විකුම්සිහ සූරින්ගෙ අපේගම දෙමළට නැඟූ ශඩගෝපන් | සිළුමිණ

විකුම්සිහ සූරින්ගෙ අපේගම දෙමළට නැඟූ ශඩගෝපන්

නාවලපිටිය දොළොස්බාගේ මාසිවිලා නම් තේවත්තෙන් බිහිව කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක්ද දිනා ගැනීමට සමත් වූ වතුකර ලේඛකයකු ගැන මෙවර මිතුරු පවුරෙන් අවධානයට ලක් කෙරේ.

භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂවේදි උපාධියෙන් සෑහීමකට පත් නොවන ඔහු පසුව නීති විභාගයද ජය ගන්නේ වතු පාලකයන්ගේ යකඩ සපත්තුවට පෑගී තැළී පොඩිවන තම සහෝදර ජනතාවට සාධාරණය ඉටු කර දීමේ අරමුණෙනි. ඒ වගේම 83 කළු ජූලියෙදි සිය බාල සොයුරාද සමඟ ඔහුට මුහුණ දිමට සිදුවන කටුක අත්දැකීම ද නීතිවේදියකු වීම කෙරෙහි අප මිතුරා තුළ තදබල පෙලඹවීමක් ඇති කරන තවත් කාරණයක් විය.

මේ සියලුදේටම වඩා වැදගත් වන්නේ ඔහුගේ ලේඛන කලා ජීවිතය කියා මට සිතේ. “මම පොත් පත් කියවන්න පුරුදු වෙන්නෙ පුංචි කාලෙදිමයි. මාව ලේඛකයෙක් කළේ ඒ කාලේ වතු වලට ඉන්දියාවෙ ඉඳල පොත් අරන් ආපු “කවිරායර්” කියන වෙළෙන්දාය කියලත් කියන්න හැකිය...”

ඉරා ශඩගෝපන් නමින් අද දෙමළ සාහිත්‍යයේ නමක් දිනා සිටින රාමයියා ශඩගෝපන්ගේ සාහිත චාරිකාව ඇරඹෙන්නේ එහෙමයි. වතු දරුවකු ලෙස ඉපදෙන අනිත් හැමකෙකුට වගේම ශඩාටද හෝඩි පොත කියවන්නට සිදුවුණේ වත්තේ ඉස්කෝලෙනි. වතු පාසලේ අධ්‍යාපනය 5වෙනි පන්තියෙන් නිමා වේ. වතු දරුවන් බහුතරයකට ඊළඟට අත්වන ඉරණම තමා තමන්ගෙ දෙමාපියන් වගේම තේ පඳුරු මැද ජීවිතය දිය කර හැරීමයි. එහෙම වුණත් අකුරු වලට පෙම් බැඳ සිටි තම පුතා නගරයේ පාසලකට යැවීමට ශඩාගේ අප්පා රාමයියා හා මව අඩෙක්කම්මා තීරණය කරයි.

ශඩාගේ නිර්මාණ චාරිකාවේ ඊළඟ පිම්ම පනින්නට අත-හිත දෙන ඒ. කේ. ෂන්මුගලිංගම් ගුරුතුමා ඔහුට මුණගැහෙන්නෙ නාවලපිටිය කදිරේසන් කුමාර මහා විද්‍යාලයෙදීය. “නමය වසරෙදි අපිට සාහිත්‍ය ඉගැන්නුව ෂන්මුගලිංගම් ගුරුතුමා දෙමළ පණ්ඩිත විභාගෙත් පාස් කරපු යාපනේ ලොකු පවුලක කෙනෙකි.

එතුමා හැමදාම පන්තියට ඇතුළු වෙන්නෙ මොකක් හරි කවියක් හරි සොලෝකයක් හරි කියාගෙන. ඊට පස්සෙ ඒ ගැන අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ කාලෙ අපේ ඉස්කෝලෙ අතින් ලියා සඟරාවක් පළ කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. ඒකෙ නම “අරිවුසුඩාර්”. ඒ කියන්නෙ “ඥණාලෝකය”. රූල් නැති ඇක්සයිස් පොතක තමා මේ සඟරාව නිර්මාණය කරන්නෙ. මටත් අවස්ථාව ලැබුණ ඒකෙ සංස්කාරක කටයුතු වලට එකතු වෙන්න. වටේ ඉස්කෝල වලටත් මේ සඟරාව යවනවා. අදහස් ලියා එවන්න අමතර ඇක්සයිස් පොතකුත් එක්කයි යවන්නෙ. ගෑනු ළමයි තමා වැඩියෙන් ප්‍රතිචාර දක්වන්නෙ. ඉතිං ඒ කාලෙ අවට පාසල්වල කෙල්ලො අතර අපි හරි ජනප්‍රියයි. පෙම් සබඳතා එහෙමත් ගොඩනැගුණා.”

ශඩා ලියූ කවියක් ෂන්මුගලිංගම් ගුරුතුමා විසින් පේරාදෙණිය සරසවිය පැවැත්වූ සාහිත්‍ය තරගයකට යොමු කරනු ලැබුවේද මේ කාලයේය. දීප ව්‍යාප්ත තරගයක් වූ එහි තෙවන තැන අපේ මිතුරා දිනාගත්තේය. මේ විදිහට හැඩගැහුණ නිර්මාණ ජීවිතය විශ්වවිද්‍යාලෙදි තවත් ඔපවත් විණි. පත්තර වලට කවි කෙටිකතා ලියූ ඔහු වරින් වර ලියපු කවි එකතු කර හදාගෙන හිටපු අත් පිටපත කථිකාචාර්යවරුන්ට පෙන්නා උපදෙස් ගත්තේය.

මේ විදිහට දරපු ප්‍රයත්න මල්ඵල ගන්වමින් ශඩාගේ මුල්ම පොත “වසන්තන් කලුන්” නමින් එළි දකින්නේ 1998දිය. දෙමළ වගේම සිංහල හා ඉංග්‍රීසිත් මැනවින් ප්‍රගුණ කරගෙන සිටි ශඩා ඊළඟට අත ගහන්නෙ පරිවර්තනයකටය. ප්‍රකට සිංහල ලේඛකයෙක් වන බන්දුපාල ගුරුගේගෙ “සෙනෙහසින් උපන් දරුවෝ” නවකතාව “උලෙයිපාල් උයරන්තවරල්” නමින් ඔහු දෙමළට නගන්නෙ 2008දිය.

මේ වනවිට ශඩා ස්වතන්ත්‍ර හා පරිවර්තන කෘති 8ක් දෙමළ පාඨකයන්ට පිරිනමා තිබේ. තම ජනතාව වෙනුවෙන් පන්හිඳ මෙහෙයවන ඔහු “කන්ඩිසිම ඉලෛ” නමින් ප්‍රබන්ධගත කරන වතුකරයේ ඉතිහාස කතාවෙ දෙවන පියවරද දැන් සම්පූර්ණ කර හමාරය.

“මගෙ සාහිත්‍ය ජීවිතේ වැදගත්ම අවස්ථාව තමා වික්‍රමසිංහ සූරින්ගෙ “අපේ ගම” දෙමළ පාඨකයන්ට හඳුන්වා දෙන්න ලැබීම. ඒක නිසා තමා අපේ සාහිත්‍ය සමාජයේ ලොකු පිළිගැනිමක් මට ලැබුණෙ. සිංහල දෙමළ භාෂා දැනීම තියෙන ලේඛකයො පුළුවන් තරම් කරන්ඩ ඕනා අපේ සාහිත්‍ය ඒ භාෂා දෙකට පරිවර්තනය කරන එක. වාර්ගික සුහදත්වය කිය කියා බෙරිහන් දෙන දේශපාලඥයන්ට වඩා ලොකු සේවයක් ලේඛකයො හැටියට අපිට කරන්ඩ පුළුවන්...” ඉරා ශඩගෝපන් සිය හද පත්ලෙන්ම මතු වූ අව්‍යාජ සිතුවිලි මුදා හැරියේ එහෙමයි.

Comments