පෙර පුරුදු ස්නේහයම පාමී අපි යළිඳු මුණ ගැහෙමු දේවී | සිළුමිණ

පෙර පුරුදු ස්නේහයම පාමී අපි යළිඳු මුණ ගැහෙමු දේවී

ක් ගීතයක් වෙනුවට ගීත තුනක්ම මෙවර ගීයක අරුමයට ලියන්න සිදුවීම ම එක්තරා අරුමයකි. මෙහි එක් ගීතයක් ගයන්නේ ප්‍රවීණ ගායනවේදී අමරසිරි පීරිස් ය. කිසිදා වියපත් නොවන ගී හඬක් හිමි ඔහු අදත් ගයන්නේ තාරුණ්‍ය පමණක් නොව සුබාවිත ගීතයට පෙම් බඳින කවුරුත් සිත ඇඳ බැඳ ගන්නා ගී ය. ඒ හඬ හැඟුම්බරය. විටෙක දුක්බරය. මේ එවන් හඬින් ගැයූ මෑතකදී ඇසු ගීයකි.

“මේ කිරුළ බර වැඩියි දේවී

ගිනි ගැනී ළය රිඳුම් දේවී

ඔබම පැලැඳුව සිරිස

ස්නේහයේ මිණි කිරුළ

තවම මා හිස රඳයි දේවී

එයම මට බර වැඩියි දේවී“

සෙනෙහෙබර බිරියගේ වියෝවෙන් පසු ස්වාමියාට දැනෙන පාළුව හුදකලා බව, සිය ස්වාමියා හැරදමා යන්නට ජීවිතය හැර ගිය බිරිඳ; එකම කතාවක දෙපැත්තක් ගැන ලියැවුණ මේ ගීත පිළිබඳ ප්‍රවීණ ගී පද රචක බණ්ඩාර ඇහැළියගොඩයන් පවසන්නේ මෙවන් අදහසකි.

“ආචාර්ය ජයන්ත ධර්මදාස දිනක් මට කතා කර පෞද්ගලික දෙයක් කියන්න තියෙනවා හමු වෙමු ද ඇහුවා. ඉතින් අප හමු වූ අවස්ථාවේ ඔහු මට කියනවා ඔහුගේ බිරිය මිය ගොස් අවුරුදු හතරක් වුණත් දෙනෝ දාහක් සෙනඟ මැද්දේ සිටියත්, කුමන රාජකාරියක නිරතව සිටියත් ඔහුට ඇය නැති ඒ පාළුව තදින්ම දැනෙන වග. ඔහුට අවශ්‍ය වුණා ඒ ගැන ගීතයක් කරන්න. මම එය භාර ගත්තා. මා හොඳින්ම දන්නවා ජයන්ත මහතා හා ඔහුගේ බිරිය ශ්‍රිනි එකිනෙකා ගැන ආදරයෙන් බැඳිමෙන් කටයුතු කළ දෙන්නෙක් කියලා. ඒ අත්දැකීම් එක්ක පළමු ගීතය ලිව්වා.

ඔහු මේ පදවලට කැමැති වුණා. මා යෝජනා කළා ආචාර්ය රෝහණ වීරසිංහ ලවා සංගීතවත් කර අමරසිරි පීරිස්ට ගීතය ගයන්න දෙන්න. ඉන් පසු මේ ගීතය ඔහුව හමුවන්න එන අයට අහන්න දී තිබුණා. ගායන ශිල්පී භාතිය ජයකොඩිට ද එහි ගිය වෙලාවක මේ ගීතය අහන්න දී තිබුණා. ඔහු මේ ගීතය අහලා එතැනින් නොනැවති උමාරියාටත් අහන්න දීලා. මේ ගීතය ගයන්න කැමැතියි වග ඒ වෙලාවේ ඇය කියා තිබෙනවා. ජයන්ත මහත්මයා මට මේ කතාව කියලා “උමාරියාටත් මේක ගයන්න දෙමු“ යි කිව්වා. ඒත් මම කිව්වා නෑ මේ ගීතයේ තවත් පැත්තක් තියෙනවානේ අපි එයත් ලියමු කියලා. ඒ අනුවයි උමාරියා කියන ගීතයේ පද පෙළ ලියැවුණේ.

 

“සඳ කිඳුරු බවයෙ සිට ආමි

දුක සතුට සමව ඉවසමි

එදා සිට සපථ කළ

ප්‍රේමයෙන් ආතුරව

පැමිණි මඟ අදින් නිම වේවි

සමුගන්න අවසරයි දේවී....“

මේ පද පෙළ ලියූවේ රෝහණ වීරසිංහයන් නිර්මාණය කළ තනුවට. දෙවන ගීතය ලිවීමේදී තනුව නිර්මාණය වී තිබු නිසා මට වචන ලිවීම පහසු වුණා. අවසානයේ පළමු ගීතයේ පදත් දෙවන ගීතයේ පදත් සංකලනය කර එකම තනුවට යුග ගීතය නිර්මාණය කළා. මේ ගීත තුනටම යහපත් ප්‍රතිචාර ලැබෙනවා.

විවාහක ප්‍රේමය පුදුමාකාරය. දෙදෙනා අතර ඇත්තේ අන්‍යෝන්‍ය බැඳිමකි. ඒ බැඳිම ඇති වන්නේ ආදරය සෙනෙහස එකිනෙකාගේ සිතුම් පැතුම් හඳුනා ගැනීම් තුළිනි. ඒ බැඳිම වඩාත් වැඩි වන්නේ දූ දරු සම්බන්ධතාවයෙනි. තම ජීවිතය ගොඩනගන්න එක වහලක් යට සිට දුන්නාවු දිරිය සෙනෙහස ඇගේ මරණයත් සමඟ අහිමි වූ විට සැමියකුට දැනෙන ශෝකය කෙබඳුදැයි යන්න වචන දස දහසකින් කියනවාට වඩා මේ පද පෙළ සංගීතය සමඟ මුසුකර අමරසිරි හා උමාරියා කදිමට ගයන්නේ යැයි කීමේ වරදක් නැත. මරණයෙන් වුව වෙන් කළ නොහැකි ගැඹුරු බැඳීමක ඇති සොඳුරු බව එහි ගැබ්වී ඇත.

“ශ්‍රීනිත් මමත් යාළුවෙලා අවුරුදු හයකට පස්සේ තමයි විවාහ වුණේ. අපේ විවාහ ජීවිතයට අවුරුදු හතළිස් හතරක්. මීට අවුරුදු හතරකට පෙර ඇය මිය ගියා. ඇය මිය ගියේ පිළිකා රෝගී තත්ත්වයකින්. රෝගය උත්සන්න වනතුරුම ඇයට රෝගයක් ඇති බව දැන ගන්න ලැබුණේ නෑහැ. කොහොම වුණත් අපි දෙන්නා අතර කවදාවත් හිත් රිදීම් තිබු‍ණේ නැහැ. මම කවදාවත් හැන්දෑවේ හයෙන් පසුව ව්‍යාපාරික වැඩවල නිරත වුණේ නෑ..සති අන්තයේ ගෙදරට බඩු ගේන්න මාර්කට් ගියෙත් ඇය සමඟ. ඇයට අවශ්‍ය දේ ගන්න සාප්පු ගියෙත් මා එක්ක. විදේශයක ගියත් මම ගියේ ඇයත් සමඟ. හැමදාම හැන්දෑවට අපි දෙන්නා කොහේ හෝ ගියා. අපි බොහෝම සුන්දර ජීවිතයක් ගත කළේ. ඇගේ මරණයත් සමඟ මට පුදුම තනිකමක් හුදකලා බවක් දැනෙන්න ගත්තා. දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් මට ඇය නැති අඩුව, පාළුව තනිකම දැනෙනවා. මේ හැඟිම් ගැන මම බණ්ඩාර ඇහැළියගොඩට කිව්වා. ඔහු මගේ හිත තේරුම් ගත්තා වගේ ගීත තුනක්ම ලිව්වා. “මේ කිරුළ බර වැඩියි“ ගීත ත්‍රිත්වය පිළිබඳ ආචාර්ය ජයන්ත ධර්මදාසයන් පවසන්නේ එසේය.

තම අමරණීය ප්‍රේමය වෙනුවෙන් ටජ්මහල් සෑදූ ප්‍රේමවන්තයන් අතර තවත් සදාදරණීය පෙමක් මෙය නොවේදැයි මේ කිරුළ බර වැඩියි ගීතය ඇසෙන මොහොතක් පාසා මට සිතේ.

 

[email protected]

Comments