ඇඟලුම් ක්ෂේත්‍රයට රජයේ අනුග්‍රහය අත්‍යවශ්‍ය මොහොතක් | සිළුමිණ

ඇඟලුම් ක්ෂේත්‍රයට රජයේ අනුග්‍රහය අත්‍යවශ්‍ය මොහොතක්

මේ වන විට මුළු ලොවටම සුනාමියක් වී ඇති කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමඟ ඇති වූ බලපෑම මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා එක එල්ලේම දරුණු බලපෑම් ගෙන දෙමින් තිබේ. දැනටමත් දැඩි විදේශ විනිමය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවට කොරෝනා බලපෑම හමුවේ ඇඟලුම් අපනයන නිසා මෙතෙක් ලැබුණු විදේශ විනිමය ආදායම අහිමි වී යෑමේ බරපතළ අනතුරක්ද මේ වන විටත් නිර්මාණය වෙමින් පවතී.

ඇති වී ඇති මේ නව තත්ත්වය හා වටාපිටාව පිළිබඳව සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ පාර්ශ්ව ඉතා සංවේදී වී ඇති බවක් දකින්නට ඇති අතර පවතින තත්ත්වය තුළ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ හෙට දවස පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් ටියුලි කුරේගෙන් අපි අදහස් විමසුවෙමු. මේ කොරෝනා බලපෑම හමුවේ ඇඟලුම් ක්ෂේත්‍රයට අත්ව ඇති ඉරණම පිළිබඳව ඔහු කී ඒ කතාවයි.

‘ඇඟලුම් ක්ෂේත්‍රය රටට විශාල ආදායමක් ගෙන දෙන ඉතාම සුවිශේෂී ක්ෂේත්‍රයක්. ලක්ෂ හතරකට ආසන්න ශ්‍රමික පිරිසක් හා ඔවුන්ගේ පවුල් වලට අයත් යැපෙන්නන් තවත් මිලියන දෙකකට වැඩි පිරිසක් මේ ක්ෂේත්‍රය හා වක්‍ර ලෙස බැඳී සිය ආදායම් මාර්ග නිර්මාණය කර ගෙන මෙම කර්මාන්තයට පින්සිදු වන්නට සිය ජීවිකාව සරි කර ගන්නවා. අනපේක්ෂිත අවස්ථාවක මුළු ලොවම අනතුරේ හෙළමින් තවමත් වසංගත තත්ත්වයක් ලෙස පැතිර යන කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ මේ වන විට අප රටේ ඇගලුම් ක්ෂේත්‍රයද බරපතළ අනතුරකට මුහුණ දෙමින් සිටිනවා.

පැහැදිලිම දේ තමයි කොරෝනා නිසා අපගේ මෙම ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා බරපතළ හානි රැසක් පැමිණ තිබෙනවා. සූදානම් කර තිබූ ඇණවුම් පවා අවලංගු වීම තුළ ලොකු, කුඩා ඇඟළුම් කර්මාන්ත හිමියන් රැසක් ඉතිහාසයේ කවර දා හෝ අත් නොවිදි අති දරුණු ව්‍යසනයක් අත් විඳිනවා. මෙතෙක් අපට ලැබුණු ඇගළුම් ඇණවුම් රැසක් ක්ෂේත්‍රය තුළ අපගේ ප්‍රධාන තරගකරුවන් වන වියට්නාමය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව වැනි රටවලට ලැබේවිදෝ යන සැකය මත අපට ඉදිරිය ගැන හිතන්න සිදු වී තිබෙනවා.

අප රට තුළ කොරෝනා පැතිරීමත් සමඟ මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට රජය කටයුතු කළා. එම අවස්ථාවේ සෞඛ්‍ය නීති, රීති වලටද අනුගතව අපගේ ඇගලුම් කර්මාන්ත ශාලා වල නිෂ්පාදන ක්‍රියාවලියත් නතර කර දැමීමට සිදු වුණා. ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමඟ එම නිෂ්පාදන ක්‍රියාවලීන් ක්‍රම ක්‍රමයෙන් යළි ආරම්භ වුවත් කලින් තිබුණු මට්ටමටම එම නිෂ්පාදන ක්‍රියාවලිය ඔසවා තබන්නට තවමත් අපට අවස්ථාවක් ලැබී නැහැ.

පසුගිය 2019 වසරේදී ඇඟලුම් ක්ෂේත්‍රය නිසා අප ලැබූ අපනයන ආදායම බිලියන 1.6ක්. එහෙත් කොරෝනා වසංගතයත් සමඟ ඇතිවූ ආර්ථික කඩා වැටීම නිසා මේ වසරේ ගෙවී ගිය මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි මාසවලදී එයින් 30%-40% ත් අතර ප්‍රමාණයක අඩු වීමක් පෙන්නුම් කළා. එය අපට විශාල පාඩුවක්. මෙම තත්ත්වය ඉදිරි මාස කීපය තුළ තව තවත් වැඩිවෙන්නටද පුළුවන්.

පවතින තත්ත්වය අනුව ඇඟලුම් ආශ්‍රිතව ජුනි මාසයේදී අපේ මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 382යි. එය සංසන්ධනාත්මකව 2019 ජුනි මාසය එක්ක බැලුවොත් මිලියන 100 ක අඩුවීමක්. 2019 මුළු කාල සීමාව ගත් විට එම වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා අපේ ආදායම ඩොලර් මිලියන 2620 ක්.

කොරෝනා වසංගතයට අප සාර්ථක ලෙස මුහුණ දුන්නත් අපේ ඇඟලුම් මිලදී ගත් ප්‍රධාන රටවල් වූ ඇමරිකාව,චීනය වැනි රට වලට මේ වයිරසයෙන් සිදු වූ හානිය හා සිදු වෙමින් පවතින හානිය නිසා මෙරට ඇගලුම් කර්මාන්තයේ වර්තමානය කඩා වැටීමට එය පැහැදිලි හා ප්‍රමුඛතම හේතුව බවට පත් වෙලා.

කර්මාන්තකරුවන් විධිහට අපි මෙම ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වැඩියෙන්ම ගෙනෙන්නේ චීනයෙන්. ඒ වගේම ඉන්දියාවෙන් සහ තායිලන්තයෙන්ද යම් අවස්ථාවලදී එකී අමුද්‍රව්‍ය අප ආනයනය කළා. කොරියාවේ අමුද්‍රව්‍ය තිබුණත් මිල වැඩි නිසා ඒවායින් නිෂ්පාදනය කරලා අපේ මිලට දෙන්න බැහැ. ඒ නිසා තවදුරටත් මේ කොරෝනා වසංගතය පැතිරුණහොත් අමුද්‍රව්‍ය හිඟය නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ සමස්ත නිෂ්පාදන ධාරිතාවෙන් 40%-50% ත් අතර ප්‍රමාණයක නිෂ්පාදන නැති වීමට ඉඩ තිබෙනවා.

කොහොම වුණත් අප අධෛර්ය වී නැහැ. අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී යළි නැඟී සිටීමේ ප්‍රවණතාවයක් නැති වුවත් සැප්තැම්බර් මාසය පිළිබඳව යම් තරමකට අප බලාපොරොත්තු දල්වා බලා සිටිනවා. පැහැදිලිවම දැනට තිබෙන තත්ත්වය තමයි අප විශ්වාස කරන්නේ. කොරෝනා පැතිරීම නිසා බොහෝ රටවලින් ඇණවුම් ලැබෙන එක ප්‍රමාද වෙලා තියෙනවා.

ඒත් කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ මෙම ක්ෂේත්‍රයට අයත් ගනුදෙනුකරුවන් විශාල පිරිසක් අවාසනාවන්ත ලෙස පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඇඟලුම් නිෂ්පාදන අලෙවි කළ බොහෝ කඩ සාප්පු මේ වන විට වැසී ඇත්තේද මේ අවාසනාවන්ත තත්ත්වය නිසයි.

ඇඟලුම් කර්මාන්තය යළි ගොඩනැඟීමට නම් නව තාක්ෂණය හා මුහු වුණු අන්තර්ජාල අලෙවි උපක්‍රම පිළිබඳව අප මීට වඩා උනන්දුවක් දැක්විය යුතුයි. ඒ අනුව e commerce යන විෂයට අපි ප්‍රමුඛව අවධානය යොමු කිරීම වැදගත්. ඒ වගේම විධිමත් කළමනාකරණයක් සහිතව විවිධ අවස්ථාවල එල්ල වුණු අභියෝග ජය ගත්, එම අභියෝග සාර්ථක ලෙස කළමනාකරණය කළ ඇඟලුම් කර්මාන්ත ශාලා සඳහා අපේ රට ප්‍රසිද්ධයි.

මේ වන විට අප වෛද්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම්, සෑම පිරිසකටම අවශ්‍ය මුඛ ආවරණ වැනි ඇඟලුම් යොදා ගනිමින් සිදු කළ හැකි සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන සිදු කළ හැකි නව ව්‍යාපාර අවස්ථාද හඳුනාගෙන තිබෙනවා. කෙටි කාලයක් තුළ ඉන් මිලියන 100ක ආදායමක් උපයා ගැනීමට හැකි වීමම සතුටට කරුණක්. එම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගන්නට අප කටයුතු කළ යුතුයි.

ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර වළක්වා ගැනීම සඳහා අප රජයෙන් විශේෂ සහන බලාපොරොත්තු වෙනවා.

මේ ඇඟලුම් ක්ෂේත්‍රයට රජයේ අනුග්‍රහය හා සහය අත්‍යාවශ්‍යම අවස්ථාවකි. සෑම අභියෝගයක්ම ජය ගනිමින් යළි නැඟී සිටීමට වෙර දරන අපේ ඇඟලුම් නිෂ්පාදකයන්ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබා දීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමකි.

විශේෂයෙන්ම බදු සහන, නව අපනයන වෙළෙදපොළවල් හඳුනා ගැනීම, සහන පොලී ණය ලබා දෙමින් ඇඟලුම් නිෂ්පාදකයන් දිරිමත් කිරීම වැනි සහන ලබා දීමට රජයට හැකියාවක් ඇති අතර ජනාධිපතිතුමා ප්‍රධාන රජය ඒ යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් කටයුතු කිරීම අප සැමගේ ඇගයුමට හා ප්‍රශංසාවටද පාත්‍ර විය යුතුයි.

Comments