මඟුල් ඇතා ගස් බැඳි ග‍මේ සැඟවුණු බෝඹුරු ඇල්ල | සිළුමිණ

මඟුල් ඇතා ගස් බැඳි ග‍මේ සැඟවුණු බෝඹුරු ඇල්ල

සුපුරුදු විදිහට හැම සති අන්තෙම රෝන්දේ යන මම මේ සතියේ තෝරා ගත්තේ ලංකාවේ තියෙන ලස්සනම ලස්සන දිය ඇල්ලක් බලන්න යන්න. නුවර එළියේ සංචාරයකට යනවා නම් මේ දිය ඇල්ල බලන්න යා යුතුම තැනක් බව ඔබට එහි ගිය වි‍ටෙක හැ‍‍ඟේවි.

නුවර එළිය නගරයෙන් වැලිමඩ බස් එකක නැගලා හග්ගල පසු කළාම හමුවෙන රේන්දපොළ හන්දියෙන් බැස ත්‍රී රෝද රථයකට නැගලා කඳු, හෙල්, තේ වතු, එළවළු කොරටු අතරින් නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම බෝඹුරු ඇල්ල ගම්මානයට යා හැකියි. බෝඹුරු ඇල්ල ගම්මානයට එන්න බස් රථයක් තියනවා. ඒත් ත්‍රී රෝද රථයේ යන්න කල්පනා කළේ එදා ඒ බස් රථය නොතිබුණු නිසා.

මේ ඇල්ල සම්බන්ධව රසවත් පුරාවෘත්තයක් තියනවා. අතීතයේ දෙවෙනි රාජසිංහ සමයේ වරෙක රාජකීය ඇතා බැඳ තිබුණු දම්වැල් කඩාගෙන කැලේ පැනලා තියනවා. ඉන් කලබලයට පත්වුණු රජතුමා රාජකීය ඇතා අල්ලා දෙන කෙනෙක්ට ගම්වරයක් තෑගි දෙනවා යැයි අණබෙර කරුවන් අතේ වැසියන්ට පණිවිඩ යැවූ බව සඳහන්. ඉතින් ඒ ගමේ හිටපු ශක්තිමත් පුද්ගලයෙක් වුණු වනසිංහ මුත්තා මේ ඇතාව අල්ලාගෙන බෝ මුලක ගැටගහලා තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ ‘බෝ මුලේ‘ ගම ලෙස හැඳින්වුණු බව ජනප්‍රවාදයේ සඳහන්. මේ ගම පසුව ‘බෝඹුරේ‘ බවට පත් වුණා යි ත්‍රී රෝද රථයේ රියදුරු මහත්මයා මට කිව්වා.

කතාවෙන් කතාවෙන් බෝඹුරු ඇල්ලට යන පාර ළඟටම ආවා. ඉතින් පොඩි අඩි පාරක් දිගේ ඉතුරු ටික පයින් තමයි යන්න වෙන්නේ. ලොකු බෑග් එකකුත් පිටේ එල්ලන් ආපු නිසා ටිකක් මහන්සියි තමයි. ඒ වගේම බඩගිනියි. මහන්සියයි බඩගින්නයි නිවෙන්න මඟදී හම්බවුණ පොඩි කඩයකින් සැරම සැර කොච්චි සම්බෝලයක් එක්ක උණුම උණු පොල් රොටියක් කාලා රසම රස කිතුල් හකුරු කෑල්ලක් එක්ක බෙලිමල් කෝප්පයක් බිව්වා.

පිදුරුතලාගල කඳුවැටියේ කොනකින් ඇද හැලෙන ලස්සන දිය ඇල්ලක් වන Lover's Leap ඇල්ලෙන් ගලා යන ජලය හාවා එළිය හරහා සඳතැන්න බොරලන්ද ජලාශය ඔස්සේ ඇවිත් උමා ඔය හදන්න මූලිකවන පුංචි ගංගාවක් වන දූල්ගල ගඟට එකතුවෙනවා. එය මුහුදු මට්ටමේ සිට මීටර 1842ක් උස කොටකිතුල කන්ද උඩින් මීටර 50ක් පමණ උස "බෝඹුරු ඇල්ල" හෙවත් "පේර වැල්ල ඇල්ල" නිර්මාණය කරනවා.

සමහරු කියන්නේ නම් මෙය දෙමුහුන් දිය ඇල්ලක් කියලා. ඒ වගේම මෙම දිය ඇල්ල කඩා හැලෙන්නේ අදියර 4 කින්. පළලින් වැඩි නිසා දිය ඇල්ල තැන් 4කින් පහළට වැටෙන්නේ. ලංකාවේ ඉතාමත් සුන්දර දිය ඇලිවලින් එකක් වන මෙම දිය ඇල්ලේ සුන්දරත්වය වචනවලින් කියලා නිම කරන්න බැරි තරම්. ඒ සුන්දරත්වය බලන්න නම් ඔබටත් බෝඹුරු ඇල්ල ළඟට එන්නම වෙනවා. හැබැයි ඔබ රැගෙන එන පොලිතීන්, ප්ලාස්ටික්, වීදුරු බෝතල් මේ පරිසරයට නම් මුදා හරින්න එපා.

ඒ මන්ද යත් අනාගත පරම්පරාවට මේ සුන්දරත්වය මේ ආකාරයෙන්ම රැක ගැනීම අපේ යුතුකමක් නිසා. සංචාරය කරන්න, පරිසරය විඳින්න නමුත් සොබා දහමට හානිවන කිසිවක් නොකරන්න. ලබන සතියෙත් තවත් රෝන්දයකින් මුණ ගැහෙමු.

[email protected]

 

Comments