යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු සංස්කෘ­තික අර­මු­දලෙන් කෝටි 1100ක් ‘මාටියා’ ගැහූ හැටි | සිළුමිණ

යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු සංස්කෘ­තික අර­මු­දලෙන් කෝටි 1100ක් ‘මාටියා’ ගැහූ හැටි

මෙරට සංස්කෘ­තික උරු­මය කළ­ම­නා­ක­ර­ණය කරන ප්‍රධාන ආය­ත­න­යක් ලෙස මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල හැඳි­න්විය හැකිය. 1980 අංක 57 පාර්ලි­මේන්තු පනත ප්‍රාකා­රව ස්ථාපිත වූ මේ ආය­ත­නයේ මූලික පර­මාර්ථ අතර මෙරට ප්‍රධාන පුරා­විද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම හා සංර­ක්ෂණ කිරීම, පර්යේ­ෂණ සිදු කිරීම, බිතු සිතු­වම් සහ වෙනත් පුරා­වස්තු සංර­ක්ෂ­ණය කිරීම, පුරා­විද්‍යා ක්ෂේත්‍රයේ මානව සම්පත් සංව­ර්ධය කිරීම මූලික වේ. ඊට අම­ත­රව මේ ආය­ත­නය විසින් මෙරට මුල් අව­ධියේ හා මධ්‍ය­කා­ලීන අව­දියේ පැවැති රාජ­ධානි සම්බන්ධ ස්ථාන­යන්හි පුරා­විද්‍යා කැණීම් හා පර්යේ­ෂණ සංර­ක්ෂණ කට­යුතු සහ සම්බ­න්ධ­යෙන් ඉතා වැද­ගත් කාර්ය­භා­ර­යක් ඉටු කර ඇත. එවැනි වැද­ගත් ආය­ත­න­යක් වන මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල පිළි­බඳ පසු­ගිය සමයේ වැඩි­පුර කතා­බ­හට ලක්වූයේ පසු­ගිය යහ­පා­ලන රජය සම­යේදී සිදු­වූවා යැයි කියන මුදල් අව­භා­විත කිරීමේ සිදු­වීම් කිහි­ප­යක් හේතු­වෙනි.

අග­මැති හා බුද්ධ­ශා­සන, සංස්කෘ­තික සහ ආග­මික කට­යුතු අමාත්‍ය මහින්ද රාජ­ප­ක්ෂ­යන් විසින් 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල තුළ සිදුව ඇති ක්‍රියා­වන් විම­ර්ශ­නය කිරීම සඳහා පසු­ගිය ජන­වාරි 14 වැනිදා කමි­ටු­වක් පත්ක­රනු ලැබිණ. එම කමි­ටුව විශ්‍රා­ම­ලත් මහා­ධි­ක­රණ විනි­සුරු ගාමිණී සරත් එදි­රි­සිංහගේ සභාපතිත්වයෙන් යුතුව අමා­ත්‍යාංශ හිටපු ලේකම් ගෝඨා­භය ජය­රත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරි­ගුප්තා රෝහ­ණ­ධීර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විය. මාස 5ක් තිස්සේ කරන ලද ඉතා සියුම් විම­ර්ශ­න­ය­කින් පසු පසු­ගිය 28 වැනිදා කමිටු වාර්තාව අග­මැ­ති­ව­ර­යාට බාර දෙනු ලැබිණ.

ඒ අනුව 2016 - 2019 කාල සීමාව ඇතු­ළත රුපි­යල් මිලි­යන 11,059 ක් බර­ප­තළ අව­භා­වි­ත­යක් සිදුව ඇති බව එම වාර්තා­වෙන් අනා­ව­ර­ණය කොට තිබේ. අර­මු­දලේ මුදල් අව­භා­විත කර ඇති ආකා­රය පිළි­බඳ සැකෙ­වින් මෙසේ දැක්විය හැකිය.

අර­මු­දල සතු ස්ථාවර තැන්පත් අනු­මැ­ති­ය­කින් තොරව ආපසු ගැනීම හා තැන්පත් පොලී ආදා­යම් අහිමි වීමෙන් සිදුව ඇති පාඩුව රුපි­යල් මිලි­යන 2,608කි.

නීත්‍යා­නු­කූල අනු­මැ­ති­ය­කින් තොරව සිසු දහම් සෙවණ දහම් පාසල් ගොඩ­නැ­ඟිලි ඉදි කිරී­මට ගෙවන ලද මුදල රුපි­යල් මිලි­යන 753කි.‍ සංචා­රක ප්‍රවේ­ශ­පත්‍ර අලෙවි කිරී­මෙන් ලැබෙන ඩොලර් ආදා­යම රුපි­ය­ල්ව­ලට පරි­ව­ර්ත­නය කිරීම නිසා අර­මු­ද­ලට සිදුව ඇති සම්පූර්ණ අලා­භය රුපි­යල් මිලි­යන 48කි. එය 2016, 2017 සහ 2018 යන වසර තුනේ­දීම සිදුව ඇත. එප­ම­ණක් නොව පුරා­වි­ද්‍යා­භා­රය සඳහා වන නිය­මිත දාය­කත්ව මුදල් නොගෙවා නීති විරෝ­ධීව වෙනත් කට­යුතු සඳහා වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 2,266කි.

ඊට අම­ත­රව අපේ ගම ව්‍යාපෘ­තියේ දේපළ පැව­රී­මේදී සිදුව ඇති අලා­භය රුපි­යල් මිලි­යන 8කි. විධි­මත් අනු­මැ­ති­ය­කින් තොරව සංස්කෘ­තික සහ ආග­මික ආධාර හා ප්‍රදාන ලෙස ලබා­දුන් මුදල රුපි­යල් මිලි­යන 2,316කි. ඊට අම­ත­රව වැඩිම මුද­ලක් අව­භා­විත කර ඇත්තේ බඳවා ගැනීමේ පටි­පා­ටියේ අනු­මත සීමා ඉක්ම­ව­මින් සිදු­කර ඇති බඳවා ගැනීම් සහ ඒ වෙනු­වෙන් වැටුප් සහ දීමනා ගෙවීම සඳ­හාය. එයින් අව­භා­විත කර ඇති මුදල රුපි­යල් මිලි­යන 3,060කි. මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල් පනතේ 8 වැනි වග­න්තිය ප්‍රකා­රව අර­මු­ද­ලට අයත් මුදල් සහ සම්පත් යෙද­විය හැක්කේ මහ­ජන ප්‍රති­ලා­භ­යක් හෝ යහ­ප­තක් අර­මුණු කර­ගෙ­නය. ඒ අනුව ඉහත කී කට­යු­තු­ව­ලදී අර­මු­දලේ පර­මාර්ථ සහ අර­මුණු අනුව ක්‍රියා­කර තිබේද යන්න කමි­ටුවේ විම­ර්ශ­න­යට ලක්වී තිබේ. 2017.11.22 සිට 2018.02.10 දක්වා වූ පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අදා­ළව රජයේ මැති­ව­රණ කොමි­ෂන් සභා­වෙන් නිකුත් කර ඇති නීතී­මය නිය­ම­යන්ට අදා­ළව අර­මු­දල කට­යුතු කළේ ද යන්න ගැන ද කමි­ටුවේ විම­ර්ශ­න­යට ලක්වී තිබේ. ඒ අනුව මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල සතුව තිබූ ඩොලර් ගිණු­මෙන් නිද­හස් කර­ගත් මුදල් සහ ස්ථාවර ගිණු­මෙන් ලබා­ගත් මුදල් යොදවා ඇත්තේ මැති­ව­රණ කට­යුතු වෙනු­වෙන් බව අනා­ව­ර­ණය වී ඇත.

මහා භාණ්ඩා­ගා­රයේ අනු­මැ­ති­ය­කින් තොරව මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගු­ලාසි උල්ලං­ඝ­නය කර­මින් උපාංග මිලදී ගැනීම්, විදේශ ආදා­යම් සහිත අර­මු­දල් ව්‍යාපෘ­ති­වල මුදල් ගිණු­ම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටි­පා­ටි­යෙන් බැහැර මුදල් ගෙවීම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමි­ටුව විසින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ බලය පැවරී ඇති පාලක මණ්ඩ­ල­යට සාමා­ජි­ක­යන් 12 දෙනෙකු ඇතු­ළත් වන අතර එහි කැබි­නට් ආමා­ත්‍ය­වරු දෙදෙ­නෙකු ද සිටින අතර සභා­ප­ති­ත්වය දරන්නේ අග්‍රා­මා­ත්‍ය­ව­රයා විසිනි.

පාලක මණ්ඩ­ලයේ සභා­පති අග්‍රා­මා­ත්‍ය­ව­රයා වන අග්‍රා­මා­ත්‍ය­ව­රයා වන අතර, අග්‍රා­මාත්‍ය ලේකම් සහ පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා නිල වශ­යෙන් පාලක මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ත්වය දරයි.

ඊට අම­ත­රව සංස්කෘ­තික කට­යුතු භාර අමා­ත්‍ය­ව­රයා, මුදල් විෂය භාර අමා­ත්‍ය­ව­රයා, එක්සත් ජාතීන්ගේ අධ්‍යා­ප­නික විද්‍යා­ත්මක සංස්කෘ­තික සංවි­ධා­නය (යුනෙ­ස්කෝව) කට­යුතු භාර අමා­ත්‍ය­ව­රයා, සංචා­රක කට­යුතු විෂය භාර අමා­ත්‍ය­ව­රයා, හින්දු කට­යුතු විෂය බාර අමා­ත්‍ය­ව­රයා, සංස්කෘ­තික කට­යුතු බාර අමා­ත්‍ය­ව­රයා (සිටී නම්), අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ ලේකම්, සංස්කෘ­තික කට­යුතු බාර අමා­ත්‍ය­ව­ර­යාගේ ලේකම්, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් සහ අග්‍රා­මා­ත්‍ය­ව­රයා විසින් පත් කරනු ලබන තවත් පුද්ග­ල­යන් දෙදෙ­නෙක් පාලක මණ්ඩ­ල­යට අයත් වේ.

අර­මු­දල සම්බ­න්ධ­යෙන් ගනු ලබන තීන්දු තීර­ණ­ව­ලදී පාලක මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබා­ගැ­නීම අවශ්‍ය වුවත් ඉහත කී කාලය තුළ සිදුව ඇති අව­භා­විත ක්‍රියා සඳහා එවැනි අනු­මැ­ති­යක් ලබා­ගෙන නොමැති බව කමි­ටුවේ විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

ඒ අනුව 2019 වර්ෂය පුරා කළ අවි­ධි­මත් විය­දම් සියල්ල සඳහා අනු­මැ­තිය ලබා­ගැ­නී­මට 2019.11.15 දින අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් කැඳවා ඇති අතර එයට සාමා­ජි­ක­යන් 5ක් පම­ණක් සහ­භාගි වී තිබේ.

එහෙත් සහ­භාගි නොවූ සාමා­ජි­ක­යන්ගේ ද අත්සන් ලබා­ගෙන ඇති අතර එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නිත්‍යා­නු­කූ­ල­භා­වය පිළි­බඳ ගැටලු ඇති බවක් පෙන්නුම් කරන බැවිත් කමිටු සාමා­ජික අත්සන් තහ­වුරු කර­ගැ­නීම සුදුසු බවද විම­ර්ශන කමිටු වාර්තා­වෙන් නිර්දේශ කර තිබේ.

හිටපු අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරි­ය­ව­සම් ඒ සඳහා අත්සන් කර නැත. සිදුව ඇති මූල්‍ය­මය අක්‍ර­මි­කතා, අව­භා­විත සහ පරි­පා­ලන අක්‍ර­මි­කතා වෙනු­වෙන් අදාළ පාර්ශ්­ව­යන් සඳහා නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට ද විම­ර්ශන කමි­ටුව තම වාර්තාව මඟින් නිර්දේශ කර තිබේ.

පනතේ විධි­වි­ධාන පරිදි විධි­මත් පාලක මණ්ඩල රැස්වී­ම­කින් තොරව පූර්ණ අනු­මැ­ති­යක් රහි­තව අර­මු­ද­ලට ලැබුණු මුදල් අව­භා­විත කිරීම 1982 අංක 12 දරන පොදු දේප­ළ­ව­ලට එරෙහි පනත සහ 1994 අංක 19 දරන අල්ලස් හා දූෂණ චෝදනා විම­ර්ශ­නය කිරීමේ කොමි­ෂන් සභා පනතේ විධි­වි­ධාන පරිදි අප­රාධ නඩු විධාන සංග්‍ර­හය පනතේ විධි­වි­ධා­න­ව­ලට යටත්ව ඊට අදාළ පුද්ග­ල­යන්ට නඩු පැව­රිය හැකි වර­දකි. ඒ අනුව යම් තැනැ­ත්තෙකු විසින් සිදු කරන ලද හානි­යක් හෝ අලා­භ­යක් අය­කර ගැනී­මට හෝ වන්දි පූර්ණය කිරීම සඳහා අව­ස්ථා­නු­කූ­ලව සිවිල් නඩු­වක් පව­ත්වා­ගෙන යා හැකි බව ද කමි­ටුවේ නිර්දේ­ශ­යයි.

එප­ම­ණක් නොව ආය­තන සංග්‍ර­හය සහ අනෙ­කුත් පරි­පා­ලන, මුදල් චක්‍ර ලේඛන, උල්ලං­ඝ­නය වූ අව­ස්ථා­වක දී අභ්‍ය­න්තර ආය­ත­න­යෙහි අදාළ තැනැ­න්තන්ට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනී­මට ද කමි­ටුව නිර්දේශ කර තිබේ. පිටු 142කින් සම­න්විත එම කමිටු වාර්තාව නීති­ප­ති­ව­රයා වෙත යොමු කිරී­මෙන් පසු නීති­පති උප­දෙස් මත ඉදිරි කට­යුතු සිදු­කි­රී­මට නිය­මිත බව විම­ර්ශන කමිටු සාමා­ජික ජ්‍යෙෂ්ඨ නීතිඥ හරි­ගුප්තා රෝහ­ණ­ධීර පැව­සීය.

පොදු දේපළ පනත යටතේ අර­මු­දලේ මුදල් අව­භා­විත කිරීම වස­ර­කට නොඅඩු වසර 20 දක්වා සිර­ද­ඬු­වම් ලබා දිය හැකි වර­දකි.

ඊට අම­ත­රව අව­භා­විත කරන ලද මුදල මෙන් තුන් ගුණ­යක් මුද­ලක් නැවත අය කර ගැනී­මට නීතී­මය ප්‍රති­පා­දන තිබෙන බව ද සඳ­හන් කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘ­තික උරු­මය කළ­ම­නා­ක­ර­ණය කිරීම සිය දැක්ම කර­ගත් මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ මුඛ්‍ය පර­මාර්ථ ඉටු­කර ගැනී­මට නම් එම අර­මු­දලේ සිදුව ඇති

අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් නීති­මය ක්‍රියා­මාර්ග ගැනීම ශ්‍රී ලංකා ජන­ර­ජයේ වග­වීම සහ වග­කීම විය යුතු බව ද කමි­ටුව වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කර සිටී.

 

 

Comments