පොදු ජන පෙරමුණට 2/3ක ඓතිහාසික ජයක් | සිළුමිණ

පොදු ජන පෙරමුණට 2/3ක ඓතිහාසික ජයක්

ඉකුත් බදාදා පැවැති මහ මැතිවරණයේදී තුනෙන් දෙකක අද්විතීය ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජීවය සැපයූ මහින්ද රාජපක්ෂයන්, ගෝඨාභය රාජපක්ෂයන් සහ බැසිල් රාජපක්ෂයන් යන තුන් සොහොයුරෝ මෙහි වෙති. ජන වරමෙන් නව රටක නව පෙරවදනක් උදා කරලීම පිණිස ඔවුන් විසින් ඉටු කළ අනූපමේය කාර්යභාරය ප්‍රශංසනීයය. සහෝදර බැම්ම ශක්තිමත් නායකත්වයකට ආශීර්වාදයක් කරගත් මේ සොහොයුරන් තිස් වසරක යුද්ධයක් නිමාකොට සාමයේ අරුණලු උදාකර, ලෝක වසංගතයක් මනාව මැඬලමින් ජනතාවට ඉටු කළ මෙහෙයට ජනතාව ඉතසිතින් සැමදා කෘතඥ වෙති. ඉතිහාසයේ යම් දිනෙක මේ විසල් මෙහෙය රන් අකුරෙන් ලියැවෙනු නොඅනුමානය.

ලාං‌කේය දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නව වැනි පාර්ලිමේන්තුව සඳහා පැවැත්වූ මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 145ක් ලබාගනිමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට සමගාමීව එකඟත්වය පළ කළ පක්ෂ වන ටී.එම්.වී‍.පී., ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊ.පී,ඩී‍.පී. සහ ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් හය දෙනෙකු ද සමඟ මුළු ආසන සංඛ්‍යාව 151 දක්වා වැඩි වීම නිසා තුනෙන් දෙකක බහුතර බලයක් ද පොදුජන පෙරමුණ සතු විය. මෙවර මැතිවරණයේදි පොදුජන පෙරමුණ ලැබූ ජන්ද සංඛ්‍යාව 68,53,690 මෙය සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සියයට 59.09 කි‍.

මන්ත්‍රී ආසන 54 ක් හිමිකර ගනිමින් සමඟි ජන බලවේගය ඡන්ද 27,71,984 ලබාගත් අතර එම ප්‍රමාණයට වඩා පොදුජන පෙරමුණ ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 40,81,709 වේ.

ඉකුත් 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිවාදියාට වඩා ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 14 කි. මේ අතර ශ්‍රී ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී අන්ත පරාජයට පත්විය. එම පක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ ජාතික ලැයිස්තුවේ ප්‍රසාද ආසනය පමණි. එහි නායක රනිල් වික්‍රමසිංහ මෙවර මැතිවරණයේදී පරාජයට පත් වූයේ වසර 43ක අඛණ්ඩ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදීය.

එමෙන් ම ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජනබලවේගයට කොළඹින් සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් ආසනය බැගින් ලබා ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට ද හිමිකම් කීය. එම පක්ෂය ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 4,45,958 කි. ඉකුත් 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ජවිපෙ ලබාගෙන තිබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 කි.

සුභද්‍රා දේශප්‍රිය ලියනගමගේ

Comments