු ලබන බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව පිළිගත් ක්‍රමවේදයක් යටතේ අදාළ ඈවරකරුවකු විසින් ඈවර කරනු ලබන බවත් එසේ ඈවර කිරීමෙන් පසුව ආයතනය විසින් ගෙවීමට ඇති ණය මෙන්ම සේවක අයිතීන් වෙත්නම් ඒ සියල්ල අදාළ වත්කම්වලින් ගෙවිය යුතු බවද යම් හෙයකින් එම මුදල් ප්‍රමාණවත් නොවූයේ නම් එම හවුල්කරුවන්ගේ සියලුම පෞද්ගලික දේපොළ පවා අලෙවි කිරීමෙන් පසුව හෝ අදාළ ගෙවීම් කළ යුතු බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී පළමුවෙන්ම තැන්පත්කරුවන් එනම් බාහිර පාර්ශ්වයන්ට ඇති වගකීම් දැරිය යුතු වේ. තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමෙන් පසුව ආයතනය විසින් ලබා ගෙන ඇති ණය මුදල ගෙවිය යුතු වේ. සේවක අයිතීන් සම්බන්ධය කටයුතු කෙරෙන්නේ එයින් පසුවය. විශේෂයෙන්ම සේවක වැටුප් ආදිය සම්බන්ධව එහිදී සලකා බැලෙනු ඇත.

එමෙන්ම එහිදී වරණීය කොටස් (Debenchers) හිමියන්ටද යම් ප්‍රමුඛතාවක් ලැබෙන අතර යම් හෙයකින් කොටස් වෙළෙඳ පොළේ අදාළ ආයතනයේ ආයෝජනය කර ඇත්නම් කිසිදු මුදලක් ආයෝජකයාට හිමි නොවනු ඇත.

සීමිත සමාගමක් බංකොලොත් වූ විට ආයෝජකයන්ට සිදුවන අවාසිය එය බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා ගෙන ඇති වැරැදි තීරණ හමුවේ ආයතනයේ ගෙවන්නට ඇති වෙනත් ණය හෝ ගෙවීම් වෙනුවෙන් කොටස් හිමියන් වගකීමෙන් මිදෙනු ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් අය කිසි පරිදි උපයාගත් වැටුප් හෝ ලාභාංශ සම්බන්ධයෙන් හෝ කිසිවක් කළ නොහැකි බවද මහාචාර්වරයා පෙන්වා දුන්නේය. යම් ආකාරයකින් ඔවුන් අයථා ලෙසින් අදාළ සමාගමේ මුදල් යොදවා ඇතැයි ප්‍රකාශ කිරීමෙන් පලක් නොවන අතර ඒ වෙනුවෙන් පොලිසිය මඟින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හෝ වෙනම විමර්ශනයක් සිදු කර අධිකරණයේ නඩු පැවරීමකින් අයථා වත්කම් සමාගම හරහා උපයාගෙන ඇතැයි පෙන්වා දුනහොත් පමණක් එම වත්කම් සමාගමට ලබා ගත හැකි බව මහාචාර්වරයා පෙන්වා දුන්නේය. එසේ නොමැතිව අනුමානිකව හෝ බැලූ බැල්මට හෝ එසේ අධ්‍යක්ෂවරුන්ට හෝ වෙනත් පාර්ශ්වයන්ට දෝෂාරෝපණය කර ඔවුන්ට විරුද්ධව කටයුතු කළ නොහැකිය.

සමාජයේ බොහෝ දෙනා විසින් කතාබහට ලක්ව අපද කතා කළ ඊටීඅයි ආයතනයද පීඑල්සී හෙවත් හවුල් ව්‍යාපාර නොවන, කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර නැති සමාගමකි. ඒ අනුව එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික දේපළ අත්පත් කර ගැන්මට ඇති හැකියාව බෙහෙවින් අඩු මට්ටමක පවතී.

Comments