කොරෝ­නා­වෙන් වැසී ගිය මගේ සිනමා පාසැල | සිළුමිණ

කොරෝ­නා­වෙන් වැසී ගිය මගේ සිනමා පාසැල

ගම්පහ නග­රයේ පිහිටි මා දන්නා තර­මින් දශක හත­කින් ඔබ්බට ගියාවූ අතී­ත­යක් සහිත “පබ්ලික් හෝල්” නැමැති සිනමා ශාලාව වසා දමා ඇත. එහි අව­සන් වරට ප්‍රද­ර්ශ­නය කර­මින් තිබූ  “විජ­යබා කොල්ලය” චිත්‍ර­ප­ට­යයි. මෙම සිනමා හල මතු නොව, රටේ කොතැ­නක හෝ චිත්‍ර­පට ශාලා­වක් වැසී යාම සිනමා ලෝලි­යෙකු වශ­යෙන් මා තුළ දුකක් ඇති කර­න්නක් වුවද ගම්පහ නග­රයේ “පබ්ලික් හෝල්” වැසී යාම මා අර­බයා විශේෂ කන­ගා­ටු­වක් ඇති කර­න්නකි. එයට හේතුව එය මගේ සිනමා පාස­ල­වීම හේතු කොට ගෙනය.

සින­මා­ක­ර­ණයේ නොයෙ­දුණ ද සින­මාව ගැන ලේඛ­නයේ හා චිත්‍ර­පට විචා­රයේ යෙදෙ­න්නෙකු වශ­යෙන් වුවද  එය හැදැ­රීමේ පළමු අභ්‍යා­සය වන්නේ වඩ වඩාත් සිනමා කෘති නැර­ඹීම බව අමු­තු­වෙන් කිව යුත්තක් නොවේ.

සිනමා අධ්‍ය­ය­න­යෙහි ලා වූ ඒ කොට­සත් ශ්‍රී ලංකාවේ සිනමා සංස්කෘ­තියේ ස්වභා­ව­යත් ඉතා හොඳින්  වටහා ගැනීමේ අව­ස්ථාව මා ලබා ගත්තේ මෙම සිනමා හල පාදක කර ගනි­මින් බව සඳ­හන් කරන්නේ යම් ප්‍රමා­ණ­යක ගෞර­ව­යක් ද සහි­තව ය.

ෙදාර­ටු­ව­කින් ඇතු­ළු­වී­මෙන් අන­තු­රුව සපු­රාම වෙනත් අපූර්ව ලොවක් දැක ගැනීමේ  චම­ත්කා­රය  මා මුලින් ම ලබා ගත්තේ ගම්පහ “පබ්ලික් හෝල්” සිනමා ශාලා­වෙනි. කුඩා කලදී දෙම­ව්පි­යන් සමඟ මා දුටු මුල්ම චිත්‍ර­ප­ටය කුම­ක්දැයි අම­ත­කය. මත­කයේ රැඳුණු මුල් ම චිත්‍ර­ප­ටය වූයේ  ඇල්.ඇම්. පෙරේ­රාගේ “හතර පෙර­ළිය”යි. එය හොඳ චිත්‍ර­ප­ට­යක්  නොවූ­වත් අද දක්වාත් සිනමා කෘති නැර­ඹීමේ නොතිත් ආශාව දල්වනු ලැබුවේ පබ්ලික් හෝල්හි නැරඹූ එම “හතර පෙර­ළිය” එම දර්ශ­නය විසිනි.

චිත්‍ර­ප­ටය නම් අපූර්ව ප්‍රාති­හා­ර්යය තර­මට ම සිනමා ශාලාව නම් වූ සුන්දර ආකෘ­තිය ද සදා­කා­ලි­කව සිත ඇද බැඳ ගන්නට සල­ස්වනු ලැබුවේ මෙම සිනමා ශාලාව විසින් මය. මගේ මත­කයේ අද­ටත් ඇදී ඇති පරිදි ශාලාවේ දෙපස බිත්ති වල කිරි ගරුඬ පැහැති ගෝලා­කාර ආව­ර­ණ­යක් සහිත විදුලි ලාම්පු ජෝඩුව බැගින් සවි­කර තිබිණි. මේවා­යින් විහි­දුන් රන් පැහැති මෘදු ආලෝ­කය ප්‍රේක්ෂ­කයා සිනමා කෘති­යක ආශ්වා­ද­නය උදෙසා පොළ­ඹ­වන සුලු විය. ලණු කාපට් විශේ­ෂ­ය­කින් මානාසේ නිමාව තිබූ සිවි­ලි­මට පහ­ළින් පැරණි පන්නයේ විදුලි පංකා ප්‍රේක්ෂ­ක­යාට සිසි­ලක් ගෙන දුන්නේ ඒවායේ උප­රිම ධාරි­තා­වෙන් ක්‍රියා­ත්මක වෙමිනි. ඉදිරි පසවූ ‘රිදී තිරය’ කදිම රතු තිර­ය­කින් ආව­ර­ණය වූ අතර, එය විවෘත වූවේ තුන්වන සීනුව ද නාද වී සිනමා ප්‍රක්ෂේ­පණ යන්ත්‍රයේ ආලෝක ධාරාව ඒ මතට එල්ල­වී­මත් සමඟ ය. එම ආලෝ­ක­ධා­රා­වත් සමඟ “ නුව­ර­එ­ළිය බීර මෙහි තිබේ” යනු­වෙන් වෙළඳ දැන්වී­මක් ද කාලා­න්ත­ර­යක් තිස්සේ ප්‍රද­ර්ශ­නය වූ බව අපට මත­කය.

කුඩා වියෙහි සිටි අපට නුව­ර­එ­ළිය බීර පානය කිරීමේ ආශා­වක් නොති­බුණ ද අද­ටත් සුව­ඳට පවා ලොල්බ­ඳින අලියා ලකුණ දරන ඔරේජ් බාර්ලි පානය කිරීමේ ආශාව මා තුළ ජනිත වූයේ පබ්ලික් හෝල් එකෙහි චිත්‍ර­පට නැර­ඹීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. විවේක කාලයේ දී එක අතක බෝතල් හතර බැගින් එල්ලා ගත් එහි සේව­ක­යන් ආසන අතර වූ මාර්ගයේ ගමන් කරනු ලැබුවේ මූඩි ගල­වන අඬු­වෙන් ඒවාට තට්ටු­කර, මිහිරි ජල­ත­රංග වාද­න­යක් ද නිකුත් කර­ව­මිනි. විවේක කාලයේ දී මුළු සින­මා­හල ම ඔරෙන්ජ් බාර්ලි සුව­ඳින් පිරී­යන අතර, වැඩි­හිටි පිරි­මින් බොහෝ දෙනෙකු විසින් පානය කරනු ලබන සිග­රට් වල දුම ද චිත්‍ර­පට සංස්කෘ­ති­යට ම අයත් සුග­න්ධ­යක් වූවා විනා සෙසු ගැහැනු පිරිමි කිසි­වෙ­කු­ටත් අප­හ­සු­තා­ව­යක් ගෙන දුන්නේ නැත. සිනමා හලේ ආසන සංයු­තිය සකස් වී තිබුණේ ගැල­රිය, දෙවන පන්තිය සහ පළ­මු­වෙනි පන්තිය වශ­යෙනි. මෙහි බැල්ක­නි­යක් තිබුණේ නැත. ගැල­රි­යට බංකු යොදා තිබූ අතර, දෙවන පන්තිය ඇදි පුටු සහිත විය. ප්‍රවේශ පත්‍ර මිල ගණන් වූයේ ගැල­රිය සත 55, දෙවන පන්තිය රු: 1.10 සහ පළමු පන්තිය රු: 2.25 වශ­යෙනි. නග­රයේ මධ්‍යම පන්තික ස්ත්‍රීන් පවා දෙවන පන්තියේ අසුන් වල වාඩි වී සුර­ක්ෂි­තව චිත්‍ර­පට නැර­ඹීම මෙහි සුලබ දසු­නක් වූ අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ දී ද ඔවු­නට විශේෂ සැල­කි­ල්ලක් හිමි විය.

සේවක මණ්ඩ­ලය පොදුවේ චණ්ඩි මාන­සි­ක­ත්ව­ය­කින් සිටි නමුදු පළමු හා දෙවනි පන්ති සඳහා ආචා­ර­ශිලි වූහ. එහි පළමු පන්තියේ දොර­ටුව බාරව සිටියේ සර­මට යට කොට සුදු අත් කොට කමි­ස­යක් හැඳ තද කළු බඳ පටි­යක් පැලඳ සිටි රතු මිටි අයෙකි. ඔහු මෙන් ම ඔහු අත තිබූ කෑලි තුනේ දිලි­සෙන එව­රෙඩි විදුලි පන්දම ද මට අද­මෙන් මතක ය.

නමුත් ගැල­රියේ තත්ත්වය මීට සපු­රාම වෙනස් විය. එහි චිත්‍ර­පට බලන්නේ සමා­ජයේ භයා­නක ම කොට­සක් බව පෙන්නුම් කළ ආකා­ර­යකි. ප්‍රේක්ෂ­කයා ටිකට් ගැනී­මට යා යුතුව තිබුණේ සිනමා හල් භූමියේ තාප්ප­යට ම අල්ලා සකස් කළ උම­ගක් බඳු පෝලි­මක ය. මෙම උම­ගෙහි යාන්තම් දෙදෙ­නෙ­කුට මාරු විය හැකි වූ අතර, එක් පැත්ත­කින් අවට බැලිය හැකි වූයේ සවි­මත් කටු කම්බි පොට­වල් කිහි­ප­යක් අත­රිනි. හිසට අඟල් කිහි­ප­යක් උඩින් වූ වහ­ලය කොන්ක්‍රීට් ස්ලැබ් එකකි. යටින් වූ මාර්ගය ද හරි අපූරු ය. ඒ මඟ තනා තිබුණේ අඟල් හයක් පමණ ගැඹු­රැති වැසි­කිළි අප­ද්‍රව්‍ය ගලා යන කානු­ව­කට ඉහ­ළින් හරස් අතට කොන්ක්‍රීට් ලෑලි ඇති­රී­මෙනි.

එළියේ සිට බල­න්නෙ­කුට අද දවසේ නම් හිට්ලර්ගේ සිර කුටි­යක පෙනුම සිහි ගන්වනු ඇතැයි අද සිතිය හැකි වුවද එදා එසේ සිතුනේ නැත. අපේ එකම අභි­ප්‍රාය වූයේ කෙසේ හෝ හැකි­තාක් වේලා­සන පැමිණ මේ උම­ගට ඇතු­ළ්වීම ය.

මක්නිසා ද කිය­නවා නම් උමගේ වප­ස­රිය තුළ ස්ථාන­ගත වූ කිසිම ප්‍රේක්ෂ­ක­යෙ­කුට ටිකට් ඉව­ර­වීමේ අවා­ස­නා­වට මුහුණ දෙන්නට සිදු නොවන බව අප අත්දැ­කී­මෙන් දැන සිටි බැවිනි.

Comments