විලවුන් සුවඳින් කියන ඔ‍බේ කතාව | සිළුමිණ

විලවුන් සුවඳින් කියන ඔ‍බේ කතාව

කාන්තා පිරිමි භේදයක් නැතිව ලස්සනට ඉන්න කැමති බොහෝ දෙනෙක් සුවඳ විලවුන් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වනවා. ඒ, තමන්ගෙන් නිතරම හොඳ සුවඳක් අන් අයට දැ‍නෙනවාට ‍මෙන්ම තමාටම නැවුම් බවක් ඇති කරන්නත් සුවඳ විලවුන් ප්‍රයෝජනවත් වන නිසා. සුවඳ විලවුන් කියන්නෙත් අන් අය‍ගේ සිත් ඇඳගන්න අවධානය දිනා ගන්න භාවිත කරන එක්තරා උපක්‍රමයක්.

නමුත් ආවට ගියාට සුවඳ විලවුන් පාවිච්චි කළාට ඉහත කියූ ‍දේවල් සාර්ථක කර ගන්න බැහැ. කොයි තරම් හොඳ brand එකක් වුණත් හරි විදිහට එය පාචිච්චි කළේ නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔබේ සුවඳ විලවුන් වර්ගයෙන් නොලැබෙන්න පුළුවන්. ‍ඔබ භාවිත කරන්නේ කොතරම් මිල අධික සුවඳ විලවුන් වර්ගයක් වුණත් අන් අයව ආකර්ෂණය කර ගැනීම ‍කෙ‍සේ ‍වෙතත් ඔබ ළඟ කෙනකුට ඉන්න ‍නොහි‍තෙන තරමට ඔබ ‍තෝර ගන්නා ඒ සුවඳ ‍හේතුවක් ‍වෙන්න පුළුවන්. තමන්ට ගැළපෙන සුවඳ විලවුන් තෝරා ගැනීම, තෝරා ගන්නා සුවඳ විලවුන් කොයිතරම් රැඳෙනවාද යන කරුණු ගැන සැලකිලිමත් ‍වෙන්න මෙවර දැනුම්වත් කිරීම සුවඳ විලවුන් පාවිච්චි කරන ඔබට වැදගත් ‍වේවි.

පිරිමි අය වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ නැවුම් සුවඳක් සහිත සුවඳ විලවුන්වලට. නමුත් කාන්තාවන්ගේ තේරීම ‍බො‍හෝ විට ඊට වෙනස්. බොහෝ කාන්තාවන් වඩාත් කැමැති මල් හෝ පලතුරු සුවඳැති විලවුන් වර්ගයකට. නමුත් ‍මේ ‍දෙවර්ගයම සැර සුවඳක් සහිත සහ සැර අඩු සුවඳක් සහිත විලවුන් නිෂ්පාදන ‍වෙළ‍ඳ පො‍ළේ ති‍බෙනවා. උදෑසන වරුවේ ‍කෙටි ගමනකට බිමනකට, උත්සවයකට නම් එ‍සේත් නැති නම් තමන්ට වැඩි පුර ‍වෙ‍හෙසක් දරන්න සිදු ‍නොවන කාර්යකදී නම් අඩු සැරක් සහිත සුවඳක් ඇති විලවුන් වර්ගයක් ‍තෝරා ගැනීම කදිමයි. ‍බො‍හෝ විට රාත්‍රි උත්සවයකට ‍හෝ දව‍සේ වැඩි කාලයක් එළිමහ‍නේ ගත කරනවා නම් ඉන්න ‍නොහි‍තෙන සුවඳක් ‍නෙ‍වෙයි ඕන ‍කෙ‍නෙක් විඳින්න කැමැති දිගු ‍වේලාවක් පවතින සැර සුවඳක් සහිත විලවුන් වර්ගයක් ‍තෝර ගත්තට වරදක් නැහැ. ‍

‍මේ ඕනෑම සුවඳ විලවුන් වර්ගයක් භාවිතයට පෙර පළමුව ඔබ හොඳින් පිරිසුදු වී සිටිය යුතුයි. දහඩිය දුඟද නැති කරන්න සිතා සුවඳ විලවුන් සිරුරේ ගැල්වීමෙන් සුවඳකට වඩා දැනෙන්නෙ අප්‍රසන්න බවක්. ඒ නිසා මුලින්ම හොඳින් සිරුර පිරිසුදු කරගෙන සමට ගැළපෙන moisturizing ක්‍රීම් එකක් භාවිත කරන්න. හේතුව වියළි සමකට වඩා තෙල් සහිත සමක සුවඳ විලවුන් වැඩි වෙලාවක් රැඳී තිබෙන නිසයි.

සුවඳ දවස පුරා රැ‍ඳේ යැයි සිතමින් සුවඳ විලවුන් සිරුර පුරා ගැල්වීමත් ඔබ කරන පලක් නැති වැඩක්. සිරු‍රේ සුවඳ වැඩි වේලාවක් රැඳීමට නම් විලවුන් ගැල්විය යුතු තැන් කිහිපයක් තිබෙනවා. කන් පිටුපස, ගෙල පිටුපස, අතේ මැණික් කටුවෙන් ඇතුළු පැත්ත සහ වැලමිට නැවෙන තැන විලවුන් සුවඳ වැඩි වේලාවක් තබා පුළුවන්. අඳින ඇඳුමට විලවුන් ගල්වන්නත් පුරුදු ‍වෙලා ඉන්න අයට කියන්න ති‍යෙන්නේ ඔබට ඒ ඇඳුම් දිගු කාලීනව අඳින්න ඕනි නම් වහාම ඔය පුරුද්ද අත්හරින්න කියලයි. ගමනක් යන්න ලෑස්තිවෙලා කලබලේට ඇඳුමට සුවඳ විලවුන් ගල්වනවා ‍වෙනුවට ඔබට පුළුවන් ඇඳුම් සෝදන විට අවසාන වතාවට සෝදන ජලයට විලවුන් බින්දු ‍දෙක තුනක් එකතු කර සෝදගන්න.

සම මත සුවඳ විලවුන් ගල්වා ඇතිල්ලීමෙන් ‍වලකින්න. ඇතැම් අය හිසකෙස්වලට ද සුවඳ විලවුන් ගැල්වීමට හුරුව සිටිනවා. එයින් ඔ‍බේ හිස කෙස්වලට හානි විය හැකි බව සිහි තබා ගන්න. හිසකෙස්වලට සුවඳ විලවුන් ගැල්වීමට අවශ්‍යම නම් හිස පීරන පනාවට සුවඳ විලවුන් ස්වල්පයක් දමා හිස පීරගන්න. එයින් හිසකෙස් සුවඳවත්ව තබාගත හැකියි.

ඔබ සාමාන්‍ය සුවඳ විලවුන් වර්ගයක් භාවිත කරනවා ‍වෙන්න ඇති. එ‍සේත් නැතිනම් එය මිල අධික විලවුන් වර්ගයක් ද විය හැකියි. නමුත් ඔබ ගල්වන විලවුන් වර්ග‍යේ සුවඳ ඒ අයුරින්ම රැක ගැනීමට නම් මතක ඇතුව ඔ‍බේ සුවඳ විලවුන් ‍බෝතලය හිරු එළි‍යෙන් රැක ගන්න.

Comments