හැම බැඳීමක්ම ශක්තිමත් කරන්නේ තේරුම් ගැනීම සහ අවබෝධයයි | Page 2 | සිළුමිණ

හැම බැඳීමක්ම ශක්තිමත් කරන්නේ තේරුම් ගැනීම සහ අවබෝධයයි

සෙනෙහස, සතුට, නිරෝගී බව ජීවිතය සොඳුරු කරන, අරුත් ගන්වන ප්‍රමුඛ පෙළේ සාධක ය. එවැනි සාධක සපිරි ජීවිතයකට සාර්ථකත්ව‍යේ මාවත ආගන්තුක නැත. මානුෂීය හදවතකින් ලොව දකිමින් තවත් පරපුරකට ඒ මඟ කියාදෙන ඇඳුරුතුමියක මෙවර කැදැල්ලේ කතාව හැඩ ගන්වන්නීය. ඇය මහාචාර්ය හේමන්ති රණසිංහ ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යයන අංශයේ ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලෙස කටයුතු කරන ඇය මීට පෙර අවස්ථා දෙකකදී එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස ද තෙවසරක කාලයක් පශ්චාත් විද්‍යා අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනිය ලෙස ද කටයුතු කළාය.

පවුලේ එකම දරුවා ලෙස කිරිබත්ගොඩ මාකොළ උපන් හේමන්ති රණසිංහ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ආදි සිසුවියකි. කුඩා කල සිට වෛද්‍යවරියක වීමේ ආශාවෙන් සිටි ඈ උසස් පෙළ හදාරන්නේ ජීව විද්‍යා අංශයෙනි.

“මෙඩිසින් කරන්න පළමු වර ප්‍රතිඵල ප්‍රමාණවත් නොවූ නිසා දෙවැනි වරත් විභාගයට පෙනී සිටියා. ඒ අවස්ථාවේ මුල් වතාවට වඩා හොඳ ප්‍රතිඵල ලැබුණත් මට ඒ අවස්ථාව අහිමි වුණේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් ලකුණු පදනම හඳුන්වා දීම නිසයි. මම පදිංචිව සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ වුණත් ලකුණු මට්ටම සලකා බැලුණේ පාසල අයත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ ලකුණු මතයි. එහෙම බලද්දි ගම්පහ පාසල්වලින් විභාගයට පෙනී සිටි, මට වඩා අඩු ලකුණු ගත් අයටත් වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. වෛද්‍යවරියක් වීමේ ආශාවෙන් සිටි මම එයින් ලොකු පසුබෑමකට මුහුණ දුන්නා. ඒ වගේම මම ආසාවෙන් හිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්නයි. නමුත් කැලණි කැම්පස් එක ළඟ තියාගෙන දුර බැහැර විශ්ව විද්‍යාලයකට යනවට මගේ මවුපියන් කැමැති වුණේ නැහැ. ඒ නිසා මට මෙඩිසිනුත් නැතිව මම කැමැති විශ්ව විද්‍යාලයටත් නොයා කැලණිය විශ්ව විද්‍යාලයට යන්න වුණා. මුලදි ඒ ගැන ලොකු කනගාටුවක් දැනුණත් පස්සෙ හිත හැදුණා”

ඒ හිතට ප්‍රේමය හමුවන්නේ ද සරසවි බිමේදීමය. ඒ ගැන සොඳුරු මතක අවදි කරමින් මහාචාර්ය හේමන්ති රණසිංහ මෙසේ කීවාය.

“මම රෝමානු කතෝලික ආගමේ. සරසවියේදී යාළුවෙන්න ආව ගොඩක් ළමයි බෞද්ධ නිසා ඔවුන් ගැන එතරම් උනන්දුවක් ඇති වුණේ නැහැ. අන්තර් කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය තුළ මමත් ඒ කාලේ ක්‍රියාකාරීව හිටියා. එහි විවිධ ක්‍රියාකාරකම්වලදී අනෙකුත් විශ්ව විද්‍යාලවල සිසුසිසුවියන් හමුවෙනවා. මට ඔහු මුලින්ම හමුවුණේ ඒ විදිහටයි. ඔහු ජයවර්ධනපුර සරසවියේ වුණත් අපි දෙන්නම එකම වසරේ. මුලින්ම අපි අතර යාළුකමක්, හිතවත්කමක් ඇතිවුණා. පසුව එය ආදර සම්බන්ධයක් බවට පත්වුණා. ඇසුරු කරද්දි මට හිතුණා ඔහු මගේ ජීවන සහකරු ලෙස ගැළපෙනවා කියලා”

එදා පෙම්වතා වූ ඔහු අද ඇයගේ සැමියා, මැක්ස්වල් රණසිංහ ය. වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු අලෙවි උපදේශකයකු සහ පුහුණුකරුවකු ලෙස ආයතන කිහිපයකම සහ විශ්වවිද්‍යාල දේශකයකු ලෙස ද කටයුතු කරයි. දෙස් විදෙස් වෘත්තීය නිපුණත්වයක් සහ අත්දැකීම් සම්භාරයකින් සමන්විත ඔහු පැවසුවේ කැපවීම සහ උත්සාහය ඒ සියල්ලටම මුල් වූ බවය. ඔවුන්ගේ ආදර කතාවේ මතක ගැන අපි ඔහුගෙන් ද විමසුවෙමු.

“හේමන්ති මගේ ප්‍රථම ප්‍රේමය. ඒ කාලේ ගෑනු ළමයෙක්ට ආදරය ප්‍රකාශ කරන්න පොඩි පැකිළීමක් තිබුණා. නමුත් කතෝලික සංගමයේ එකට වැඩ කරද්දි ඇති වුණු හිතවත්කම පසුව ආදරේකට පෙරළුණා. ආදරේ කළා වගේම අපි ඒ කාලේ ඉගෙනීමේ කටයුතුවලටත් මුල් තැන දුන්නා. ආදරේ නිසා ඉගෙනීමට බාධා ඇතිකර ගත්තෙ නැහැ. ඒ දවස්වල අපි මහජන පුස්තකාලයට ගිහින් පාඩම් කරනවා. ඊට පස්සේ විහාරමහාදේවි පාක් එකට ගිහින් ටිකක් කතා කර කර ඉන්නවා. අපේ සම්බන්ධයට මවුපියන්ගේ ආශිර්වාදයත් ලැබුණා. දෙන්නම එකම ආගමේ, එකම සමාජ මට්ටමක හිටිය නිසා අපේ ආදර කතාව කිසිම හැලහැප්පීමක් නැතිව ගලාගෙන ගියා. ඒ අතර දෙන්නම උපාධිය සමත් වුණා. දෙන්නම විශ්ව විද්‍යාල දෙකේ ලෙක්චර්ස්ලා විදිහටත් වැඩ කළා. අවුරුදු හතක විතර ආදර කතාවකට පස්සේ 1987 දී තමයි අපි විවාහ වුණේ”

ඒ අතීත මතක මහාචාර්ය හේමන්ති රණසිංහ ද සිහි කළේ සතුටිනි.

“අපි දෙන්නා විශ්වවිද්‍යාල දෙකක සිටි නිසා නිතර හමු වුණේ නෑ. නමුත් මැක්ස්වල් සතියකට සැරයක් හවසට මාව බලන්න අපේ කැම්පස් එකට එනවා. ඒ කාලේ අපි ආදරේ කළේ ලියුම් වලින්. ලියුමක් එනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ. උපන්දිනේට, නත්තලට කාඩ් යවනවා. තෑගි දෙනවා.”

ඒ සුන්දර ආදරය සමඟ විවාහ දිවියට එළැඹි හේමන්ති - මැක්ස්වල් යුවළට දරුවන් දෙදෙනෙකි. දියණිය මනෝරිකා පරිසර තිරසාරත්වය පිළිබඳ විධායක නිලධාරිනියක ලෙස කටයුතු කරන අතර පුතු මිලින්ද කැනඩාවේ ගණකාධිකාරී ආයතනයක සේවය කරන්නේ ගණකාධිකාරිවරයකු වීමේ අපේක්ෂාවෙනි. ඔවුන් දෙදෙනාම තම විෂයය ක්ෂේත්‍රය තුළ උපාධිධාරීන්ය. ඔවුන්ගේ සාර්ථකත්වය සතුටු සිතින් විඳ ගන්නා මහාචාර්ය හේමන්ති රණසිංහගේ ජීවිතයට වඩාත් සමීප විනෝදාංශයක් ගැන ද කතා නොකරම බැරි යැයි අපට සිතිණ. ඒ ඇගේ නිවසේ ඇති දැඩි වන සුනඛයන් හත්දෙනකු සහ කුරුල්ලකු ගැනය.

“ වන සහ පාරිසරික විද්‍යාව මගේ අධ්‍යයන විෂය වුණත් ඊට පෙර කුඩා කාලයේ සිටම මම සත්තුන්ට ගොඩක් ඇලුම් කළ කෙනෙක්. පවුලේ එකම දරුවා නිසා කුඩා කාලයේ සිට මගේ ගෙදර සුරතල් සතුන් සිටියා. ඒ අතරින් බල්ලන්ට තමයි මම වැඩිපුර කැමැති. එහෙම ආදරයෙන් හදපු බල්ලෙක් එකපාරටම මැරුණා. ඒක මට ලොකු දුකක් කම්පනයක් වුණා. ඒ නිසාම මම හිතාගත්තා ආයෙ කවදාවත් එහෙම සතෙක් ගෙදර හදන්නෙ නැහැ, හැබැයි අසරණ වුණු සතුන් වෙනුවෙන් මොනව හරි දෙයක් කරනවා කියලා. දැන් ගෙදර ඉන්න මේ සත්තු හැම කෙනාම එහෙම අසරණ, අසනීප වුණු අය. මඟතොටේදි හරි එහෙම අසරණ සතෙක් දැක්කොත් මම ගෙදර ගේනවා. ඒ වගේම දැන් අවුරුදු පහළොවක විතර ඉඳලා මම නිර්මාංශයි. ”

මහාචාර්ය හේමන්ති රණසිංහගේ ගෙවත්තේ ඉදිකර ඇති සුනඛ සොහොන ඇය සතුන් වෙනුවෙන් දක්වන සෙනෙහසට කදිම සාක්ෂියකි.

"හේමන්ති ඍජුව කතාකරන ඍජුව වැඩ කරන විවෘත කෙනෙක්. සතුන්ට ඇය හරිම කරුණාවන්තයි. ඒ අතරිනුත් අසරණ, අනාථ වු සතුන්ට පුදුමාකාර කරුණාවක් දක්වනවා. මුල් කාලයේ ඇය මේ තරම්ම සතුන්ට ආදරේ කිරීම මටත් ප්‍රශ්නයක් වුණා. සත්තු ගොඩක් ගෙදර ඉන්නෙක සමහර වෙලාවට කරදයක් නිසා. නමුත් ඇය කරන්නේ ඉතාම හොඳ දෙයක් බව තේරුම් ගත් නිසා මමත් ඇයට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. ඒ වගේම හේමන්ති වැඩක් කරන්න පටන් ගත්තාම අවසානය දක්වා පුදුමාකාර කැපවීමකින් ඒ දේ කරනවා. එක දිගට පැය ගාණක් වැඩ කරන්න ඇය දක්ෂයි. දවසේ පැය 18ක් විතරම ඇය වැඩ කරනවා. ලස්සනට විනෝදයෙන් ඉන්න කැමතියි. මම ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න කැමති කෙනෙක්. ඇය තමයි පවුලේ සහ නි‍වෙසේ කටයුතු සැලසුම් කරමින් සියලු දේ කළමනාකරණය කරන්නේ"

ඔහු එසේ කියද්දී කාලය කළමනාකරණය ගැන අපි මහාචාර්යවරියගෙන් විමසුවේ නි‍වෙසේදී ඇය ගෘහණියගේ භූමිකාවට ද පණ දෙන නිසාය.

"කොවිඩ් 19 නිසා පහුගිය කාලයේ අපේ ජීවිත රටාවත් වෙනස් වුණා. ඒ දක්වා නිවෙසේ කටයුතුවල සහායට කෙනෙක් හිටියා. නමුත් පසුගිය කාලයේ අපි හිතුවා අපේ වැඩ අපිම කරගත යුතුයි කියලා. මම හැමදාම උදේ පාන්දර 5.30ට අවදි වෙලා ඉවුම් පිහුම් කටයුතු කරනවා. ඊට පස්සේ මමයි මහත්තයයි ඇවිදින්න යනවා. ඉන්පසු ගෙදර ඇවිත් අනිත් දේවල් කරලා රාජකාරී කටයුතුවල නිරත වෙනවා. මම ගොඩක් වැඩ කරන කෙනෙක්. විවේකය කියන දේ අඩුවෙන් ලැබුණත් මම ඒ ගැන කනගාටු වෙන්නෙ නැහැ. වැඩ කිරීමෙන් මම ලොකු සතුටක් ලබනවා. විවේකයක් ලැබුණොත් අන්තර්ජාලයෙන් චිත්‍රපට බලනවා. සිංදු අහනවා. විවේකීව ඉන්න වෙලාවට තේ ටිකක් බිබී ගාඩ්න් එකට වෙලා සත්තු එක්ක ඉන්න මම කැමතියි. විනෝද ගමන් යන්න කැමැති වුණත් විවේකය ලැබෙනවා අඩුයි. නිරෝගිකම වෙනුවෙන් දිනපතා ඇවිදීම නම් අතපසු කරන්නෙ නැහැ. උදේට අපි ඇවිදින්න යන මංතීරුව හරිම ලස්සන තැනක්. ඇවිදීමෙන් කායික සහ මානසිකව ලොකු සතුටක් ලබනවා"

ඇය කියන්නේ අව්‍යාජව ය. විවාහක යුවළක් අතර සවිමත් බැඳීමක් ඇති කිරීමට ඉවහල් වන සාධක ගැන ද අප ඇගෙන් විමසුවෙමු.

"විවාහ ජීවිතයට එකතු වෙන්නෙ හැම අතින්ම වෙනස් දෙන්නෙක්. එකිනෙකාගේ රුචි අරුචිකම්, සිතුම් පැතුම් හැමදේම වෙනස්. එක්කෙනෙක් තමන්ට ඕන විදිහටම වෙනස් වෙන්නෝනි කියලා අනිත් කෙනා හිතනවා නම්, ඒක ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න හේතුවක්. අනෙක් කෙනා වෙනස් කරන්න යන්නෙ නැතුව ඉන්න විදිහට පිළිගන්න පුළුවන් නම් ප්‍රශ්න ඇතිවෙනවා අඩුයි. පවුල් ජීවිතය තුළ දෙදෙනාගේ පෞද්ගලික නිදහස ඇහිරීමක් සිදුවිය යුතු නැහැ. දෙදෙනාට පොදු විනෝදාංශ වගේම දෙදෙනාට වෙනස් වූ විනෝදාංශ තියෙනවා. අද බොහෝ තරුණ දරුවන්ගේ ජීවිතවලට ප්‍රශ්න ඇතිවීමට හේතුව ඉවසීම අඩුකම සහ ආවේගශීලී බවයි. මේ දේවල් කරන්න ලේසි නෑ කියලා කෙනකුට හිතුණත් තේරුම් ගැනීම සහ අවබෝධය හැම බැඳීමක්ම ශක්තිමත් කරනවා."

ජීවිතයේ ඉදිරි අපේක්ෂා ගැන, සැලසුම් ගැන ඇය මෙසේ ද කීවාය.

" රටට සමාජයට විය යුතු වගකිම් සහ යුතුකම් ඉටුකරමින් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කරනවා. ජීවිතය ගැන ආපහු හැරිලා බලද්දි සතුටක් මිස කනගාටුවක් නැහැ. ජීවිතේ ඉදිරි කාලයත් නිරෝගීව ගතකරන්න පුළුවන් නම් ඒක ලොකු සතුටක්"

ඡායාරූප- තිලක් ‍පෙ‍රේරා

[email protected]

 

Comments