බාහිර පටිගත කිරීම් සඳහා ගුවන්විදුලියේ පස්වැනි මැදිරිය වෙන්වෙයි | සිළුමිණ

බාහිර පටිගත කිරීම් සඳහා ගුවන්විදුලියේ පස්වැනි මැදිරිය වෙන්වෙයි

ශක කිහිපයකට පෙර බොහෝ ගී පද රචකයන්ට, සංගීත ශිල්පීන්ට ගායකයන්ට කලඑළි බසින්නට පාර සැකැසුණේ ගුවන් විදුලිය හරහාය. මේ නිසා දක්ෂ නිර්මාණකරුවන් ගණනාවකට තම නිර්මාණ කුශලතාවන් ඔප්නංවා ගැනීමට හැකිවිය. කාලයත් සමඟ ඒ තත්වය වෙනස් වුවද අදටත් ගුවන් විදුලියේ සියල්ලෙන් සපිරි පටිගත කිරීමේ මැදිරි ඉතාම උසස් තත්වයෙන් තිබේ. එමෙන්ම ගුවන් විදුලියේ වෙනත් මාධ්‍ය නාළිකා වල තවමත් නැති දක්ෂ වාද්‍ය වෘන්දයක් ද තිබේ. කලක් තිස්සේ කළ යුතු කටයුත්තක් ලෙසින් තිබුණ ද යම් යම් හේතුන් නිසා කාගෙවත් අවධානයක් යොමු නොවුණ මේ සංගීත කණ්ඩායමෙන් මෙන්ම, පටිගත කිරීමේ මැදිරි වලින් ගුණාත්මක, ඵලදායි දෙයක් කිරීමේ වැඩ පිළිවෙළක ආරම්භය පසුගියදා සිදු විය. ඒ ගුවන් විදුලි සංස්ථාවේ වර්තමාන සභාපති ප්‍රවීණ සංගීතඥ ජගත් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එනම් ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරියක් වන පස්වන මැදිරිය “එස් එල් බී සී මියුසික් ප්‍රඩක්ෂන්“ නමින් බාහිර පටිගත කිරීම් සඳහා ලබාදීමය.

වර්තමානය වන විට සංගීත ක්ෂේත්‍රයට ගායනයෙන් වාදනයෙන් පමණක් නොව පද රචනයෙන්ද එක්වන පිරිස බොහෝය. නව පද රචනයක් කළ නිර්මාණ ශිල්පීයෙකුට ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා අද අපමණ වෙහෙසක් දරන්නට සිදුවේ. ඒ වෙනුවෙන් දරන්නට වන මුදල ද ඇතැම් විට ඔවුන්ට ඔරොත්තු නොදෙන තරම්ය. යමක් කමක් ඇති අය තම නිර්මාණය කෙසේ හෝ එළිදැක්වූවද ආධුනිකයන්ට අවස්ථාවක් සලසා ගැනිම අසීරුය.

නමුදු මෙම වැඩ පිළිවෙල සමඟ ආධුනිකයන්ට බොහෝ ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේය. පස්වැනි මැදිරියේදී පටිගත කැරෙන ගීතය ගුවන් විදුලියේ විවිධ සේවාවන් ඔස්සේ ප්‍රචාරය කිරිම ද සිදුවේ.

“එස් එල් බී සී මියුසික් ප්‍රඩක්ෂන් “සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන කාට කාටත් සුබ ආරංචියක් වනු ඇත. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, අග්‍රමාත්‍යාවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර හා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ස්ටුඩියෝ 5 මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුහ. එමෙන්ම ප්‍රවීණ මෙන්ම ආධුනික ගායක ගායිකාවන් ගී පද රචක රචිකාවියන් මෙන්ම සංගීත ශිල්පීහූ රැසක් සහභාගි වූහ.

Comments