අපේ හිත් තුළ තවමත් ඇසෙන මනුෂ්‍යත්වයේ හඬ | Page 2 | සිළුමිණ

අපේ හිත් තුළ තවමත් ඇසෙන මනුෂ්‍යත්වයේ හඬ

ම් කලාකරුවකුගේ නිර්මාණයකින් රසිකයාව රසවින්දනයෙන් ඔබ්බට රැගෙන ගොස්, කම්පනයට පත් කළ හැකිනම් එම නිර්මාණකරුවා සුවිශේෂී පුද්ගලයකු වග නිසැකයෙන් හැඳින්විය හැකියි. එවන් අපුරු කලාකරුවකුගේ 75 වෙනි ජන්ම දිනය ඉකුත් 07 වෙනි සිකුරාදා ට යෙදී තිබුණා. ඔහු අන් කවරකුත් නොව, තම ගැඹුරු භාවමය හඬින් හුදී රසික ජනයාගේ හදවත පත්ලේ සදාකල් ජීවත් වන, අපේ කාලයේ මානව හිතවාදී සංගීතවේදියා වූ විශාරද ගුණදාස කපුගේ ය ...

ඔහු ඉපදෙන්නේ 1945 අගොස්තු මස 07 දා දකුණු ලක මිරිස්වත්තේදී. ඇල්ල මුල්ල කපුගේ ගුණදාස ඒරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කරන්දෙනිය මහ විදුහල , නාගොඩ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ආදියෙන් වැඩිදුරටත් අධ්‍යාපනය හැදෑරු‍වේය. වර්ෂ 1963 දි රජයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කපුගේ, එයින් නික්මී වර්ෂ 1965 දි භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සංගීතය හදාරා ,එහි ඩිප්ලෝමාවත් ලබා ගනියි. ඔහු මුලින්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් වන්නේ 1969 වසරේදී. ඒ "ක්‍රියාකාරී සහකාර" තනතුරක් සදහාය.

1973 වසරේදී ප්‍රියානන්ද විජේසුන්දර "ලියූ දෑස නිලුපුල් තෙමා "ගීතය ගයමින් ගායකයකු ලෙස දොරට වැඩි ඔහු රසික ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබයි. කෙතරම් ජනප්‍රිය වූවද ඉන් උඩඟු නොවුණු මේ මිනිසා හුරු කළේ සරල දිවි පෙවතක්.

සොඳුරු තිප්පළ

කපුගේ ක්ෂේත්‍රයට පිවිසි මුල්ම යුගයේදී අපූරු මිතුරු ඇසුරක් තිබිණි. සංගීතවේදී සේන වීරසේකරයන්ගේ මරදානේ නි‍වෙස එකල සුවිශේෂී චරිත එක් රැස් වූ රසවත් තැනකි. නාට්‍යවේදී යූ ආරියවිමල්,සිනමාවේදී සුගතපාල ද සිල්වා, වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, ලූෂන් බුලත්සිංහල හා කපුගේ ඉන් කිහිප දෙනෙක් පමණි. එම හමුව ඔහුගේ නිර්මාණ දිවියට ද ධනාත්මක බලපෑමක් ක‍ළේය. කපුගේ සහ ලූෂන් බුලත්සිංහල සුසංයෝගක් ඇතිවන්නේද මෙහිදීය. ලූෂන් ගේ "තාරාවෝ ඉගි‍ළෙති" ඇතුළු නාට්‍ය ගණනාවක සංගීත නිර්මාණකරුවා කපුගේ ය.

"දම් පාටින් ළා සඳ බැස යනවා... , "බිංදු බිංදු තාරකා", "තරු මල් යායම පොඩිකර අහස් විලේ", "විදුලි මිණිපහන් නිවී" ,"සඳ රෑ සිහිනයේ" වැනි අතිශය ජනප්‍රිය ගී නිර්මාණ රැසක් බිහිවන්නේද ඉන් අනතුරුවයි. ඔහු මුල්ම යුගයේ ගැයූ ගීත බොහොමයක් ප්‍රේම ගීතයි. නමුත් පසුකාලීනව චන්ද්‍රරත්න මානවසිංහ ශූරින්ගේ පුත් ප්‍රභාත් මානවසිංහ ලියූ " මන්දිර මණ්ඩප සිහසුන " ගීතය ගැයීම ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂයක් විය. එම ගීයට ජනතාවගෙන් මෙන්ම විචාරකයන්ගේ ද විශාල ප්‍රතිචාරයක් ලැබුණි. ඒ ප්‍රවේශය කපුගේ ගේ සංගීත ගමනද ජනතාවගේ මාවතට ප්‍රවිෂ්ට කිරීමට තරම් ප්‍රබල විය.

ඔහුටම ආවේණික හඬ මෙන්ම ජීවිත දැක්ම හා දර්ශනයක් කපුගේට තිබුණි. දේශපාලනික අදහස් පීඩිත පන්තිය වෙනුවෙන් තිබුණි. ඔහු කිව යුතු දේ සෘජුවම කී‍වේය.

"මා ගායකයකු ලෙස සාර්ථක වූවා සේම පසු කලෙක කටුක අත්දැකීම් වලටත් දැඩිව මුහුණ දෙන්නත් වුණා. මගේ සේවා ස්ථානය විතරක් නෙමෙයි මගේ ගීත ප්‍රචාරය වීමත් නැවැත්තුවා. රැකියාව අහිමි කරලා රිමාන්ඩ් එකේ ඉන්නත් වුණා. ඒත් රසිකයන් මාව කවදාවත් අතහැරියේ නෑ. ඔවුන් මට විශාල ශක්තියක් වුණා.." කපුගේ වරක් එක් වැඩසටහනකදී එ‍සේ කී‍වේය.

රජරට සේවයට

කලක් රැකියාව අහිමිව සිටි කපුගේව යළි සේවයේ පිහිටු වන්නේ රජරට සේවයට ලැබූ ස්ථාන මාරුවක්ද සමඟින්ය. එය ඔහුට වෙස්වලාගත් ආශීර්වාදයක් විය. ඒ බොහෝ සාර්ථක නිර්මාණ ගොන්නක් එහිදී බිහි වූ නිසාය. එමෙන්ම දක්ෂතා ඇති නවකයින් රාශියක් කුහකත්වයෙන් තොරව ඔහු ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේය. කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, ආනන්ද නානායක්කාර, ජානකී සුමිත්‍රා, නිශාන්ත මුණසිංහ වැනි ගායකයින් මෙන්ම පල්ලේගම හේමරතන හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, සීතා රංජනී, නිමල් ආනන්ද වැනි ගේය පද රචකයින් දොරට වඩින්නේද ඔහු විවර කළ මංපෙත් හරහායි. දක්ෂ කවියකු වූ රත්න ශ්‍රී විජේසිංහයන් ගී පද රචකයකු කිරීමේ ගෞරවය හිමිවන්නෙත් ඔහුටයි. රන්බණ්ඩා සෙනෙවිරත්න , වසන්ත බණ්ඩාර දිසානායක වැනි ගී පද රචකයින් රාශියක් අරුත්බර ගී පද ඔහුට ගැයීම සඳහා ගොතා දෙන්නේත් මේ වකවානු‍වේ දීය.

1978 ජූලි මස 06 දා ප්‍රේමා විතානගේ සමඟ විවාහ වන කපුගේ, මිත්‍ර, රිද්මා, සජානී යන දරුවන් ති‍දෙනාගෙ සෙනෙහබර පියාණන්... ගායකයකු වශයෙන් පමණක් නොව සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙසද වේදිකාව, සිනමාව, පුංචි තිරය එක ‍සේ ජය ගනිමින් "සරසවි"," ජනාධිපති" වැනි සම්මාන උලෙළ ගණනාවකදී ජනප්‍රියම ගායක, හොඳම ගායක වැනි සම්මාන, බුහුමන් රැසකින් පිදුම් ලැබීය. "සීතල සඳ එළියේ", "උන්මාද සිතුවම්", "මාවතේ ගීතය" වැනි කැසට් පට ගීත ඇල්බම් ගණනාවක් ඔහු විසින් රසිකයන්ට තිළිණ කර ලදී.

පසු කලෙක ගුවන් විදුලියේ සේවයෙන් ඉවත්වන ඔහු , රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේද උදව් ඇතිව 1990 අගෝස්තු 25 දා"කම්පන" ඒක පුද්ගල ප්‍රසංගය ආරම්භ ක‍ළේය. එය මෙරට දර්ශන වාර 100 සහ 1000 කෙටි ක‍ලෙකින් පසුකිරීමේ වාර්තාව ට ද හිමිකම් කී‍වේය. මේ අපූරු ජනතාවාදී ගායකයා 2003 වසරේ අප්‍රියෙල් 03 දා සදහටම දෙනෙත් පියාගන්නේ රටක් හඬවමිනි. මෙම අපූර්වතමයාගේ හඬ වත්මනෙහි ජීවමාන කරන ඔහුගේ පුත් මිත්‍ර කපුගේ පැවැසූ කරුණකින් ඔහු ගැන ලියූ සටහන මෙසේ අවසන් කරමි.

"තාත්තා මිනිසුන් මත ගොඩනැගුණු ගායකයෙක්. බොහෝ අය ඔහු ගිය ගමන මා හරහා බලාපොරොත්තු වෙනවා. සී.ඩී නිෂ්පාදකයන් මට තාත්තාගෙ ගී ගයන්න කළ ආරාධනා එකහෙලා ප්‍රතික්ෂේප කළා. මා ඉන්නේ එතන නොවේ. ඔහු දශක ගණනාවක් දුක් ගැහැට විඳිමින් එකතුකරගත් දෑ පාමුල මා කුහුඹුවකු වාගෙයි. "

 

Comments