පැබ්ලෝ නෙරූදා, වික්ටර් හාරා සහ ඇලන්ඩේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් චිලී දේශය | සිළුමිණ

පැබ්ලෝ නෙරූදා, වික්ටර් හාරා සහ ඇලන්ඩේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් චිලී දේශය

 

1973 සැප්තැම්බර් 11 වැනි දා චිලියේ සන්තියාගෝ අගනුවර පිහිටි 'ලා මොනේඩා' නමැති ජනාධිපති මන්දිරය හමුදා සෙබළුන් සහ යුද ටැංකි විසින් වටකරන ලද අතර, එයට ගුවනින් ද පහර දෙනු ලැබී ය. හමුදාව විසින් බලය

අල්ලාගන්නා බව දුටු ජනාධිපති සැල්වදෝර් ඇලන්ඩේ අවසන් වතාවට ගුවන් විදුලිය මගින් ජාතිය ඇමතී ය. අනතුරුව ජනාධිපති මැඳුරේ සටන් කරමින් සිටි පිරිසට යටත් වන ලෙස උපදෙස් දුන් ඔහු වෙඩි තබාගෙන සිය දිවි නසාගත්තේ ය.

ලෝක ප්‍රසිද්ධ මහා කවි පැබ්ලෝ නෙරූදා සහ ජනතාවාදී ගායක වික්ටර් හාරා ගැන සිහිපත් වන සෑම මොහොතක ම අප මතකයට නැඟෙන්නේ ඔවුන්ගේ නිජබිම වන චිලී දේශයයි. ඒ සමඟම එරට ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජනතාවාදී නායකයකු පිළිබඳවද අප මතක අවදි වෙයි. ඒ, ජනතා ඡන්දයෙන් ජනාධිපතිවරණයක් ජයගත් ප්‍රථම සමාජවාදියා ලෙස ඉතිහාසයට එක්වූ 1970 නොවැම්බර් 04 සිට 1973 සැප්තැම්බර් 11 දක්වා චිලී දේශය පාලනය කළ ජනාධිපති සැල්වදොර් ඇලන්ඩේය.

වෘත්තියෙන් වෛද්‍යවරයකු සහ සිවිල් සේවා නිලධාරියකු වූ සැල්වදොර් ඇලන්ඩේ උපන්නේ 1908 දී ය. 1933 දී චිලී විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය අවසන් කරන ඇලන්ඩේ එම වසරේ දී ම ‘චිලී සමාජවාදී පක්ෂයේ’ සාමාජිකයකු බවට පත්වෙයි. 1938 වසරේ දී ‘සමාජවාදී පක්ෂය’ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවාගත් වාමාංශික සන්ධානයක් වූ 'මහජන පෙරමුණෙ' හි ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස ඔහු කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. එම වසරේ පැවති ජනපතිවරණයෙන් මහජන පෙරමුණු අපේක්ෂකයා ජයගත් අතර, ඇලන්ඩේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කෙරිණි.

1945 සිට චිලියේ සෙනෙට් සභිකයකු ලෙස දේශපාලනයට සම්බන්ධ වූ ඇලන්ඩේ නියෝජ්‍ය සහ කැබිනට් අමාත්‍ය ධූර දරමින් වසර හතළිහකට ආසන්න කාලයක් එරට දේශපාලනයේ කටයුතු කළ අයෙකි. ‘චිලී සමාජවාදී පක්ෂයෙන්’ 1952, 1958 සහ 1964 යන වසරවල දී ජනාධිපති ධූරයට ඉදිරිපත්ව පරාජයට පත් වූ ඔහු, චිලී දේශයේ 73 වන ජනාධිපතිවරයා ⁣ලෙස තේරී පත්වන්නේ 1970 දී ය.

1964 මැතිවරණයේ දී CIA සංවිධානය ඇලන්ඩේගේ දේශපාලනයට බාධා කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන දක්ෂිණාංශික අපේක්ෂකයා වූ එදුවාර්දෝ ෆ්‍රෙයි ජයග්‍රහණය කරවීම සඳහා මුදල් යොදවා තිබේ. එමනිසා, ඇලන්ඩේ පරදා 56%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට එදුවාර්දෝ ෆ්‍රෙයිට හැකි විය.

1970 සැප්තැම්බර් 04 වැනි දා පවත්වන ලද චිලී ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිදෙනකු තරග කරන ලද අතර, සමාජවාදී පක්ෂයේ සැල්වදෝර් ඇලන්ඩේ තරග වැදුණේ 'මහජන එකමුතුව​' නම් වූ සන්ධානය යටතේය. එරට කොමියුනිස්ට් පක්ෂය 1947 සිට තම පක්ෂයේ සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටි පැබ්ලෝ නෙරූදා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළද, ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සැල්වදෝර් ඇලන්ඩේ වෙතම තම සහාය පළ කළේය. කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානය ඉදිරිපත් කළ වැඩපිළිවෙළ තුළ රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ආදිය ඇතුළත්ව තිබිණි. එහෙයින්, රටේ ධනපති පන්තිය මෙන් ම, ඇමෙරිකා එක්සත් ජනපදය ද අපේක්ෂා කළේ ඇලන්ඩේගේ ජයග්‍රහණය නොව, පරාජය යි.

ඇලන්ඩේගේ ප්‍රතිවාදීන් ලෙස හිටපු ජනාධිපතිවරයකු වූ ප්‍රධාන දක්ෂිණාංශික අපේක්ෂක ජෝර්ජ් අලෙසාන්ද්‍රි ද, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක රොදොමිරෝ ටොමිච් ද ඉදිරිපත්ව සිටියහ. මෙම ජනාධිපතිවරණයෙන් ඇලන්ඩේ 36.6%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අතර, අලෙසාන්ද්‍රිට සහ ටොමිච්ට ලබාගත හැකිවූයේ, පිළිවෙළින් 35.3%ක හා 28.1%ක ඡන්ද ප්‍රතිශතයකි. පැවති ජනාධිපතිවරණ නීතියට අනුව කිසිදු අපේක්ෂකයකු 50% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා නොගතහොත්, චිලී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභාව සහ සෙනෙට් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්ව මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කරගත යුතු ව තිබිණි. ඒ වනවිට 'මහජන එකමුතුවේ' ප්‍රධාන පක්ෂ තුනට සෙනෙට් මණ්ඩලයේ ආසන 50 න් 20ක් සහ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150 න් 63ක් හිමි ව තිබිණි. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ට හිමි ව තිබුණේ, සෙනෙට් ආසන 23ක් සහ පහළ මන්ත්‍රී මණ්ඩල ආසන 56ක් පමණි.

ඇමෙරිකාවේ CIA සංවිධානය ඇලන්ඩේ ජනාධිපති ලෙස තෝරා පත්කර ගැනීම වළක්වාලීමට මේ අවස්ථාවේ දී යළි ක්‍රියාත්මක වුව ද, ඇලන්ඩේ සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රිකයන් අතර ඇති වූ එකඟතාවක් මත එම පක්ෂය ඔහුට සහාය දීමට එකඟ විය. ඒ අනුව, සැල්වදොර් ඇලන්ඩේ ජනාධිපති ධූරයට පත්විය.

නිරවි යුද්ධය පැවති සමයෙහි ලතින් ඇමෙරිකානු රටක නායකත්වයට පත්වීම මාක්ස්වාදියකුට පහසු තරුණක් නොවී ය. ඊට හේතුව වූයේ, ඇමෙරිකා එක්සත් ජනපදය හැකි සෑම අවස්ථාවක ම එවන් උත්සාහයන් හොඳින් හෝ නරකින් මැඬ පැවැත්වීමට උත්සාහ කිරීමය. 19 වන සියවස මුල් කාලයේ ඇමෙරිකාවේ බලයට පත්ව සිටි ජනාධිපති ජේම්ස් මොන්රෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද 'මොන්රෝ ධර්මය' ට අනුව ඇමෙරිකානුවන් ලතින් ඇමෙරිකාව දුටුවේ තම පෞද්ගලික ආරක්ෂාව යටතේ පවතින​ කලාපයක් වශයෙනි. එම නිසා එම කලාපයේ තමන්ට අහිතවත් පාලකයකු බිහිවීම ඇමෙරිකාවට කිසි ලෙසකින්වත් ඉවසුම් දුන් කාරණයක් නොවීය.

වසර තුනකටත් අඩු කාලයක් ජනාධිපති ධූරයේ කටයුතු කරන්නට ඇලන්ඩේට ලැබුණු අවස්ථාව ජනතාව වෙනුවෙන් කැපකරන්නට ඔහු කටයුතු කළේය. තඹ කර්මාන්තය මෙන් ම, බැංකු ආදී ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම ඇරඹිණි. මේ අනුව එක් අයකුට අයත් විය හැකි ඉඩම් ප්‍රමාණය සීමා කෙරිණි. අධ්‍යාපනය ද පුළුල් කෙරුණ අතර, සාක්ෂරතාව වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඇලන්ඩේගේ මෙම ජනතා හිතවාදී කටයුතු දේශීය ධනපතීන් සහ ඇමෙරිකානු සමාගම් කෝප ගැන්වීමට සමත් වූ අතර, ඒ අනුව මුල් කාලයේ පටන් ම ඇමෙරිකාවේ රිචර්ඩ් නික්සන් පාලනය ඇලන්ඩේ අපහසුතාවට පත් කිරීමට හැකි සියල්ලක් ම සිදු කළේය. මේ අනුව විරුද්ධවාදීන් විසින් වැඩවර්ජන ආදියෙන් රට අකර්මණ්‍ය කරවීමට උත්සාහ කළ අතර, මේ සඳහා විපක්ෂ කණ්ඩායම්වලට ඇමෙරිකානු ආධාරද ලැබිණි. ඇමෙරිකන් ගැති මිලිටරි ජුන්ටාව, සමාජවාදයට හතුරු වූ දේශීය ධනපතියන්, දේශපාලන අවස්ථාවාදීන් රට අරාජික කළ අතර, ඒ හේතුවෙන් කෘත්‍රිම බඩු හිඟයක් රට පුරා ඇති විය. බඩු මිල අහස උසට නැග්ගේ ය; පරිපාලනය අඩාළ විය. මෙම තත්ත්වය පාලනය කිරීමට රජය බලවත් උත්සහයක නියැළුණ ද, ඇතැම් වගකිවයුතු පාර්ශ්ව කර ඇරියහ. එහෙත්, එක් අතකින් ගිටාරය ගෙන අනෙක් අතින් දුම්රියෙන් ආහාර ද්‍රව්‍ය බාන වික්ටර් හාරාගේ හෘදය සාක්ෂිය නිබඳ අවදියෙන් සිටියේය.

මේ සියලු බාධාකිරීම් හේතුවෙන් රටේ ආර්ථික තත්ත්වය ද පහළ වැටෙමින් තිබුණු අතර, එය තව-තවත් තීව්‍ර කරමින් රටේ ව්‍යවස්ථාමය අර්බුදයක් මතු වූයේ, ඇලන්ඩේගේ ජනසතු කිරීම් ආදී ඇතැම් ප්‍රතිපත්තිවලට එරෙහිව පාර්ලිමේන්තුව නීති සම්මත කිරීමට කටයුතු කිරීම නිසාය. සැල්වදොර් ඇලන්ඩේ තම බලය පවත්වාගෙන ගියේ එක්සත් ජනපද කොංග්‍රසය මගින් පාලනය කරන ලද එරට දක්ෂිණාංශික පක්ෂ හා අධිකරණය සමඟ දිගින්-දිගට ම ගැටෙමිනි. එය ඇලන්ඩේගේ රාජ්‍ය පාලනය සහ මිලිටරි ජුන්ටාව අතර ද්වන්ධ ගැටුමක් ඇති කරන්නට සමත් විය. ඒ හේතුවෙන් සීඅයිඒ නොහොත්, එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ සහාය ඇතිව කුමන්ත්‍රණයකින් ඇලන්ඩේ නෙරපා හැරීමට හමුදාව පියවර ගත්තේය.

1973 සැප්තැම්බර් 11 වැනි දා චිලියේ සන්තියාගෝ අගනුවර පිහිටි 'ලා මොනේඩා' නමැති ජනාධිපති මන්දිරය හමුදා සෙබළුන් සහ යුද ටැංකි විසින් වටකරන ලද අතර, එයට ගුවනින් ද පහර දෙනු ලැබී ය. හමුදාව විසින් බලය අල්ලාගන්නා බව දුටු ජනාධිපති සැල්වදෝර් ඇලන්ඩේ අවසන් වතාවට ගුවන් විදුලිය මගින් ජාතිය ඇමතී ය. අනතුරුව ජනාධිපති මැඳුරේ සටන් කරමින් සිටි පිරිසට යටත් වන ලෙස උපදෙස් දුන් ඔහු වෙඩි තබාගෙන සිය දිවි නසාගත්තේ ය.

හමුදාව විසින් ජනාධිපති ඇලන්ඩේ සහ තවත් 40 දෙනෙකු සමූල ඝාතනය කළ බව පැවසුව ද, එදින ම ඇලන්ඩේ සියදිවි නසා ගත් බව ජාත්‍යන්තර විශේෂඥයන්ගේ ද සහාය ඇතිව 2011 දී චිලී අධිකරණයක් විසින් කරන ලද පරීක්ෂණයකට අනුව සනාථ විය. එහි දී ඝාතනයට ලක් වූ පිරිස අතර ඇලන්ඩේ සමඟ චිලී දේශයේ ජනතා අරගලය සමඟ බැඳී සිටි ලෝක ප්‍රකට ගායකයා වන වික්ටර් හාරාද සිට ඇත.

ඔහුත් සමඟ ඇලන්ඩේ ගෙනගිය ජනතා සටනට පණදුන් අනෙක් ජනතාවාදී කලාකරුවා වූයේ, එරට සාහිත්‍යයේ කැඩපත බඳු මහා කවි පැබ්ලෝ නෙරූදා ය. 1948 දී චිලිය පාලනය කළ ධනවාදී ජනාධිපතිවරයෙකු වූ ගොන්සාලෙස් විදෙලා, නෙරූදා අත්අඩංගුවට පත් කිරීමට වරෙන්තු පවා නිකුත් කළ හෙයින්, ඔහු ආර්ජන්ටිනාවට පළා ගියේ ය. ඉන්පසු එහි සිට නිර්මාණ කටයුතුවල නිරත වූ නෙරූදා 1964 වසරේ නොබෙල් සාහිත්‍යය සම්මානය සඳහා නිර්දේශ වී ය. එහෙත්, ඇමෙරිකානු බලධාරීන්ගේ උදහසට ඔහු ලක්ව සිටි හෙයින්, 1940 වසරේ ඔහු විසින් ලියොන් ට්‍රොට්ස්කි විවේචනය කර ඇති බව පවසමින් එම වසරේ නොබෙල් සාහිත්‍යය සම්මානය ඔහුට අහිමි කළෝ ය. එහෙත්, 1971 වසරේ නැවතත් නොබෙල් සාහිත්‍යය සම්මානය සඳහා ඔහු නිර්දේශ වූ අතර, එම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය තමන් සතුකර ගැනීමට නෙරූදා සමත් විය.

නෙරූදා වෘත්තියෙන් කවියකු නොවීය. ඔහු තානාපති නිලධාරියෙකි. 1929 දී පමණ ශ්‍රී ලංකාවේ චිලී තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම ලෝ පතළ මහා කවියා වන පැබ්ලෝ නෙරූදා ය. ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් චිලියේ සමාජවාදී පාලනය පෙරළා දැමීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ජනපති සැල්වදෝර් ඇලන්ඩේ, ජනතාවාදී ගායක වික්ටර් හාරා ඇතුළු බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරුව, ජනාධිපති ධූරයට පත් හමුදාපති ඔගස්ටෝ පිනෝචේ විසින් වික්ටර් හාරා වැනි එරට සිටි සමාජවාදීන් එකිනෙකා ඝාතනය කරන්නට පටන් ගත්තේය.

මේ වනවිට නෙරූදා චිලී කොමියුනිස්ට් පක්ෂයේ වඩාත් ම අත්දැකීම් ඇති පුද්ගලයා වීම ඔහු පසුපස මරුවා හඹා ඒමට ප්‍රබල හේතුවක් විය. එසේ ම, නොබෙල් සම්මානලාභී පැබ්ලෝ නෙරූදා ජීවතුන් අතර සිටියහොත්, තමාට එරෙහිව ජාත්‍යන්තරය තුළ හඬක් නගනු ඇතැයි ජනපති පිනෝචේ කල්පනා කළේ ය. එහෙයින්, පිළිකාවකට ප්‍රතිකාර ගනිමින් සිටි නෙරූදාට, ෆිනෝචේට හිතවත් වෛද්‍යවරයෙකුගේ මාර්ගයෙන් ඖෂධයක් මුවාවෙන් විෂ එන්නතක් ලබාදෙන ලද අතර, ඒ ගැන සැක කළ නෙරූදා රෝහලෙන් පළා ගියේ ය. ඉන් පැය හයකට පමණ පසු 1973 සැප්තැම්බර් 23 වැනි දින නෙරූදා ජීවිතක්ෂයට පත්වී ය.

ජනපති පිනෝචේගේ පාලනය විසින් ස්වභාවික හේතු දක්වමින් නෙරූදාගේ සිරුර මිහිදන් කරනු ලැබුව ද, වසර 42 කට පසු 2015 වසරේ පරීක්ෂණ කටයුතු සඳහා නැවත එය ගොඩගන්නා ලදි. නියත වශයෙන් ම විෂ ශරීරගත වී මියගිය බව පරීක්ෂණවලින් තීරණය කෙරුණු අතර, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සෝ සුසුම් මැද නෙරූදා ගේ සිරුර නැවත මිහිදන් කෙරිණි.

පිනෝචේගේ 17 වසරක හමුදා පාලනය තුළ වාමාංශිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන දහස් ගණනක් ඝාතනය කෙරිණි. 1990 දී පිනෝචේගේ පාලනය බිඳ වැටුණ ද, චිලී දේශපාලනයේ කළු පැල්ලමක් ලෙස සැලකෙන ඔහු යටතේ සිදු වූ ඝාතන පිළිබඳ තවමත් විවිධ විවාදයන් මතුවෙමින් තිබේ. සතුටට කරුණක් වන්නේ ඇලන්ඩේගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ ‘සමාජවාදී පක්ෂය’ අද වනවිටද එරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් බවට පත්ව තිබීමය. ඔගස්ටස් පිනෝචේගෙන් පසුව මේ දක්වා ජනාධිපතිවරුන් 07 දෙනකු චිලී දේශය පාලනය කර ඇති අතර, එරට 79 වන ජනාධිපතිවරයා ලෙස වර්තමානයේ බලය හිමිකර ගෙන සිටින්නේ 2010 සිට 2014 දක්වා මීට පෙර ද එරට බලයේ සිටි සෙබස්තියන් පිනාරේය. 2017 මෙවර බලයට පැමිණි පිනාරේගේ ගෙවුණු වසර දෙකක පාලන කාලය තුළ එරට ආර්ථික අසමානතාව බෙහෙවින් ඉහළ ගොස් ඇති අතර, දිගින්-දිගට ම ඔහුගේ පාලනයට එරෙහිව ජනතා විරෝධතා එල්ලවෙමින් තිබේ.

එරට විරැකියා අනුපාතය 2020 ජූනි මාසය දක්වා වූ මාස තුන තුළ 12.2% දක්වා ඉහළ ගොස් තිබේ. 2018 දී 3.9%ක් වූ එරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2019 අග වනවිට 1.1% දක්වා පහළ වැටී තිබේ. 2020 පෙබරවාරි වනවිට එය ඍණ 4.3% දක්වා තවදුරටත් පහත වැටී ඇත. 2017 සංඛ්‍යාලේඛනවලට අනුව එරට ජනගහණයෙන් 8.6%ක් තවමත් සිටින්නේ දරිද්‍රතා මට්ටමට පහළිනි.

මෙම කඩා වැටීම්වලට කොරෝනා වසංගතයෙන් සිදුවන බලපෑම ද සුළුපටු නොවේ. මේ වනවිට එරට කොරෝනා රෝගීන් 359,731ක් වාර්තා වී ඇති අතර, මරණ 9,608ක් සිදුව තිබේ. ඒ දෙස බලනවිට ශ්‍රී ලංකාවේ වැනි දියුණු මහජන සෞඛ්‍ය පද්ධතියක් සහ නිවහල්, දූරදර්ශී නායකත්වයක් නැති චිලී දේශයේ අනාගතය පවතින්නේ බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයක බව පෙනේ.

 

 

Comments