“පොහොට්ටුවේ තුනෙන් දෙකේ ජයග්‍රහණය ජනතාවගේ විජයග්‍රහණයක් කරනවා” | සිළුමිණ

“පොහොට්ටුවේ තුනෙන් දෙකේ ජයග්‍රහණය ජනතාවගේ විජයග්‍රහණයක් කරනවා”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්

නීතිඥ සාගර කාරියවසම්

 

 පේ රටේ බිහි වූ දේශපාලන පක්ෂ අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිට පිටම ජාතික මැතිවරණ තුනක් ජය ගන්නවා. ඒ ගැන මොනවද හිතන්නෙ?

අපේ රටේ ප්‍රගතිශීලී කඳවුරට යන එන මං නැති වූ අවස්ථාවේ තමයි ඔවුන් වෙනුවෙන් මේ දේශපාලන පක්ෂය බිහි වුණේ. ඕනෑම කෙනකුට සමාජවාදී කඳවුර නියෝජනය කරමින් දේශප්‍රේමියකු ලෙස මේ පක්ෂයේ රැඳෙන්න පුළුවන් බව මෙරටේ අති බහුතර ජනතාව 2018 සිට මේ දක්වා පැවැති ජාතික මැතිවරණ තුනකදීම ඔප්පු කරල තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 දී එක්සත් ජාතික පක්ෂයේ එල්ලලා ආණ්ඩු හදන කොට ඊට එකඟ නොවූ මේ රටේ බහුතරය එදා මහින්ද රාජපක්ෂ චරිතය වටා එකතු වෙන්න පටන් ගත්තා. ඔවුන් ගේ දේශපාලන අයිතිය සුරකමින් මෙරටේ ප්‍රගතිශීලී කඳවුර රැක ගැනීම සඳහා තමයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පූර්ණ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නෙ. රටට ආදරය කරන ජනතාවට කිසිදු බේදයකින් තොරව එකට එකතු වෙන්න මේ පක්ෂය තුළ ඉඩකඩ තිබුණා. ඒ නිසා තමයි මේ පක්ෂය ඉතා ළාබාල අවදියේදීම සාම්ප්‍රදායික දැවැන්ත දේශපාලන පක්ෂ පෙරළාගෙන 2018 පළාත් පාලන මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්නේ. ඉන්පසුව 2019 ජනාධිපතිවරණයත් විශිෂ්ට ලෙස ජයගත් අපි මේ මහා මැතිවරණයත් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයේ එල්ලලා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව දේශපාලනිකව අතරමං කරපු එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔබේ පක්ෂයේ එල්ලා ගැනීම ගැනත් විවේචන තිබෙනවා නේද?

ඔව්, ඒ ගැන විවිධ අය විවිධ මතවාද ඉදිරිපත් කරනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ සභාපතිවරයා ලෙස තමන් කළ වරද අවබෝධ කරගෙන ඒ වරද නිවැරදි කර ගන්න උත්සාහ කරනවා නම් අපි ඒකට අවස්ථාව දෙන්න ඕන. ඒ අනුව තමයි සිරිසේන මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායමට පොහොට්ටුවෙන් තරග කරන්න අවස්ථාව ලැබෙන්නෙ. දේශපාලනිකව කරන වැරදි වලට සමාව නොදෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණට පාරට බහින්නවත් ඉඩක් ලැබෙන්නෙ නෑ. මොකද මෙරටේ ජව සම්පන්න උගත් තරුණ ජිවිත කොපමණ ප්‍රමාණයක් ඔවුන් විනාශ කර තිබෙනවාද?

2015 දී ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදීම එජාපය සමඟ එක්ව ශ්‍රීලනිපයද සාමාජිකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරන්නට කටයුතු කළ අයකුට සමාව දිය හැකිද?

මම නැවතත් ඔබට පෙන්වා දෙන්නෙ මෙරටේ උගත් නව යෞවනයන් හැට දහක් පමණ මරණ මංචකයට ඇද දමමින් රටේ පොදු දේපළ ⁣විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට නැවත ප්‍රගතිශීලී දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න පුළුවන් නම් ඒ අයිතිය වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුටත් තිබෙන්නට ඕන කියලයි. අනෙක සමහර අය කරන දේශපාලන වැරදිවලට ජනතාව දඬුවම් ලබා දෙනවා. ජනතා බලය අනිසි ලෙස ලබා ගන්න හෝ එසේ ලබාගත් බලයක් අනිසි ලෙස භාවිතා කරන්න හෝ අවස්ථාව ලැබෙන්නෙ එක් වතාවක් පමණයි. ජනතාව එවැනි අයට නැවත බලය දෙන්නෙ නෑ. ඒ නිසා තමයි 2015 දී ජනතාවට වැරදුණ බව දැනගෙන 2018 දීත් 2019 දීත් 2020 දීත් ජනතාව ඒ වරද නිවරදි කර ගන්න ඔවුන් ගේ ඡන්දය පාවිච්චි කරලා තිබෙන්නෙ. කවුරු වුණත් සිදු කර ඇති දේශපාලන වැරදි හදා ගෙන නැවත ප්‍රගතිශීලී දේශපාලන ප්‍රවාහයට එකතු වෙනවා නම් ඔවුන්ට ඒ සඳහා ඉඩක් ලබා දීම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදු කර තිබෙන්නෙ.

දේශපාලනඥයකු නොවන නිර්පාක්ෂිකයකු වන ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ගැන පක්ෂයේ මහ ලේකම්වරයා විදියට ඔබ මොනවද හිතන්නෙ?

යහපාලන ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දාන්න ලොකු උත්සාහයක් ගත්තා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න තිබුණු ඉඩ අහුරා දැම්මා. මේ නිසා 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්න කියල රටේ ජනතාව ප්‍රබල ලෙස බලපෑම් කළා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂයන්ගේද පූර්ණ ආශීර්වාදය ඇතිව ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරල ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණේ. රටේ ජනතාව තේරුම් අරගෙන තිබෙනවා මේ රට ආරක්ෂා කරල රට හදන්න පුළුවන් රාජපක්ෂවරුන් ගේ නායකත්වයෙන් පමණයි කියලා. ඒ නිසා තමයි 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කර ගත් ජනතාව 2020 දී ඔහුගේ රජයේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කර ගන්න ජනවරමක් ලබා දී තිබෙන්නෙ. ඊර්ෂ්‍යා කරල බොරු චෝදනා ගොතල ජන මතය වෙනස් කරන්න බැරි බව නැවත ඔප්පු කරල තියෙනවා.

දැනට ප්‍රකාශිත මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් ඉන්නවා. ඒ ගැන මොනවද හිතන්නෙ?

ඇත්තටම මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපි පක්ෂයක් ලෙස ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා දෙන්න කියලයි. 2019 පැවැති ජනාධිපතිවරණයේ දී මෙරටේ හැටනව ලක්ෂයක ජනතාව ඒ ප්‍රතිපත්ති අනුමත කරල තිබෙනවා. මේ මහ මැතිවරණයේ දී ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බලය ලබා දී තිබෙනවා. රටත් ජනතාවත් ආරක්ෂා කරමින් දේශීයත්වය අගය කර රට ගොඩ නඟන්නට රාජපක්ෂවරුන් තුළ තිබෙන කැපවීම ගැන ජනතාව විශ්වාසය තබා තිබෙනවා.

අපේ රට දෙකඩ කරන්නට සටන් වැදුණ කරුණා අම්මාන් වැනි අයත් දැන් ඔබලා සමඟ එකතු වී සිටිනවාද?

නෑ කරුණා අම්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගෙන ඒ අනුව කටයුතු කරන්න මේ දක්වා එකඟතාවක් ඇති කර ගෙන නෑ. නමුත් ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ එවක රජයට සම්බන්ධ වෙලා රජයට සහය ලබා දී තිබෙනවා. ඒකයි මම කියන්නේ යමෙක් කරන දේශපාලන වැරදි තේරුම් අරගෙන නැවත ඔහු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න කැමති නම් ඒ සඳහා අවස්ථාවක් තිබෙන්නට ඕන. කරුණා අම්මාන් එදා ප්‍රභාකරන් එක්ක එකතු වෙලා කළ දේ වැරදි කියල දැන් තේරුම් ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන පක්ෂයක් හදාගෙන මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. යම් දිනක ඔහු තීරණය කළොත් ඔහු ගේ දේශපාලන පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්න ඕන කියල එදාට පුළුවන් ඔහුටත් අපිත් එක්ක එකතු වෙන්න. ඔහු එදා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න විශාල කැපකිරීමක් කළ අයකු නිසා අපිටත් පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ඔහුට උදව් වෙන්න. අපි පක්ෂයක් විදියට අපේ රටේ සම්පත් විදේශිකයන්ට විකුණන, දේශීය සම්පත් විනාශ කරන, රටේ ඒකීයභාවයට අභියෝග කරන, කිසිවකුටවත් අපේ පක්ෂයට එන්න ඉඩ දෙන්නෙ නෑ. එවැනි කාරණාවලදී අපේ ප්‍රතිපත්ති පිළිගන්න ඕනෑම කෙනකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

කොවිඩ් වසංගත තත්ත්වයකදී මහ මැතිවරණයකට මුහුණ දුන් දෙවැනි රට අපේ රටයි. මේ මැතිවරණයේ දී රටේ ලියාපදිංචි ඡන්දදායකයන් ගෙන් 72% ක් තරම් විශාල පිරිසක් ඡන්දය භාවිත කර තිබෙනවා. ඒ ගැන මොනවද හිතන්නෙ?

ඇත්තටම ඔබ සඳහන් කළ ආකාරයට කොවිඩ් වසංගත තත්ත්වයකදී මැතිවරණ පැවැත්වූ දෙවැනි රට අපියි. අපිට පෙර දකුණු කොරියාව මැතිවරණයකට මුහුණ දුන්නා. ඊට සාපේක්ෂව අපේ රටේ ඡන්ද භාවිත කිරීම ඉතා ඉහළ අගයක් ගන්නවා. මේකටත් විශේෂ හේතුවක් තිබෙනවා. අපේ රටේ කොවිඩ් 19 වසංගතය පාලනය කරන්න ජනාධිපති, අගමැති ඇතුළු රජය අනුගමනය කළ වැඩපිළිවෙළ ගැන ජනතාව ලොකු විශ්වාසයක් තබා ඇති බව ඉන් පැහැදිලි වෙනවා. කොවිඩ් පාලනය කරන්න රජය විශාල කැපවීමක් කරද්දී ඒ පිළිබඳව බොරු ප්‍රචාරය කරමින් ජනතාව නොමඟ යවන්න ඇතැම් පිරිසක් උත්සාහ කළත් ඒ සියල්ල පරාජය කරමින් ජනතාව ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට කටයුතු කිරීම ගැන අපේ ගෞරවය ජනතාවට පිරිනමන්න ඕන.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ වලට සූදානම් කිරීමේදී ඔබලා මුහුණ දුන් අභියෝග මොනවාද?

මේ පක්ෂය නිර්මාණය කිරීමේ සිටම අපිට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වුණා. විශේෂයෙන් බැසිල් රාජපක්ෂයන් දින ගණන් නිදිවරාගෙන මේ පක්ෂය හා එහි ලාංඡනය නිර්මාණය කරන්න වශාල කැපකිරීම් කළා. ඒ කැපකිරීම මේ විදියට සරලව වචන කිහිපයකින් කියල හෑල්ලු කරන්න හොඳ නෑ කියලයි මම හිතන්නෙ. මේ පක්ෂයේ නම හා ලාංඡනය පිළිබඳව පක්ෂයේත් ඉන් පිටතත් විවිධ මතවාද මතු වුණා. නමුත් බැසිල් රාජපක්ෂයන් ඒ සියල්ලට ඇහුම්කන් දෙමින් නොසැලී තීන්දු, තීරණ ගත්තා. එහෙම හදා ගත්තු පක්ෂය මැතිවරණයට සූදානම් කරන්න සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ගිහිල්ල ශාඛා සංවිධාන පිහිටුවලා ජනතාව දැනුම්වත් කරල තමයි මැතිවරණයට සුදානම් කළේ. ඒ වැඩෙපිළවෙළ නොනැවතී ක්‍රියාත්මක කරමින් නිරතුරුව පක්ෂය ඉදිරියට ගැනීමට අවධානය යොමු කළ නිසා තමයි මේ විදියට ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන් කම ලැබී තිබෙන්නෙ. අපේ පක්ෂය දැඩි විනයක් සහිත පක්ෂයක්. ඒ නිසා තමයි අපේ පක්ෂය දකුණු ආසියාවේ ඉතා කෙටි කලකින් ජනප්‍රිය වූ සංවිධානාත්මකම පක්ෂය බවට පත්ව තිබෙන්නෙ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වන බවක් පෙනෙන්නට නෑ. මේ ගැන ඔබගේ මතය කුමක්ද?

බැසිල් රාජපක්ෂයන් මේ ගැන එතුමාගේ මතය ප්‍රකාශ කර තිබුණා. එතුමා සඳහන් කර තිබුණේ පාර්ලිමේන්තුව තුළ ප්‍රබල ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බවයි. නමුත් දැනට ප්‍රකාශයට පත් වී ඇති ප්‍රතිඵල අනුව ප්‍රබල ශක්තිමත් විපක්ෂයක් වෙනුවට විහිළු සපයන විපක්ෂයක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ වැඩියි. එවැනි තත්ත්වයක් සැබැවින් ම අවාසනාවන්ත තත්ත්වයක්. පාර්ලිමේන්තුව තුළ ඵලදායි ලෙස කටයුතු කළ හැකි විපක්ෂයක් තමයි අවශ්‍ය වෙන්නෙ. අපි ආණ්ඩුවක් හැටියටත් රටක් විදියටත් ප්‍රබල විපක්ෂයක් නොමැති කම දකින්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ ධනාත්මක තත්ත්වයට යම් ආකාරයක හානියක් කියලයි.

මෙරටේ ක්‍රියාත්මක වූ ප්‍රබල සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙක වූ ශ්‍රීලනිපය හා එජාපය මේ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මේ ගැන ඔබගේ මතය කුමක්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් වුණේම එජාපයේ එල්ලෙන්න ගිහිල්ල ජනතා විශ්වාසය නැති කරගැනීමයි. එජාපය ජනතාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒ වටා එක්වූ ආගම්වාදී කල්ලිවාදී කණ්ඩායම් නිසා කියලයි මම හිතන්නෙ. මේ තත්ත්ව ජනතාව දිගු කාලයක් විඳ දරාගෙන ඉඳලා නිසි අවස්ථාවේදී නිසි පියවර අරගෙන තිබෙනවා කියලයි පෙනෙන්න තිබෙන කාරණා අනුව නිගමනය කරන්න පුළුවන්නෙ. ඒ වගේ ම ඉකුත් වසර පහ තුළ දේශීය සම්පත් විනාශ කරමින්, ජාතික සම්පත් විකුණා ජාතික ආරක්ෂාව විනාශ කරලා රට අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත් කරන්න උඩ ගෙඩි දීපු ආකාරය ජනතාව විමසිල්ලෙන් බලාගෙන හිටියා. ජනතාවට ඒ සියල්ලට උත්තර දෙන්න වේලාවක් එනතුරු බලාගෙන ඉඳලා ඒ අවස්ථාව ලැබුණාම නිසි පරිදි උත්තර දීලා තියෙනවා. ඕනෑම දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති කුමක් වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ජනතාව ගේ හද ගැස්ම තේරුම් ගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ කියන පණිවිඩය මේ මැතිවරණයේදී ජනතාව පෙන්වා දී තිබෙනවා.

ඔබ නීතිඥයෙක් විදියට මෙවර මැතිවරණයේ ක්‍රියාත්මක වූ නීති රීති පිළිබඳව මොනවද හිතන්නෙ?

මෙවර මැතිවරණ නීති රීති මීට පෙර පැවැති මැතිවරණ සමඟ සංසන්දනය කරන්න බෑ. මොකද මේ මැතිවරණය පැවැත්වුණේ ලෝකයම මුහුණදී තිබූ කොරෝනා වසංගත තත්ත්වයක් යටතේයි. ඒ නිසා මෙවර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම ද මැතිවරණයේ නීති රීති විදියට ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් මහජන හමු සීමා වුණා. මහජන හමුවලට සහභාගි වන පිරිස සීමා කරන්න සිද්ධ වු‍ණා. මුව ආවරණ පලඳින්න සිද්ධ වුණා. පෙළපාළි, ගෙන් ගෙට යෑමේ කණ්ඩායම්වල විශාලත්වය සීමා කරන්න සිද්ධ වුණා‍. මේ සියලු තත්ත්ව ආරක්ෂා කරමින් පරිසර හිතකාමී සාමකාමී මැතිවරණයක් පවත්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණ අත් කර ගැනීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා මුලදීම ඉල්ලීමක් කරලා තිබුණා එතුමාගේ රුව සහිත බැනර් කටවුට් ප්‍රදර්ශනය කරන්න එපා කියලා. ඒ වගේම පෝස්ටර් අංක ප්‍රදර්ශනය කිරීම් සීමා කරලා තිබුණා. සැරසිලි තිබුණේම නැති තරම්. මේ ආකාරයට සාමකාමී සාධාරණ මැතිවරණයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි මගේ හැඟීමයි. විශේෂයෙන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් අඩුම මැතිවරණයත් මේ මැතිවරණය බවයි ඉතිහාසගත වෙන්නෙ.

ඉකුත් ජනාධිපතිවරණයේදී වගේම මෙවර මහ මැතිවරණයේදීත් ජාතිකත්වය පදනම් කර ගනිමින් ඡන්දය පාවිච්චි කර තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. එය ඔබ දකින්නෙ කොහොමද?

මැතිවරණ ප්‍රතිඵල හොඳින් විග්‍රහ කළොත් ඔබ කියන ආකාරයට ජාතිකත්වය පදනම් කරගෙන ඡන්දය ප්‍රකාශ කළා යැයි සියයට සීයක්ම නිවැරැදිව කියන්න බෑ. ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවරත් ජනතාව ඡන්දය දීලා තිබෙන්නෙ රටට ආදරය කරන කණ්ඩායමටයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් රජය කටයුතු කළ ආකාරය ගැන ජනතාව අවදියෙන් හිටියේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ කරුණු ජනතාව හොඳින් අවධානය යොමු කරලා තමයි ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කරලා තිබෙන්නෙ. මේ තත්ත්වය ජාතිකත්වය යැයි යමකුට නිර්වචනය කරන්න පුළුවන් වුණත් සැබැවින්ම එය රටට ආදරේ හා රටට ආදරේ නොකරන යනුවෙන් බෙදලා ජනතාව දුන් තීන්දුවක් ලෙසයි අපි දකින්නෙ. නමුත් අපි රටක් විදියට ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා රටේ ජීවත්වන සියලු ජන කොටස් ඒකරාශි කරගෙන ඒකීය රාජ්‍යයක් ලෙස මේ රට ගොඩ නඟන්න අපි සියලු දෙනා කැපවිය යුතුව තිබෙනවා.

මෙවර මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් ලෙස ඔබලා ඉදිරිපත් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමයි. ජනතාව එය අනුමත කර තිබෙනවා. කොහොමද ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සකස් කරනවාද?

ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. එය ජනතාවාදී ජනතාව වෙනුවෙන් ම සකස් වූ ව්‍යවස්ථාවක් වෙන්න ඕනේ කියලයි හිතන්නෙ. දැනට තිබෙන ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වෙලා. ඒකෙන් ම තේරෙනවා කාලීනව ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියලා. ඒ නිසා මෙය අලුත් ව්‍යවස්ථාවක් හදන්න කාලයයි.

විශේෂයෙන් දැන් තිබෙන ව්‍යවස්ථාව රටේ ජාතික ආරක්ෂාව හා ඒකීය භාවයට දැඩි හානිකර තත්ත්වයක් තිබෙනවා. අපෙත් රටෙත් වාසනාවට මේ වේලාවේ ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති ධූරය උසුලනවා. නමුත් නැවත සජිත් හෝ රනිල් මේ රට බාර ගත්තොත් රටට සිදුවිය හැකි අනතුර ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා රට ගැන හිතල රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුයි කියල අපි විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පක්ෂයෙන් නම් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා තිබෙන සූදානම කොහොමද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන මුළු ඡන්ද සංඛ්‍යාව පදනම් කර ගෙන තමයි අපිට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය වන්නෙ. මේ දක්වා අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්තෙ නෑ. කොහොම වුණත් 20 දා නව පාර්ලිමේන්තුව රැස්වී‍මට නියමිත නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනෙකුත් පක්ෂ නායකයන් සමඟත් සාකච්ඡා කරලා ඒ ගැන තීරණ ගන්න නියමිතයි.

ඔබලා අපේක්ෂා කළ ආකාරයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමි කරගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා. ඒ ගැන ඔබ ජනතාවට කියන්නෙ මොනවාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවාසී සමස්ත ජනතාවට කෘතඥ වෙනවා. ඒ වගේ ම මේ ජයග්‍රහණය ජනතාවගේත් රටේත් විජයග්‍රහණයක් කරන්න අපේ පක්ෂය ඉදිරියටත් කැප වෙන බව මෙහිදී සඳහන් කරන්න ඕනේ.

Comments