හඳහනේ ඇති යෝග ඔබම දැනගන්න | සිළුමිණ

හඳහනේ ඇති යෝග ඔබම දැනගන්න

කේන්දරේ තියෙන ග්‍රහයෝග මොනවද කියල අපේ ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ගොඩක් වෙලාවට කේන්දරේ බලන්න ගියත් කේන්දරේ තියෙන යෝග ගැන හරියටම කියැවෙන්නෙ නැහැ. ඉතින් ඔබේ කේන්දරේ තියෙන යෝග මොනවාද? මේ පිළිබඳ ඔබටම දැනගන්න පුළුවන් විදිය අපි අද කතා කරමු.

මෙහිදී ඔබ මුලින්ම සැලකිය යුත්තේ ඔබේ කේන්ද්‍රයේ ලග්න කොටුවයි. පළමුවෙන්ම ඔබේ ලග්න කොටුව වටා ඇති කොටු 12 අංකනය කරන අයුරු බලමු. ඔබේ ලග්නය සඳහන් කර ඇති මැද කොටුවට කෙළින්ම ඉහළින් ඇති කොටුව ඔබේ ලග්නය හිමි කොටුව ලෙස සලකා පිළිවෙළින් වම්පසට ලග්න මගින් කොටු අංකනය කරගන්න. උදා : ඔබගේ ලග්නය කටක යැයි සිතමු. එවිට මැද කොටුවට කෙළින්ම ඉහළින් ඇති කොටුව කටක වේ.

ඉන්පසු පිළිවෙළින් වම්පසට සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන ලෙස ලග්නවලින් කොටු නම් කර ගෙන ඇති නිසා කේන්දරේ යෝග පිළිබඳ සැලකීමට මේෂ රාශියට අයත් කොටුවේ සිට වම්පසට 1,2,3... ලෙස කොටු නම් කරගන්න. දැන් ඔබේ කේන්දරේ පවතින යෝග පිළිබඳ එකිනෙක සලකා බලමු.

ඔබේ කේන්ද්‍රයේ මේෂ රාශිය ඇති කොටුව තුළ රවි සිටී නම්, ඔබට 'මයුරපාල යෝගය' උදා වේ. මයුරපාල යෝගය ඇති තැනැත්තකු ඉතා ගාම්භීර වේ. එමෙන්ම යහපත් ගතිපැවතුම් ඇත්තෙකි. මිල මුදල්, යාන වාහන, වතුපිටි සම්පත් මෙන්ම කීර්තියටද උරුමකම් කියයි. එමෙන්ම සමාජයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වේ. එමෙන්ම මෙම යෝගය ලබා ඇති අයකු රුධිර පීඩනය වැඩි වීම සහ උෂ්ණාධික රෝග වලට ගොදුරු වීමට ඇති ඉඩකඩ බහුල වන බැවින් ඒවාගෙන් පරෙස්සම් වීම යහපත් ය.

ඔබේ කේන්ද්‍රයේ සිංහ රාශියේ රවි සිටී නම් 'උපේන්ද්‍ර යෝගය' උදා වේ. උපේන්ද්‍ර යෝගය ඇති තැනැත්තන් හට රාජ්‍ය ගෞරව හිමි වේ. කිසියම් තැනක අධිපතියකු වීමේ වාසනාව සහිතය. එමෙන්ම මොවුන් ඕනෑම වගකීමක් නිසිලෙස ඉටුකරයි. ජයග්‍රහණය හඹායන උපේන්ද්‍ර යෝගය සහිත පුද්ගලයන් දියුණුවට පත්වීමේ වාසනාව උපතින්ම රැගෙන එන්නන් වේ.

ඔබේ කේන්ද්‍රයේ වෘෂභ රාශිය තුළ සඳු සිටී නම් 'යස යෝගය' උදාවේ. ඔබ ඉතා ආකර්ෂණීය පුද්ගලයකු බවට පත්වේ. භූමි ලාභ හිමිවේ. මවු පාර්ශ්වයේ දේපොළ ලැබීමේ භාග්‍යය හිමිය. ඉතා සාර්ථක යුග දිවියකට හිමිකම් කියයි. ව්‍යාපාර සහ කලාවට ලැදි පුද්ගලයෙක් බවට පත්වේ. වාසනාවන්ත දිවියකට හිමිකම් කියයි.

කේන්ද්‍රයේ කටක රාශිය තුළ සඳු සිටී නම් ඔබට උදාවෙන්නේ 'කුලීර යෝගය' යි. මේ නිසා ඔබට ඉඩකඩම්, යානවාහන ලැබීමේ වාසනාව හිමිවේ. සිල්වත්, ඉතා කරුණාවන්ත පුද්ගලයන් ලෙස දිවිය ගෙවයි. ධනය, බලය නිරායාසයෙන් ඔබ වෙත හිමිවේ. ඉතා සාර්ථක යුග දිවියකට හිමිකම් කියයි.

මේෂ රාශිය තුළ කුජ සිටී නම් 'ගජ කේසර යෝගය' ඇත්තන්ය. ඉතා ගාම්භීර තරමක් සැර පුද්ගලයන් වන මෙම යෝගය හිමියන් ආරක්ෂක සේවයේ රැකියා සඳහා උපතින්ම උරුමකම් කියයි. ඉතා බලවත් පුද්ගලයන් බවට පත්වේ. පවුලේ සැම සහ හිතමිත්‍රාදීන්ගේ සහය ඇතිව දියුණුවෙන් දියුණුවට පත්වීමේ භාග්‍යය හිමිය. විවාහයේදී සැලකිලිමත් ලෙස කේන්දර ගැළපීමෙන් වාසනාවන්ත යුග දිවියක් හිමිවේ.

ඔබේ කේන්ද්‍රයේ වෘශ්චික රාශිය තුළ කුජ සිටී නම් 'මහීපාල යෝගය' උදාවේ. මොවුන් මිල මුදල්, යාන වාහන, වතුපිටි සම්පත් මෙන්ම කීර්තියටද උරුමකම් කියයි. සතුරන් පරාජය කර ජය ලබයි. මොවුන්ට ගිනිඅවි ආදියෙන් සිදුවන අනතුරු සිදුවීමේ ඉඩකඩ පවතින බැවින් පරෙස්සම් විය යුතුය. හිතුවක්කාර පුද්ගලයන් බවට පත්වේ. වාහන පැදවීමේදී පරෙස්සම් විය යුතුයි. විදේශ ගමන් සඳහා වාසනාව පවතී. මොවුන්ගේ විවාහය ද කේන්දර ගළපා සිදුකිරීම අත්‍යාවශ්‍යය.

කේන්ද්‍රයේ මකර රාශිය තුළ කුජ සිටින්නේ නම් 'සතර දීප ජය යෝගය' උදා වෙයි. එවැන්නන් සතර දෙසින්ම ජය ලබයි. උසස් අධ්‍යාපනයක්, උසස් රැකියාවක් හිමිවේ. නමුත් විවාහයට බාධක ඇතිවේ. ආවේගශීලී පුද්ගලයන්ය. අනතුරු ඇතිවිය හැකි නිසා පරෙස්සම් විය යුතුය.

කේන්ද්‍රයේ මිථුන රාශිය තුළ බුධ සිටී නම් 'අමෘත යෝගය' උදාවේ. මොවුන්ට ඉගෙනීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ලැබේ. ජනප්‍රිය වීමේ වාසනාව හිමිය. ඉතා ධනවත් වේ. නිර්මාණාත්මක දෑ කිරීමේ භාග්‍යය ද එවැන්නන් සතුය. විශේෂයෙන් ගත් කතුවරුන් හෝ මාධ්‍යවේදීන් වීමේ වාසනා ගුණය සහිත පුද්ගලයන්ය. ඔබේ කේන්ද්‍රයේ කන්‍යා රාශිය තුළ බුධ සිටින්නේ නම් 'විදුරවි යෝගය' ඔබට උදාවේ. භාෂා විශාරදයන්, ඉතා බලවත් පුද්ගලයන් බවට පත්වේ. ධනයට වඩා ඥානයට මොවුන් ලැදිය. බොහෝ විට උගත් බුද්ධිමත් ගුරුවරුන් බවට පත්වේ.

ඔබේ කේන්ද්‍රයේ කටක රාශිය තුළ ගුරු සිටී නම් 'ජයසිදු යෝගය' උදාවේ. මොවුන්ට විදෙස්ගත වීමේ භාග්‍යය හිමි ය. සම්පත් ලැබීමේ වාසනාව හිමිය. ධනලාභ, භූමිලාභ හිමිය. චතුර කථිකත්වයක් හිමිය.

'රණහංස යෝගය' උදා වෙන්නේ කේන්ද්‍රයේ ධනු රාශිය තුළ ගුරු සිටී අයටය. මොවුන්ට වාසනාවන්ත දරු සම්පත් ලැබීමේ වාසනාව හිමිය. ඉතා ප්‍රඥාවන්ත පුද්ගලයන්ය. හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව හිමිය. ක්‍රීඩාශීලි පුද්ගලයන් ය. වාසනාවන්ත දිවි පෙවතක් හිමිය.

මෙවැනි සුබ යෝග ඔබේ කේන්දරයේ පිහිටා තිබේදැයි ඔබටම බලා ගත හැකිය. උපතින් ලැබෙන මේ වාසනාවත් එකතු කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න වාසනාව ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

[email protected]

Comments