පාස්කු ප්‍රහාරයෙන් කරළියට ආ ‘යහපාලන’ දේශපාලනය | සිළුමිණ

පාස්කු ප්‍රහාරයෙන් කරළියට ආ ‘යහපාලන’ දේශපාලනය

ටක ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යම අංශයක් වන්නේ බුද්ධි සේවාවයි. බුද්ධි අංශ යම් ආකාරයකින් අඩපණ වුවහොත් සිදු වන්නේ රටේ සමස්ත ආරක්ෂාවම ඈලියාවට යාමය. 2019 වසරේ පාස්කු ප්‍රහාරය එල්ල වූයේද මෙලෙසින් බුද්ධි අංශ අකර්මන්‍ය කළ නිසා බව මේ වන විට හෙළි වෙමින් තිබේ. පසුගිය 30 වැනිදා බ්‍රහස්පතින්දා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් ලබා දුන් සාක්ෂි අනුව මේ බව පැහැදිලි විය. ඔහු පසුගිය බ්‍රහස්පතින්දා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ සිවු වැනි දිනටය. ඔහු පාස්කු ප්‍රහාරය එල්ල වූ අවදියේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

නිලන්ත ජයවර්ධන එහිදී කොමිසම හමුවේ අනාවරණය කෙළේ 2015 වසරට පෙර රාජ්‍ය බුද්ධි අංශයට විශාල හැකියාවක් හා බලයක් තිබුණු බවයි. ඒ බව ඔහු සාක්ෂි සහිතව මෙහිදී පෙන්නුම් කෙළේය. ඒ අනුව 2015 වසරට පෙර රාජ්‍ය බුද්ධි අංශයට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ හා පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව කටයුතු කිරීමට හා මෙහෙයුම් කිරීමට හැකියාව තිබුණද 2015 වසරෙන් පසුව රාජ්‍ය බුද්ධි අංශයට පැවරුණේ කරුණු හඳුනාගෙන තොරතුරු රැස් කරමින් තීරණ ගත යුත්තන්ට දැනුම් දීම පමණක් බවද ඔහු කොමිසම හමුවේ පැවසුවේය.

විශේෂයෙන්ම 2015 වසරෙන් පසුව දේශපාලනික වශයෙන් පක්ෂ දෙකක් රටේ පාලනයට සම්බන්ධ වී සිටි හෙයින් එම දේශපාලන පක්ෂ දෙකේ දර්ශනයන් දෙකක්ද තිබූ හෙයින් ඒ ගැන තමාට දැඩි පීඩනයක් සහිතව කටයුතු කරන්නට සිදුවුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

 

බුදු පිළිමවලට හානි කිරීම

2018 වසරේ සබරගමුව, වයඹ, හා මධ්‍යම පළාත්හි බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධව තමා පැහැදිලි වාර්තාවක් 2018 දෙසැම්බර් මස 31 වැනිදා පොලිස්පතිවරයාට ලබා දුන්නද ඒ සම්බන්ධව නිසි විමර්ශනයක් සිදු නොවු බවද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම සහරාන් විසින් සෑම ඉරු දිනකම කාත්තන්කුඩියේ ඔහුගේ පල්ලියේ දේශන පවත්වමින් තම අනුගාමිකයන් දැනුවත් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉස්ලාම් දේශයක් නොවන බැවින් ශ්‍රී ලංකාව ඉස්ලාම් දේශයක් කිරීම සඳහා කටයුතු කළ යුතු බව යැයිද ඒ පිළිබඳව තමන් විසින් අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ආරක්ෂක කවුන්සිලයද දැනුවත් කළ බව ඔහු කොමිසමට පැවසුවේය.

සහරාන්ගේ ක්‍රියාකාරීත්වය ගැන දැනගත් හෙයින් ඔහු වහා අත්අඩංගුවට ගන්නැයිද ඔහු ජන සමාජයේ ගැවසීම කිසිසේත් සුදුසු නොවන බව තමන් දැන්විය හැකි සියලු පාර්ශ්වයන්ට මේ පිළිබඳව වාර්තා කළද එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

2017 වසරේදී මෙවන් අන්තවාදීන් 94 දෙනකුගේ ලේඛනයක් හා 2018 වසරේදී එවන් 130 දෙනකුගේ ලේඛනයක් තමන් විසින් ලබා දුන් නමුත් එයින් ද කිසිදු ඵලක් නොවුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

 

‘යහපාලන‘ ඇමැතිවරුන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කෙරෙන මේ කොමිසමට ඉතා වැදගත්ම හා ප්‍රබල සාක්ෂි කිහිපයක් ගෙන හැර දක්වන ලද්දේ හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා විසිනි. ඔහු පැවසුවේ මෙරට ක්‍රියාත්මක අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායම් ගැන ‘යහපාලන‘ රජයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනකු දැනගෙන සිටියත් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. තමන් එම ඇමැතිවරුන් දෙදෙනාම හමුවී මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් ලබා දුන් නමුත් ඔවුන් ඒ සම්බන්ධව අසා සිටීම පමණක් කළ බව ඔහු කීය.

හිටපු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මෙහිදී පෙන්වා දුන්නේ තමාට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරියක 2016 වසරේ දී දුරකතන ඇමතුමක් ලබා දෙමින් තම 23 හැවිරිදි පුතු අයිඑස් අයිඑස් සංවිධානය හා සම්බන්ධව කටයුතු කරන බවත් එසේ නොකරන ලෙස ඔහුට දැනුම් දුන්නද ඔහු දිගින් දිගටම එම සංවිධානය හා එක්ව කටයුතු කරන බවයි. තම පුතු බේරා ගැනීමට උදවු කරන ලෙස ඇය තමාගෙන් ඉල්ලා සිටි බවද ඔහු අනාවරණය කෙළේය.

පුතා මවටද මරණ තර්ජන එල්ල කර එම සංවිධානයේ වැඩ කටයුතු දිගින් දිගටම කරගෙන ගිය හෙයින් තම සමීප ඥාතියකු හරහා එවකට විදේශ කටයුතු ඇමැතිව සිටි මංගල සමරවීර මහතා හමුවී මේ සියල්ල පවසා සිටි බව ඔහු කොමිසම හමුවේ අනාවරණය කෙළේය.

එම අවස්ථාවේදී කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ ‘අභියාචනාධිකරණ විනිසුරුවරයකුව සිට එසේ දේශපාලඥයකු හමුවට ගියේ ඇයි‘ ද යන්නයි. හිටපු විනිසුරුවරයා එයට පිළිතුරු ලෙසින් දක්වන ලද්දේ එකල රටේ තිබුණු දේශපාලන වාතාවරණය භයානක බවත් ඉහළ සිට පහළට පැමිණීමේ ක්‍රියාදාමය අනුව තමන්ට එසේ කරන්නට සිදු වූ බවයි.

මංගල සමරවීර ඇමැතිවරයා තමා පැවසූ කරුණු සියල්ල අසා සිට දුරකතනයෙන් නීතිය හා සාමය පිළිබඳව එවකට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාට දැනුම් දුන් බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව මංගල සමරවීර ඇමැතිවරයාගේ මඟ පෙන්වීම යටතේ දෙදිනකට පසුව තමන් අරලියගහ මන්දිරයේදී සාගල රත්නායක ඇමැතිවරයා හමුවූ බවත් තම ගුරුවරියගේ පුතාගේ ගැටලුවත් ඒ හා සම්බන්ධව ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයත් පැහැදිලි කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ සඳහා ඉක්මනින් පියවරක් ගන්නා බව සාගල රත්නායක ඇමැතිවරයා තමන්ට දැනුම් දුන් බවත් එම නිසා ඉතා ඉක්මනින් තමන්ගෙන් වැඩි විස්තර ලබා ගැනීමට නිලධාරීන් පැමිණෙතැයි බලා සිටි නමුත් පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම ඒ ගැන කිසිදු ආකාරයක සොයා බැලීමක් කිසිවකුගෙන් සිදු නොවුණු බව ඔහු අනාවරණය කෙ‍ළේය .

ඒ සම්බන්ධව තමන් දැඩි සේ කනගාටුවට පත් වූ බවත් තම ගුරුවරියගේ පුතා වූ ආෂික් නැමැත්තා ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් බව තමන් පුවත්පතකින් දුටු බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලි‍ෙම්න්තු තේරීම් කාරක සභාවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට තමන් විසින් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් ලබා නොදුන් බවද ඔහු කොමිසම හමුවේ අනාවරණය කෙළේය. එමෙන්ම පසුගිය මැයි මස 26 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටි එවකට (පාස්කු ප්‍රහාරය එල්ල වූ දින) බස්නාහිර බුද්ධි කොට්ඨාසය බාරව සිටි සහකාර පොලිස් අධිකාරි බී. අයි. අයි. ප්‍රසන්න පැවසුවේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ ‘ඉස්ලාම් අන්තවාදයක් මෙරට ක්‍රියාත්මක බව‘ ප්‍රකාශය අනුව දර්ගා නගරයේදී අබ්දූල් අමීන් නැමැත්තකු අත්අඩංගුව ගත් බවත් ඔහු ‘ඉස්ලාමයේ අඳුරු අසිපත කොළඹ අහසේ ළෙලදෙනවා‘ - මීට අයිඑස් අයි එස් ශ්‍රී ලාංකික - යනුවෙන් ඔහුගේ මුහුණු පොතේ සදහන් කර තිබු බවයි.

 

අනතුරු ඇඟවීම

ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කෙළේද යන්න පිළිබඳව කළ විමසීමේදී ඔහු කොමිසම හමුවේ පැවසුවේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර දැනුවත් කළ බවයි. එමෙන්ම රාජ්‍ය බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ මෙහෙය වූ අතර ජාතික ආරක්ෂාවට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් තර්ජන එල්ල විය හැකි බවට සාකච්ඡා කෙරුණු බවද ඔහු කීවේය.

පසුගිය රජය සමයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සොයා බැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ගැන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අගතියට පත් පාර්ශ්වයන් සෑහීමකට පත් නොවූවද ඒ මඟින්ද කරුණු රැසක් හෙළිව තිබුණි.

 

‘හෙට දිනයේදී‘ භයානක සිදුවීමක්

 

විශේෂයෙන්ම 2019 අප්‍රේල් 4 වැනිදා ප්‍රහාරයක් පිළිබද පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබීම හා එතැන් සිට එම ප්‍රහාරය පිළිබඳව පොලිස් හා බුද්ධි අංශ අතර පණිවුඩ හුවමාරුව, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් 2019 අප්‍රේල් 20 වැනිදා ද ‘හෙට දිනයේදී‘ භයානක සිදුවීමක් ඇතිවිය හැකි බවට පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීම් ලැබුණු බවද තහවුරු වී තිබේ.

එමෙන්ම ප්‍රහාරය එල්ල වූ 2019 අප්‍රේල් 21 වැනිදා පෙරවරු 6.45 ටද රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීම සිදු කර ඇති නමුත් තමා බෞද්ධ බවත් කතෝලික දේවස්ථාන පිළිබද තමන්ට අවබෝධයක් නැති බව ආරක්ෂක ලේකම්වරයා විසින් පවසා ඇති බවද හෙළි වූ කරුණු අතර විය. මේ සියලු කරුණු අනාවරණය වීමෙන් පසුව පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව අවසානයට සිදු කෙළේ කුමක්ද?

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දෙනවා වෙනුවට ත්‍රස්තවාදීන්ගෙන් රාජ්‍ය සේවකයන් රැක ගැනීමට නීති පැනවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා කමිටුවට කැඳවීමට රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඇතුළු එම කමිටුව තීරණය කරන ලදී. එහිදී සුමන්තිරන්, රාවුෆ් හකීම් හා රවී කරුණානායක ඇතුළු දේශපාලකයින්ගේ වාග් හා විවිධ දෝෂාරෝපයන්ට ලක් වීමට අමාත්‍යාංශ ලේකම්වරයාට සිදු විය.

එහෙත් ඊට නොසැලෙමින් අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ට නීති සෑදීමේදී මුස්ලිම්, ද්‍රවිඩ වූ පලියට විශේෂ සැලකිල්ලක් ලබා දීමට නොහැකි බවය. එම ප්‍රකාශයට සුමන්තිරන් හා රාවූෆ් හකීම් දැඩි ලෙස කෝපයට පත්ව අමාත්‍යාංශ ලේකම්වරයාට බැණ වැදුණු අයුරුද අපට හොඳට මතකය.

අවසානයේ ‘යහපාලනයේ‘ බලය පෙන්වමින් ඒ ඇමැතිවරුන්ගේ බලය එළියට එන්නට විය. සුමන්තිරන්ට සහ රාවූෆ් හකීම්ට තිබූ බලය පෙන්වමින් ජේ. ජේ. රත්නසිරි මහතා පසුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කෙරුණි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යළිත් ඔහු එම අමාත්‍යාංශයේම ලේකම් ධුරයට පත් කිරීමද අගය කළ යුතුය.

එමෙන්ම දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට හිටපු යුද හමුදාපතිවරයාට අවස්ථා කිහිපයකදී ඇමතීමෙන් යම් ආකාරයක බලපෑම් සිදු කළ රිෂාඩ් බද්යුද්දීන් හිටපු ඇමැතිවරයා මෙන්ම මුස්ලිම් පල්ලිවල කඩු ඇතුළු අවි ආයුධ තබා ගෙන ඇත්තේ කැලෑ සුද්ධ කිරීමට බව පැවසූ හිටපු තැපැල් ඇමැති හලීම් ඇමැතිවරයාත් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන්ද පියවර ගත යුතු වේ.

ප්‍රහාරයේ වගකීම පොලිසිය මෙන්ම බුද්ධි අංශවලට යොමු වනවාත් සමඟම ප්‍රහාරයක් එල්ල වන බව දැන දැනත් ඒ සම්බන්ධව කිසිදු ආකාරයක පියවරක් නොගැනීම හා වැරැදිකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කළ දේශපාලන අධිකාරියට එරෙහිවද යම් පියවරක් ගත යුතුමය.

Comments