හිටපු මන්ත්‍රීවරු 33 ක් ගෙදර යැවූ මැතිවරණයේ ඇතුළාන්තය | සිළුමිණ

හිටපු මන්ත්‍රීවරු 33 ක් ගෙදර යැවූ මැතිවරණයේ ඇතුළාන්තය

මහින්ද රාජපක්ෂ හා පුත් නාමල්

ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා ඉකුත් 05 වැනිදා පැවති මහ මැතිවරණයට තරග කළ හිටපු මැති ඇමැතිවරු තිස් තුන්දෙනකු පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට නොහැකි විය. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ඒ ඒ දිස්ත්‍රික්වලින් මොවුන් ඉදිරිපත් වී තිබේ. හිටපු ඇමැතිවරුන් වන විජිත් විජිතමුණි සොයිසා, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රවි කරුණානායක, රනිල් වික්‍රමසිංහ, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන් මෙලෙස මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ඇත.

චතුර සේනාරත්න, සුනිල් හඳුන්නෙත්ති, නිරෝෂන් ප්‍රේමරත්න, නලින් ජයතිස්ස, පාලිත තෙවරප්පෙරුම, බිමල් රත්නායක, මනෝජ් සිරිසේන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කරුණාරත්න පරණවිතාන, එම්. කොචීෂ්වරුන්, අබ්දුල්ලා මහරුෆ්, එම්.එස්.එප්. අමීර් අලි, අලිසහීර් මවුලානා, ශ්‍රී නේෂන්, සීනි තම්බි යෝගේෂ්වරන්, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, චන්දිම ගමගේ, වීරකුමාර දිසානායක, මුතුකුමාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිකර ගැනීමට නොහැකි වී තිබේ.

මේ අතර නව මුහුණු රැසක් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වූ ගාමිණී වලේගොඩ හා අකිල එල්ලාවල යන අය සහ මුදිතා ප්‍රසාන්තිනි මෙන් ම සමගි ජනබලවේගයේ ප්‍රියන්ත ලියනගේ ද මුල්වරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්වූ එම්.එස්. තවුෆික් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වූ කපිල නුවන් අතුකෝරාල මෙවර මුල්වරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව තිබෙන අතර මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වූ වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ සහ උදයන චාමින්ද කිරිඳිගොඩ යන අය ද මුල්වරට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එස්. යෝගරාජා (ඉලංගෙයි තමිල් අරුසු කච්චි), කුලසිංහම් දිලීපන් (ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වෛද්‍ය උපුල් ගලප්පත්ති, අජිත් ගලප්පත්ති තේරීපත්ව ඇත. යාපනය දිස්ත්‍රික්කය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් (ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය), සී.වී. විග්නේෂ්වරන් (තමිල් මක්කල් තේසීය කුට්ටනි) කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයට සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජීවන් තොණ්ඩමන්, එම්. රාමේෂ්වරන්, නිමල් පියතිස්ස පත්වී තිබෙන අතර ඒ දිස්ත්‍රික්කයෙන් ජාතික සමගි බලවේගයෙන් එම්. උදයකුමාර් තේරී පත්ව ඇත. කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජිත වික්‍රමසිංහ, සුදත් මංජුල හා උදයකාන්ත ගුණතිලක තේරීපත්ව තිබේ. මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නාලක බණ්ඩාර කෝ‍ට්ටේගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්ව ඇත‍.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඩී.සී.වීරසිංහ, තිලක් රාජපක්ෂ, එච්.එම්.එම්.හැරිස් හා සමස්ත ලංකා දමිල කොංග්‍රසයෙන් පළමු වතාවට එම්.එම්. මුෂාර‍ෆ් පාර්ලි‍මේන්තුවට පත්ව තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහාචාර්ය චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, එච්. නන්දසේන හා කේ.පී.එස්. කුමාරසිරි තේරීපත්ව ඇත. එම දිස්ත්‍රික්කයෙන් ජාතික සමගි බලවේගය වෙනුවෙන් රෝහණ බණ්ඩාර පත්විය. ගාල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරාළ තේරී පත්ව ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත්, ඩී.බී. හේරත්, සුමිත් උඩුකුඹුර මුල්වරට තේරීපත්ව ඇත‍. කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රදීප් උඳුගොඩ, මධුරවිතානගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, එස්.ඩී. ජගත් කුමාර තේරීපත් විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අමරකීර්ති අතුකෝරාළ, හා සමගි ජනබලවේගයෙන් කිංග්ස් නෙල්සන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ හ. මොනරාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, ගයෂාන් නවනන්ද හා සමගි ජනබලවේගයෙන් ධර්මසේන විජේසිංහ පළමු වරට පාර්ලිමේන්තු යෑමට සුදුසුකම් ලබා ඇත‍. මාතර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ තේරී පත්ව තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආචාර්ය නාලක ගොඩහේවා, සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලින් ප්‍රනාන්දු හා මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර තේරී පත්ව ඇත. මඩකලපු දිස්ත්‍රික්කයට තමල් මක්කල් විඩුතලෙයි පුලිහල් පක්ෂයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි සානක්‍ය රාහුල්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් සෙයිනුලාබ්දීන් නසීර් පළමු වතාවට පාර්ලිමේන්තු යෑම සඳහා වරම් ලබා ඇත.

ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ල‍ිමේන්තුව සඳහා සභිකයන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් ඉකුත් 05 වැනිදා පැවැති ඡන්ද විමසීමෙන් ජයගනිමින් පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීම මෙවර මැතිවරණයේදී සුවිශේෂී අවස්ථාවකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂයන් සහ ඔහුගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂයන්, හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු ඇමැති චමල් රාජපක්ෂයන් සහ ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂයන් මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.

මාතලේ දිස්ත්‍රික්කය තරග කළ හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සහ ඒ මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මෙම පිය පුතු යුවළ තුනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කිරීම ද විශේෂත්වයකි. මේ අතර මෙවර මැතිවරණයේදී කාන්තාවන් හත්දෙනකු පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත. ‍රත්නපුර දිස්ත්‍රික්ක‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හිටපු ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි සහ මුදිතා ප්‍රිශාන්තිනී පාර්ලිමේන්තුව නියෝජනය කරයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජාතික සමගි ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාලට ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී ඇත. මුදිතා ප්‍රිශාන්තිනී යනු පොදුජන පෙරමුණට ඉමහත් සේවයක් කළ රත්නපුර හිටපු මන්ත්‍රී රංජිත් සොයිසාගේ බිරිඳය.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ කෝකිලා හර්ෂණී යන අයද ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ගීතා කුමාරසිංහ ද පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. රෝහිනී කවිරත්න මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරී පත්ව ඇත. මේ අතර මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණ දඬුවම් ලබා සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ ප්‍රේමලාල් ජයසේකර සහ ඝාතන සිද්ධියකට සැකපිට අත්අඩංගුවේ පසුවන මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් පක්ෂයෙන් තරග කළ සිවනේෂන් තුරෙයි චන්ද්‍රකාන්තන් යන අය ද මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව ඇත.

Comments