මාදම්පිටියෙන් හොර රහසේ මුහුදට දමන විෂ අපද්‍රව්‍ය මාෆියාව | සිළුමිණ

මාදම්පිටියෙන් හොර රහසේ මුහුදට දමන විෂ අපද්‍රව්‍ය මාෆියාව

සේරම කුණු කන්දල් බේරුවල් බොක්කට යැයි ජන වහරේ තිබෙන්නේ සියලුම ප්‍රශ්න, දුක් අ‍ඳෝනා දරා ගැනීමේ ශක්තිය ගැන කියාපෑමට ය. එහි යටි අරුත එසේ වුව ද මතුපිට අර්ථය සලකා බැලීමේදී සියලුම කුණු දරා ගැනීමේ ශක්තිය හිමි වන්නේ මහ මුහුදට ය. ඒ නිසාම දෝ අපේ රට වටා තිබෙන මහ මුහුදට බොහෝ දෙනෙක් කුණු දමති. එහෙත් මුහුදට කුණු දැමීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එය වරදක් බව දැන දැනම සමහරු මුහුදට කුණු දමති.

පසුගිය 11 වැනි සෙනසුරාදා රසායනික අපද්‍රව්‍ය අඩංගු බවුසර් 5ක් මුහුදට මුදා හැරීමට සූදානම් වූ අවස්ථාවක එය නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි විය‍. මෙම රසායනික අපද්‍රව්‍ය ගලි බවුසර් මගින් ගෙනැවිත් තිබුණේ සීතාවක කර්මාන්ත පුරයේ සිටය. එය මුහුදට දැමීමට සූදානම් වී තිබුණේ කොළඹ මාදම්පිටිය මළ අපවහන පොම්පාගාරයෙනි.

“මුහුදට අනවසරයෙන් කුණු එකතු කරන සිද්ධි අපට නිතරම වාර්තා වෙනවා. ඒත් අපට කොටුකරගන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි පැනලා යනවා. පසුගිය ජූලි 11 වැනිදාත් මාදම්පිටිය මළ අපවහන පොම්පාගාරය හරහා අපද්‍රව්‍ය බවුසර් වගයක් මුහුදට දැමීමට සූදානම් වන බව අපට ආරංචි වුණා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, විශේෂ ආරක්ෂක බළකාය, පරිසර පොලිසිය, වෙරළාරක්ෂක බළකාය සහ නාවික හමුදාව එකතු වෙලා මෙම සිද්ධිය වෙන තැනට ගිහින් අතටම අල්ලා ගත්තා. රසායනික අපද්‍රව්‍ය ගෙනා බවුසර් 5ක් තිබුණා. මේවා ගෙනත් තිබුණේ සීතාවක කර්මාන්තපුරයේ ඉඳලා. හැබැයි අපි බවුසර් 5ක් අල්ලා ගන්නා විට බවුසර් 5කින් අපද්‍රව්‍ය මුහුදට මුදා හැරලා ඉවරයි.

මේ බවුසර් අල්ලා ගත්තු ගමන්ම රියදුරන් ළඟ තිබුණු ජංගම දුරකථන පවා ක්ෂණිකව පොලිස් භාරයට ගත්තේ අනෙක් බවුසර්වලට කතා කරලා කිව්වොත් අපිට කොටු කරගන්න බැරි වෙන නිසා. ඒත් මේ බවුසර් 5ට පස්සේ එන්න තිබුණු රසායනික අපද්‍රව්‍ය රැගත් බවුසර් ආවේ නැහැ. කොහොමහරි අපද්‍රව්‍ය ගෙනාපු ගලි බවුසර් 5 සහ රියදුරන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා”

ඒ සිදුවීම එලෙස විස්තර කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර ය.

සීතාවක කර්මාන්තපුරයෙන් මේ ආකාරයට බැහැර කිරීමට සූදානම් කර තිබූ රසායනික අපජලය ප්‍රමාණය ලීටර් මිලියනයකි. එය අතරමැදි සමාගමකට ලබාදී තිබුණේ රු. ලක්ෂ ගණනක මුදලකටය. බවුසර් සහ රියදුරන් අයත් වන්නේ එම සමාගමට ය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරුණු අතර එහිදී රියදුරන්ට ඇප ලැබිණ.

“සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ නඩුව පවරන්න ඕනෑ මහාධිකරණයේලු. ඒත් නඩුව පැවරුවේ මහේස්ත්‍රාත් අධිකර‍ණයේ. ඒ නිසා ඩ්‍රයිවර්ලාට ඇප දීලා නඩුව මහාධිකරණයට දැම්මා‍. මහාධිකරණයෙන් නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළා. මේ විදිහට ගියොත් නඩුව විසි වේවි කියලා අපිට හිතුණා. මෙච්චර අතටම අල්ලාගෙන නඩුව විසි වුණොත් හරි අපරාදයක්නේ. ඒ නිසා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් අපි සියලුම තොරතුරු ලබාගෙන පැය 3 ක් ඇතුළත මහජන පීඩාව යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරුවා. 24 වැනිදා අපේ නඩුව විභාගයට ගත්තා. එහිදී මහාධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු නඩු භාණ්ඩ පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට නියෝග කළා. යම් හෙයකින් මේ නඩුව උසාවියෙන් උසාවියට මාරු වෙලා නඩුව අයින් වුණොත් පොලිස් භාරයේ තිබෙන නඩු භාණ්ඩ නිදහස් කරන්න වෙනවා. එහෙම වු‍ණා නම් ආයේ නඩුවක් ගොනු කරන්නවත් බැරිව යනවා. අපිට එය වළක්වා ගැනීමට හැකි වුණා. මහජන පීඩාව යටතේ අපි ගොනු කළ නඩුව අගෝස්තු 04 වැනිදා නැවතත් කැඳවීමට නියමිතයි” යනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසීය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ පැවරුණු නඩුවට පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව, අදාළ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කල් ඉල්ලා තිබේ. එම නඩුව ද අගෝස්තු 04 දා කැඳවීමට නියමිතය.

මෙම සිදුවීමත් සමඟ අපට සිතන්නට කරුණු කීපයක් තිබේ. ප්‍රධානතම කාරණය වන්නේ සීතාවක කර්මාන්ත පුරයෙන් පැමිණි රසායනික අපද්‍රව්‍ය රැගත් මෙම බවුසර් මෙන්ම කාලයක් මුළුල්ලේ හොර රහසේ අපද්‍රව්‍ය මුහුදට එකතු කර තිබේද යන්නය. අනෙක, මුහුදේ කිලෝ මීටර් 2 ක් පමණ දුර විහිදෙන මාදම්පිටිය මළ අපවහන පොම්පාගාරය අයත් වන්නේ කොළඹ මහ නගර සභාවට වීමය. කොළඹ මහ නගර සභාවට අයත් මළ අපවහන පොම්පාගාරයකින් පෞද්ගලික ආයතන ඔවුන්ගේ අපද්‍රව්‍ය මුහුදට බැහැර කරන්නේ කෙසේද යන්න වෙනම සොයා බැලිය යුතුය.

“අපි කොළඹ මහ නගර සභාවට කිව්වා මළ අපද්‍රව්‍ය මුහුදට එකතු කරන විට මළ ජලය නිදහස් කරලා මළ ද්‍රව්‍ය පොහොර බවට පත් කරන නවීන ක්‍රමවේදයකට එකතු කරන්න කියලා. දැන් ලෝකයේ මළ අපවහනය කරන නවීන ක්‍රම තිබෙනවා.

යල් පැන ගිය ක්‍රම අයින් කරලා අපි යාවත්කාලීන විය යුතුයි. ඒත් අපිට ඒ අය එක්ක එකඟත්වයකට එන්න බැරි වුණා. පිරිපහදු නොකරම තවමත් මුහුදට දානවා‍.

මුහුද අපවිත්‍ර වන නිසා මළ අපද්‍රව්‍ය පිරිපහදු කරන්න කිව්වාම රසායනික ද්‍රව්‍ය මුහුදට එකතු කරන කොට සිද්ධ වෙන විනාශය කොයි තරම්ද? අපි අල්ලපු බවුසර්වල තිබුණු අපද්‍රව්‍ය හරියට තාර වගේ.

මේවායින් ජලයේ ගුණාත්මකභාවය නැති වෙනවා වගේම බැරලෝහ වර්ග එකතු වෙනවා.” මුහුදු ජීවීන්, මුහුදු පැළෑටි විනාශ වෙනවා. විස මාළු ආහාරයට ගන්නා මිනිසුන්ට විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්‍. රසායනික ද්‍රව්‍ය අඩංගු වුණු මුහුදක නාන්න යන අයට චර්ම රෝග වැනි විවිධ රෝගාබාධ හැදෙන්න පුළුවන්. මේ වගේ දේවල්වලින් මුහුදට වගේම මිනිසුන්ටත් අහිතකර බලපෑම් ඇති වෙනවා” යනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසන්නේ ජලය නිදහස් කළ මළ අපද්‍රව්‍ය ලබාගන්නා සමාගම් මෙරට ඇති බවය. එහෙත් එම සමාගම් ඒවා ලබා ගන්නේ මුදල් අයකර ගැනීමෙන් පසුවය.

“ඒ ආයතනවලට මුදල් ගෙවලා මළ ද්‍රව්‍ය ජලයෙන් නිදහස් කරලා භාර දෙනවාට වඩා ලේසියිනේ මුහුදට හලන එක. ඒ නිසා ගොඩාක් අය ඔවුන්ගේ අපද්‍රව්‍ය මුහුදට එකතු කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් සීතාවක කර්මාන්ත පුරයෙන් ගෙනාපු ගලි බවුසර්වලට මුදල් ගෙවලා තියෙනවා.

ආරංචියේ හැටියට ගෙවා තිබෙන මුදල රු. ලක්ෂ 26යි. ඒ මුදල් වියදම් කරලා සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ බලපත්‍ර ලබාගෙන පිරිපහදු කරලා නිසි ක්‍රමවේදයකට බැහැර කළා නම් ප්‍රශ්නය ඉවරයි.

පරිසරයට හානියකුත් නැහැ. මිනිස්සුන්ට හානියකුත් නැහැ” යනුවෙන් ද ඔහු පැවසීය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කරන ආකාරයට මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමට ඔවුන්ගේ ආයතනයෙන් බලපත්‍රයක් ලබාගත යුතුය. බැහැර කරන අපද්‍රව්‍ය අධිකාරිය ලබාදෙන සම්මතයන් සහ නිර්ණායකවලට අනුකූල විය යුතුය. පිරිපහදු කළ අපද්‍රව්‍ය මුහුදට බැහැර කරන වාරයක් වාරයක් පාසා ගාස්තුවක් ගෙවිය යුතුය.

මෙම නීති රීති හා රෙගුලාසිවලට අනුකූලව මුහුදට අපද්‍රව්‍ය බැහැර කරන ආයතන තිබේ. විශේෂයෙන් සංචාරක හෝටල් විසින් ඔවුන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම නීත්‍යානුකූලවම සිදු කරනු ලබයි.

එහෙත් හොර රහසේ මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේදී විනාශ වන්නේ පරිසරය සහ මිනිසුන් පමණක් නොවේ. අපේ රටට ලැබිය යුතු ධනය ද අහිමි වේ. අඩුම වශයෙන් රටේ ජාතික ධනය ඉහළ නැංවීමේ අරමුණින් හෝ මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ නීති අකුරටම ක්‍රියාත්මක කරන්නේ නම් පරිසරය සහ මිනිසුන්ගේ ජීවිත රැක ගැනීම එතරම් අපහසු නැත.

Comments