ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම යළි ඇරඹෙයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම යළි ඇරඹෙයි

තාවකාලිකව නතර කර තිබූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අද (08) දිනයේ සිට යළි ආරම්භ කෙරෙන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

ඒ අනුව අද දිනයේ දී ඉන්දියාව, දෝහා කටාර් සහ මාලදිවයිනේ සිට ගුවන් යානා මගින් ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට නියමිතය.

ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 185 දෙනෙක්, මාලදිවයිනේ සිට 187 දෙනෙක් සහ දෝහා කටාර් සිට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණෙනු ඇත.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු රජය මගින් ආරම්භ කළ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග එම කටයුතු තාවකාලිකව නතර කෙරුණි.

අනතුරුව අවස්ථා කිහිපයක දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සිදුකළ ද මහ මැතිවරණය හේතුවෙන් පසුගිය සතිය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව නතර කෙරුණු බව විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට රටවල් 93කට අයත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 18,500 ක් පමණ දිවයිනට ගෙන්වාගෙන තිබේ.

මෙම සියලු ශ්‍රී ලාංකිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර පී.සී. ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් සිය නිවෙස් වෙත පිටත්කර හැරුණු බව ජයනාත් කොළඹගේ සඳහන් කළේය.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 40,000ක් පමණ දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවද විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් සඳහන් කළේය.

Comments