බාධක මැඬගෙන ජීවිතයට මෝස්තර හොයන එරංජනා | Page 2 | සිළුමිණ

බාධක මැඬගෙන ජීවිතයට මෝස්තර හොයන එරංජනා

සොබාදහමේ අපූර්ව වර්ණ කැටි කරමින් මැව්වා වැනි ඒ සළුපිළි කාගේත් නෙත් සිත් ඇදගන්නා සුලුයි. ලාලිත්‍යයෙන් පිරිපුන් යුවතියකගේ සිරුරට පූර්ණත්වයක් සපයන මෙම මනරම් සළු රැස දෙස ආශ්වාදයෙන් යුතුව බලාගෙන සිටියා. අපරිමිත උත්සාහයත්, බිඳනොවැටුණු විශ්වාසයත්, අපුර්ව වූ නිර්මාණ චින්තනයකුත් හිමි ඇය මේ සියලු නිර්මාණවල අයිතිය දරයි. නමුත් තවමත් විසිහය හැවිරිදි වියේ පසුවන ඇය එරන්ජනා ජයවර්ධන ය.

තම හැකියාව සහ ආසාව එක්තැන් කරමින් ‘Era‘ නම් වෙළෙඳ සන්නාම නාමය ඇය එළිදක්වන්නේ මීට අවුරුදු හතරකට පෙරයි. ඒ වනවිට ඇයගෙ වයස අවුරුදු විසි දෙකයි. ඇය මේ කාර්ය ආරම්භ කරන්නෙ පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අතරතුරේදී. වර්තමාන‍යේදී ඇය කලා ක්‍ෂේත්‍රයේ ‍මෙන්ම ‍මෙරට සුප්‍රසිද්ධ බො‍හො ‍දෙනකු‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවමින් මනබඳනා නිර්මාණ බිහි කරයි. දිනෙන් දින දෙස් විදෙස් හදවත් අතර ‍සොඳුරු මතක ගෙත්තම් කරන ඇය අද සාර්ථක තරුණ ව්‍යවසායිකාවක්. දැන් ඇයගේ දිවි පෙවෙත බාධාවකින් තොරව ගලාගෙන යනමුත් එරන්ජනා ඇඟලුම් නිර්මාණ ශිල්පිනියක ලෙසින් තමන්ගේ අනන්‍යතාව ගොඩ නගා ගන්නේ තරුණියකට ඔරොත්තු නොදන තරම් පීඩාකාරී දුෂ්කර ගමනකින් පසුවයි. ඒ පැමිණි දුෂ්කර ගමන් මඟ සහ වර්තමානයේ අත්විඳින සුන්දරත්වය සහ මානසික තෘප්තිය ගැන එරන්ජනා සිය හඬ අවදි කළා.

" උසස් පෙළ අවසන් කළ ගමන්ම මම පෞද්ගලික අංශයේ රැකියාවකට ගියා. මොකද පාසල් කාලේ ඉඳන්ම අසනීපයක් හැදුණත් නිකරුණේ කාලය ගත කරන්න මං කැමැති වුණේ නැති නිසා. මගේ පුංචි ඇඳුම් මහන කෙනෙක්. ඒ කාලෙත් ඉඩක් ලැබෙන වෙලාවට මම ආස ඇඳුම් නිර්මාණය කරලා පුංචිට දීලා මහ ගන්නවා. ඒ දේවල් එක්ක මට ආස හිතුණා රැකියාව කරන අතරතුරේම ඇඳුම් නිර්මාණකරණය ගැන ඩිප්ලෝමාවක් හදාරන්න. ඒ ක්ෂේත්‍රය ගැන දැනුමක් ලබා ගන්න.“

එරංජනා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් හදාරන ගමන්ම එ‍ලෙස ඇඳුම් නිර්මාණ ශිල්පය ගැනත් හදාරන්නට ‍යොමු වන්නේ ඒ තිබූ කැමැත්ත නිසා. ඇඳුම් නිර්මාණ ශිල්පය පිළිබඳ ඇ‍ගේ තිබුණු කැපවීම සහ උනන්දුව ඩිප්ලෝමාව අවසාන‍යේදී ඒ වෙනුවෙන් ඇයට ඇගැයීමක් ද ලැ‍බෙයි.

“ඒ ලැබුණු ඇගැයීමත් එක්ක මට මගේ හැකියාව ගැන තවත් විශ්වාසය ගොඩ නැගුණා. ලොකු බලාපොරොත්තු නැතිව මට මගේම ඇඳුම් නිර්මාණ ව්‍යාපාරයක් පුංචියට පටන් ගන්න පුළුවන් කියලා දැනුණු විශ්වාසය එක්ක මම ෆේස්බුක් පිටුවක් නිර්මාණය කළා. ඒ තමා ආරම්භය... එතනින් එහාටත් මම මෝස්‌තර නිර්මාණ ශිල්පය ගැන වගේම අලුත් නිර්මාණ ගැන අන්තර්ජාලයෙන් හැදෑරුවා. පුංචි එක්ක අවුරුදු දෙකක් විතර ඇඳුම් කපන්න මහන්න ප්‍රයෝගික දැනුම හා අත්දැකීම ලැබුණා. මගේ පවුල හැරුණම පුංචි තමයි මට ඉන්න ලොකුම ශක්තිය. පුංචි තමයි අදටත් මගේ ඇඳුම් ‍මෝස්තර මහන්නේ. ව්‍යාපාරය පටන් ගන්නකොට මට මූලික ප්‍රාග්ධනයක් තිබුණේ නැහැ. තාත්තා දුන්න තැනක් සහ පුංචි මැෂිමක් විතරයි තිබුණේ.

ඇඳුම් නිර්මාණය වගේම මිනිසුන් එක්ක ගනුදෙනු කරන එක වෙනම වැඩක්. සමහර වෙලාවට හිත් රිදෙන තැන් එනවා. මිනිස්සු නිසා අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. මේ ගමනේදී ඒ හැම මොහොතක්ම පහු කරලා යන්න වෙනවා. කිසිම නිර්මාණයක අඩුපාඩුවක් තියෙන්න බැහැ. රෙදි මිලදී ගැනීමේ ඉඳන් ලස්සන ඇඳුමක් බවට පත් වෙනකම්ම මගේ මහන්සිය සහ කැපවීම මම දෙන්න ඕනි. ඒක වගකීමක්. හැම ඇඳුමක්ම අභියෝගයක්. මිනිස්සු බලාපොරොත්තු වෙන ඇඳුම් නිර්මාණයක අපූර්වත්වය ඔවුන්ට දෙන එක මගේ ආසාව.“

කොයිතරම් නිර්මාණය වටිනවා වුණත් සාමාන්‍ය මනුස්සයෙකුට දරන්න පුළුවන් ගණනකට මිලක් නියම කිරීමට ඇය සෑම ‍මො‍හොතක අදිටන් කරගනියි. වේගයෙන් ලොකු ගමනක් යනවට වඩා, වෙනත් කෙනෙක් යටතේ රාමුවකට කොටු වෙලා රැකියාවක් කරනවාට වඩා ඇයට අවශ්‍ය වූ‍යේ ඇගේම නිර්මාණ එක්ක ව්‍යාපාරයක් කිරීමටයි..

“දැන් ඒ හීනේ හැබෑ වෙලා. ලේසි වුණේ නැහැ. නමුත් කොච්චර බාධක ආවත් මාවත කටුක වුණත් නතර වෙන්න ඕනි කියලා මට කවදාවත් හිතුණේ නැහැ. මොකද මගේ ආසාව සතුට තිබුණේ මගේ නිර්මාණ එක්ක. ඇවිදලා අවශ්‍ය රෙදි හොයාගෙන ඇවිත් තනියම නිර්මාණයක් කපලා මහලා හදන්න මට හැකියාව තියෙනවා. මම හැම මොහොතකම අලුත් දෙයක් ඉගෙන ගන්නයි උත්සාහ කරන්නේ. අලුතින් එන කෙනෙක්ට වුණත් මේ ක්ෂේත්‍රය හොඳට ඉගෙන ගෙන එන්න කියන එකයි මං කියන්නේ. ඉගෙන ගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසාම අලුතින් එන අයටත් මම ඒ දේවල්වලට පුළුවන් විදියට උදව් කරනවා.

නිර්මාණයක් සමාජයට ඉදිරිපත් කරද්දී ෆොටෝ එකක වුණත් පෙනුම ගැන හිතන්න, හැම වෙලාවකම නිර්මාණයක් මිනිසුන්ට ප්‍රිය මනාප හැඟීමක් ගෙනවිත් දෙන්න ඕනි. ඒ මගේ විශ්වාසය. මේ වෙද්දී ‘Era‘ කියලා පටන් ගත්තු මගේ ව්‍යාපාරය ‘Era Bespoke Luxwear‘ යන වෙළෙඳ සන්නාමය යටතෙත් ඉදිරියට යනවා. ඒ එක්කම මගේ අක්කා සඳලි ජයවර්ධනත් ළමා ඇඟලුම් ව්‍යාපාරයක් පටන් ගත්තා. එහි ඇඳුම් නිර්මාණය කරන්නෙත් මම. මේක මට ව්‍යාපාරයකට වැඩිය විනෝදාංශයක්. ඉතින් මගේ විනෝදාංශය එක්ක මම ආස කරන තව නිර්මාණ බිහි කිරීමයි බලාපොරොත්තුව.“

එරන්ජනා තමන්ගේ ජීවිතයේ ඒ අපූර්ව කතන්දරය ඒ විදියට සිනාමුසුව අවසන් කළා. ජීවිතේ බාධක හමුවේ බලාපොරොත්තු සියල්ල අතහැරෙන සිත්වලට එරන්ජනාගේ කතාන්දරය නව බලාපොරොත්තුවක් ගෙන දෙන්නේ නම්...ඔවුන්ගේ ජීවිතද ‍හෙට දව‍සේ සාර්ථක වනු නිසැකයි.

[email protected]

 

Comments