මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය නොකළට අපේ බැඳීමේ අඩුවක් නැහැ | සිළුමිණ

මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය නොකළට අපේ බැඳීමේ අඩුවක් නැහැ

ලා ලෝකයේ ප්‍රවීණ රංගන ශිල්පී යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ පුතුන් වන ජනිත් සහ සංකේත් ද මෙරට ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නැත. මේ, කතාබහ ඔවුන්ගේ කලා දිවිය ගැන නම් නොවේ. ජනිත්ගේ සහ සං‍ෙක්ත්ගේ සහෝදර බැඳීමේ සොඳුරු මතක ගැනයි.

"අපිට තේරෙන කාලේ ඉඳලම ගෙදර තිබුණේ කලා පරිසරයක්. අපි නිතරම දැක්කෙ අම්මා තාත්තාගේ කලා කටයුතු. ඒ නිසාම අපිටත් පොඩි කාලේ ඉඳලම කලා ක්ෂේත්‍රයේ අය ඇසුරු කරන්න ලැබුණා. ඒ දේවල් එක්ක කලාව කියන දේ විශේෂ දෙයක් විදිහට දැනුණේ නැහැ. මට මතකයි ඒ කාලේ මල්ලියි මමයි අම්මගෙ ‘දෙව්ලොව දෝණි‘ වේදිකා නාට්‍යයේ ඇඳුම් ඇඳගෙන ඒ සින්දු, දෙබස් කිය කියා රඟපානවා. මමයි මල්ලියි ළමා නළුවො විදිහට ජීවන් හඳුන්නෙත්ති සහ මිල්ටන් ජයවර්ධන මහත්වරුන්ගේ ඒකාංගික ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණා. වෙළෙඳ දැන්වීම්වල රඟපෑවා. ඒ දේවල් එක්ක නළුවො වෙන්න ඕන කියලා විශේෂ බලාපොරොත්තුවක් ඒ කාලේ අපේ හිත්වල තිබුණේ නැහැ. පවුලෙන් ලැබුණු ආභාසය එක්ක අපි දෙන්නා නිරායාසයෙන්ම රංගනයට යොමු වුණා. "

ජනිත් ඒ අතීතය සිහි කළේ නිහතමානීවය. ඒ නිහතමානී බව සහ සරල බව මේ අයිය-මලෝ දෙදෙනාගේම චරිතවල කැපී පෙනෙන චරිත ලක්ෂණ යැයි සිතේ. ජනිත් සහ සං‍ෙක්ත් අතර වයස් පරතරය වසර 5කි. කුඩා වියේදී ජනිත් මොන වගේ චරිතයක් දැයි සං‍ෙක්ත්ගෙන් විමසුවෙමු.

" අයියා ගැන කියන්න තියෙන විශේෂම දේ තමයි එයා හැම දෙයක්ම පිළිවෙළට කරන කෙනෙක්. ඒක මතක ඇති කාලේ ඉඳලම මම දැකපු දෙයක්. අම්මලා ඒ කාලේ වේදිකා නාට්‍ය කරද්දි අයියා තමයි ඇඳුම් ලෑස්ති කරන්නෙ. පොඩි වුණාට එයා ඒ වගේ දේවල්වලට හරි දක්ෂයි. අපි පොඩි කාලේ ‘නෙයිනගේ සූදුව‘ කියලා වේදිකා නාට්‍යයක් කළා. මම ‘සාජන්ට් නල්ලතම්බි‘ගෙ චරිතය ක‍ළේ. අයියා කළේ ‘කවි කොළ කාරය‘ගේ චරිතය. එතකොට මම හය වසරේ හිටියෙ. අපි දවසක් රිහසල් කර කර ඉන්නකොට මට මොකක්හරි වැරදීමක් වුණා. මම ඒක හරියට කළේ නෑ කියලා අයියට තරහා ගිහින් ස්ටේජ් එක උඩදිම මට හොඳටම බැන්නා. “තමුසෙට හරියට කරන්න බැරි නම් යනවා“ කියලා. කට්ටිය ඉස්සර එහෙම බැන්නම මටත් තරහා ගියා. “තමුසෙම කරගන්නවා එහෙනම්“ කියලා මමත් අයියට බැණලා තරහා වෙලා ස්ටේජ් එකෙන්

බැහැලා ගෙදර ගියා. පොඩි කාලේ ඉඳලම අයියා හැමදේම සීරියස් අරන් පිළිවෙළට කරනවා. මම එහෙම නෑ. ඒ වගේ දේවල් වලට තමයි ඒ කාලේ අපි රණ්ඩු වුණේ. දැනුත් රණ්ඩු වෙනවා. හැබැයි ඒවා දුරදිග ගෙනියන්නෙ නෑ"

සං‍ෙක්ත් කීවේ සින­ාසෙමිනි. ජනිත්ට ද ඒ අතීතය ගැන තවත් මතක තිබේ.

"පොඩි කාලේ වැඩිපුරම දඟ මල්ලි. හැබැයි ලොකු වෙනකොට මල්ලි ටික ටික තැන්පත් ‍වෙලා මම දඟ වුණාද මන්දා, එහෙම තමයි හැමෝම වගේ කියන්නේ" ඔහු එසේ කියද්දී කුඩා වියේදී අයියා නිසා වූ අකරතැබ්බක් ගැන සං‍ෙක්ත් කීවේ සිනාසෙමිනි.

"පොඩි කාලේ අයියා පරීක්ෂණ කරන්න හරි ආසයි. එක දවසක් එයා පෑන් බටයක් අරන් රත්කර කර හිටියා. මමත් එයා ළඟට වෙලා හිටියා. එක පාරටම පෑන් බටේ උණුවෙලා වැටෙන ඉටි කෙළින්ම වැටුණේ මගෙ වම් කකුල උඩට. මට තාම මතකයි කකුලෙ එතන රෝස පාට හමට වෙනකම් ගැලවිලා ආවා. වේදනාව වැඩිකමට එදා මගෙ අතේ තිබුණු ප්ලාස්ටික් ගිටාර් එකෙන් අයියට හොඳටම ගැහුවා. ඒ සහෝදර ප්‍රේමයේ කැළල තාම මගෙ කකුලෙ තියෙනවා."

සකේත් කීවේ අප ද හිනස්සමිනි.

" පොඩි කාලේ මමත් ටිකක් එක විදිහක්. ඉස්කෝලෙදි රණ්ඩුවලටත් පැටලෙනවා. අයියා නෙවෙයි ඒවා බේරන්න එන්නෙ. යාළුවො තමයි මාව බේරගන්නෙ. හැබැයි දැන් නම් අයියා ඊට වඩා වෙනස්. මම වැරදි දෙයක් කළොත් මට හොඳටම බණිනවා. ඒත් මම වෙනුවෙන් ඕන දේකට ඉදිරිපත් වෙනවා. මම හිතන්නෙ තාත්තාටත් වැඩිය අයියගෙන් ඒ රැකවරණය මට ලැබෙනවා."

මේ වන විට සං‍ෙක්ත් විවාහක වන අතර වැඩිපුර ජීවත් වන්නේ ද වි‍දෙස් ගතවය. රංගන කටයුතු නිසා ජනිත් ගතකරන්නේ ද අවිවේකී ජීවිතයකි. ඒ සියල්ල අතරේ ඔවුන්ගේ සහෝදරකමේ බැඳීම පවත්වාගෙන යන ආකාරය ගැන ද අපි මේ අයිය - මලෝගෙන් විමසුවෙමු.

"අපි දෙන්නා හැමදෙයක් ගැනම කතා කරනවා. මල්ලි අපි ගැන හොයලා බලනවා. එයා ගොඩක් නිහඬ චරිතයක්. ඒ නිසා සමහරු හිතනවා මල්ලි ආඩම්බරයි කියලා. ඒත් එහෙම නෑ. එයා කැමති නිහඬව සරලව ජීවත් වෙන්නයි. ඒ අතර අපේ බැඳීමේ අඩුවක් නැහැ"

ජනිත් මල්ලී ගැන සෙනෙහසින් එසේ කියද්දී සං‍ෙක්ත් කීවේ මෙවැන්නකි.

" මම වැඩිපුර පෙන්න ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසාම සමහරු මගෙන් අහනවා මම මේ පවුලෙ කෙනෙක් නෙවේද කියලත්. මාධ්‍ය ඉදිරියේ අපේ බැඳීම ප්‍රදර්ශනය කළේ නැතිවුණාට ඒ සහෝදර බැඳීම අපි දෙන්නගෙම හිත්වල තියෙනවා."

[email protected]

 

 

Comments