ටෙලි අඹරට අලු‍තෙන් පෑයූ ‘කැලෑහඳ’ | Page 2 | සිළුමිණ

ටෙලි අඹරට අලු‍තෙන් පෑයූ ‘කැලෑහඳ’

ති නැති පරතරය, පන්ති භේද අතර දෙසිතක ඇතිවන ප්‍රේමය දිය කළ හැකිද? ප්‍රේමය වෙනුවෙන් එදාමෙදා තුර ගැහැනියගේ හදවතේ උපන් කැපවීම, දරාගැනීම වස්තු විෂය කරගත් කලා නිර්මාණ කොතෙක් ද? ප්‍රවීණ ලේඛක ඩබ්ලිව්. ඒ. සිල්වා 1938 වසරේදී ලියූ ‘කැලෑහඳ’ නවකතාව තුළින් නිරූපණය කිරීමට උත්සාහ කළේ ද එයයි. ගැමි යුවතියක වූ මාලනී සහ ඉහළ පන්තියේ බටහිර පැලැන්තියේ තරුණයකු වන ජෝන් ජයපාලගේ ආදරය ගැන කියැවුණු ‘කැලෑහඳ’ ලාංකේය සාහිත්‍ය තුළ කඩඉම් ලකුණක් සනිටුහන් කරමින් සිනමාවට නැඟුණු පළමු සිංහල නවකතාව බවට පත්විය.

කාලය වෙනස් වුවද ‍ප්‍රේමයට සීමා පනවන, පෙම්වතුන් දුරස් කරන සමාජ, ආර්ථික සහ දේශපාලන සීමා මායිම් අද ද මුළුමනින් වෙනස් වී නැත. එදා ඔබ කියවූ ‘කැලෑහඳ’නවකතාවත් සිනමා සිත්තමත් මෙදා ටෙලි සිත්තමක් ලෙසින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණ තිබේ. ඒ, සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනී නාළිකා‍වෙනි.

කොවිඩි 19 ගෝලීය වසංගතය පැමිණීමට පෙර විකාශය ඇරඹුවද වසංගත තත්ත්වය හේතුවෙන් විකාශන කටයුතු තාවකාලිකව නතර කළ මෙම ටෙලිනාට්‍ය දැන් නැවත විකාශනය ආරම්භ කර ඇත. ‘කැලෑහඳ’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ දයාරත්න රටගෙදරය. කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල වසර 35ක පමණ අත්දැකීම් ඇති ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හැත්තෑව දශකයේදී ළමා නළුවෙක් ලෙසටය. අනතුරුව වේදිකා නළුවකු, සිනමා පුවත්පත් කලාවේදියකු, සහාය අධ්‍යක්ෂවරයකු ලෙස දිගු කලක් කටයුතු කිරීමෙන් අනතුරුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසියේ ‘මහමෙර පාමුල’ නම් මාලා නාට්‍යයෙනි. ඉන්පසුව ‘එහා ඉවුර’,‘දෑකැති මුවහත’,‘බෝගල සවුන්දිරිස්’ වැනි ටෙලිනාට්‍ය මෙන්ම ‘නිල්දිය යහන’ චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළේය. මේ, ‘කැලෑහඳ’ ගැන දයාරත්න රටගෙදර කී කතාවය.

“මම මෙතෙක් කළ හැම නිර්මාණයකම විෂය සහ තේමා වෙනස්. ‘කැලෑහඳ’ කියන්නේ මමත් ආසාවෙන් කියවූ නවකතාවක්. ඒ ඇසුරින් ටෙලිනාට්‍යයක් කරමු කියලා යෝජනා කළේ ආරියරත්න දොඹගහවත්ත මහත්මයයි. ඔහුම තමයි නිෂ්පාදක මහත්මයාවත් හඳුන්වා දුන්නේ. මෙම ටෙලිනාට්‍යය නවකතාව ඇසුරින් කාලානුරූපීව කළ නිර්මාණයක්. ගම සහ නගරයේ වෙනස්වීම, පවුල් සංස්ථාවේ සහ ‍පුද්ගල ජීවිතයේ බිඳවැටීම් නිරූපණය වන වෙනස්ම ආකාරයේ නිර්මාණයක්. නවකතාවට හානියක් නොවන ආකාරයට හැකිතරම් ඊට අනුගත වෙමින් රූගත කිරීම් සිදු කළා. නව පරපුරේ රංගන ශිල්පීන් වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ද මේ සඳහා සම්බන්ධ වුණා. ඔවුන්ගෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබුණා.”

‘කැලෑහඳ’ ට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කෙසේදැයි අප ඔහුගෙන් විමසුවෙමු.

“මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 හොඳම විකාශන කාලය මෙම ටෙලිනාට්‍ය සඳහා ලැබීමත් ඊට හේතු වුණා. රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති රවි ජයවර්ධන, වත්මන් සභාපති නිහාල් ජයතිලක, අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරංගල සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුමිත අතුරුසිංහ යන මහත්වරුන්ට ඒ ගැන ස්තුතිවන්ත වනවා.”

ලක්සේයා ඉදිරිපත් කිරීමක් වන ‘කැලෑහඳ’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන දායකත්වය නිමල් උඳුගොඩ සහ සාගරිකා උඳුගොඩ විසිනි. මංගල ඡායාරූප සහ වීඩියෝකරණයේ නිරත ව්‍යාපාරිකයකු වන නිමල් උඳුගොඩ පැවසුවේ මෙම ටෙලිනාට්‍ය සඳහා නිෂ්පාදන දායකත්වය දැක්වීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි.

“ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම අභියෝගයක් වුවත් මම මේ සඳහා සම්බන්ධ වුණේ හොඳ නිර්මාණයක් සමාජගත කිරීමේ ආශාව නිසයි. අපේ තරුණ පරපුරට මෙම ටෙලිනාට්‍ය තුළින් දශක ගණනාවකට ඉහත තිබූ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිසරය ගැන අවබෝධයක් ලබාගත හැකියි. චිත්‍රපටය තුළින් 80 දශකයේ සමාජය නිරූපණය කිරීමට උත්සාහ ගත්තා. රූගත කිරීම්වලදී පවා ඒ ගැන අපි විශේෂ සැලකිල්ලක් දැක්වුවා.”

‘කැලෑහඳ’ටෙලි සිත්තම සඳහා අරවින්ද දොඹගහවත්ත, තාරුකා වන්නිආරච්චි, වීණා ජයකොඩි, චන්ද්‍රසෝම බිංදුහේවා, උදයන්ති විජේතුංග, ජගත් බෙනරගම, විජයරත්න වරකාගොඩ, චන්දන ඉරුගල්බණ්ඩාර, ගාමිණී සමරකෝන් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිණියන් රැසක් රංගනයෙන් දායක වී ඇති අතර රූපවාහිනි රචනය වජිර කස්තුරිගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංග රචනයෙන් හෙන්රි ප්‍රේමරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රියනාත් රත්නායක දායක වී තිබේ.

‘කැලෑහඳ’ චිත්‍රපටයේ තිබූ ගී තනුවලටම අනුව නව පද රචනා එක්කර ඇති අතර ඒ සඳහා සමන් චන්ද්‍රනාත් වීරසිංහ දායක වී තිබේ. ගායනයෙන් ඊලියාස් බෙග්, අමිලා නදීශානි, ප්‍රියනාත් රත්නායක සහ සචින්දි සුලක්ඛනා අමරසිංහත් සහාය අධක්ෂණයෙන් ප්‍රසන්න ඉත්තෑපාන සහ දීපාල් ගුණවර්ධන, සංස්කරණයෙන් මධුර ප්‍රසාද්, කැමරාකරණයෙන් ජනක යහම්පත්, සම්බන්ධීකරණයෙන් භාරත නවරත්න කැලෑහඳ සඳහා දායක වූහ. විධායක නිෂ්පාදනය ආරියරත්න දොඹගහවත්තගෙනි.

[email protected]

Comments