ප්‍රති­කා­ල්ව­රුන්ගේ ගැහැට ලද සීතා­වක බැරැන්ඩි කෝවිල | සිළුමිණ

ප්‍රති­කා­ල්ව­රුන්ගේ ගැහැට ලද සීතා­වක බැරැන්ඩි කෝවිල

අවි­ස්සා­වේල්ල-යටි­ය­න්තොට මාර්ගයේ පිහිටි පාලම පසු­කර මීටර් සිය­යක් පමණ ගම­න්ගත් විට සීතා­වක බැරැන්ඩි කෝවිල සඳහා පිවි­සිය හැකිය. ප්‍රධාන මාර්ග­යෙන් හැරී මීටර් 200 ක් පැමිණ ඒ සඳහා ගමන් කළ යුතුය. කලක් විරා­ජ­මා­නව පැවති සීතා­වක බැරැන්ඩි කෝවිල ඇති වූ විවිධ ආක්‍ර­මණ හේතු­වෙන් ක්‍රම­යෙන් ජරා­වාස වන්නට විය. 16 වන සිය­වසේ දී පැවති ප්‍රබල රාජ්‍ය­යක නට­බුන් අතර දැනට ශේෂව පව­තින ස්මාරක අත­රින් සුවි­ශේෂි තැනක් හිමි­කර ගැනී­මට මෙම පුරා­විද්‍යා ස්මාර­කය සමත්ය.

පුරා­විද්‍යා මූලාශ්‍ර හා සාහිත්‍ය මූලාශ්‍ර ඇසු­රින් බැරැන්ඩි කෝවිල පිළි­බ­ඳව විම­සීමේ දී සැවුල් සංදේ­ශය, පෘතු­ගීසි ජාතික කූටෝ විසින් රචිත කෘතිය හා පර්නාද ක්වේරෝස් නම් පෘතු­ගීසි ජාතික පිය­තුමා විසින් රචනා කරන ලද ග්‍රන්ථය ප්‍රධාන වශ­යෙන් සාහිත්‍ය මූලා­ශ්‍රය ලෙස දැක්විය හැකිය. සීතා­වක රාජ­සිංහ රජු­ගෙන් පසු සිටි අරි­ට්ටකී වෙණ්ඩු පෙරු­මාල් සීතා­වක රාජ්‍ය­ත්වය ලබා ගැනී­මට උත්සාහ කළ මුත් ඔහුගේ උත්ස­ාහය අසා­ර්ථක වූ බැවින් පෘතු­ගී­සින්ගේ සහය ගෙන රජුට විරු­ද්ධව යුධ වැදීම් කර ඇත. මෙම අව­ස්ථාවේ දී බැරැන්ඩි කෝවිල දැඩි ලෙස විනා­ශ­යට බඳුන් වූ බව කියැවේ. 

රාජ­සිංහ රජු­ගෙන් පසුව ඉදි­කළ පෘතු­ගීසි කොටුව, බැරැන්ඩි කෝවිලේ සිට පෙනෙන මානයේ ඉදි­කර තිබූ බවත් එය සීතා­වක බැලුම් කොටුව නම් ස්ථානය වූ බව ද දැක්වේ. සීතා­වක අවට හා එම ප්‍රදේ­ශයේ සිය­ලුම දේ පෘතු­ගී­සින් විසින් විනාශ කොට බිමට සම­තලා කරන ලද බව එච්. වයිට් දක්වා තිබේ. කෝවිල පිළි­බ­ඳව ක්‍රමා­නු­කූ­ලව විස්ත­ර­යක් සැපයූ පළමු පුද්ග­ලයා ලෙස ද වයිට් හැඳින්වේ.

සීතා­වක බැරැන්ඩි කෝවිල පිළි­බ­ඳව ප්‍රථම වරට ලිඛිත සට­හ­නක් දක්නට ලැබෙන්නේ 1800 දි බ්‍රිතාන්‍ය ජාතික පර්සි­වල් විසින් සිදු කළ ගවේ­ෂ­ණය පාදක කොට ගෙන ලියූ වාර්තා­වේය. මෙම කෝවිල ප්‍රථම වරට දුටු තැනැත්තා ලෙස ද ඔහුව නම් කෙරේ. පර්සි­වල්ගේ සට­හන අනුව එකල කෝවිල තිබු තත්ත්වය ගැන අව­බෝ­ධ­යක් ලබා ගැනී­මට හැකි­යාව ලැබී ඇත. එච්. සී. පී. බෙල් සඳ­හන් කරන්නේ ඔහුගේ වාර්තාවේ සඳ­හන්ව ඇත්තේ පාද­මට සම්බ­න්ධව තිබූ ගල් කණුවල ඒ වන විට අක්ෂර රූප කෙටූ ස්ථාන ගණ­නා­වක් දක්නට ලැබුණු බවය. එහෙත් වර්ත­මා­නයේ දී එම ගල් කැබලි කිසි­වක් එහි දක්නට  නැති වීම අවා­ස­නා­වකි.  

1819 අගෝස්තු මස දී කෝවිල නැර­ඹී­මට ගිය ඉංග්‍රීසි ජාතික ජෝන් ඩේව් විශ්වාස කර­නුයේ මෙම කෝවිලෙ නට­බුන් ප්‍රථ­ම­යෙන් ම දැක ඇත්තේ මෙට්ලන්ඩ් බවය. එහෙත් මේ සම්බ­න්ධව මෙට්ලන්ඩ් කිසිදු සඳ­හ­නක් කර නොමැති බව දැක්වේ. කෝවිල් නට­බුන් සම්බ­න්ධව තොර­තුරු සපයා එම ස්ථාන­යට ඔහුව රැගෙන ගොස් ඇත්තේ දිස්ත්‍රි­ක්කයේ අණ­දෙන නිල­ධාරී මේජර් බේලිය. ඔහු වල්බි­හිව තිබූ කෝවිල් භූමියේ කැලය කපා එළි පෙහෙළි කළ බව සඳ­හන් වන අතර කෝවිල් මාර්ගයේ ඇති පාලම පිළි­බඳ නිව­රැ­දිව පළ­මුව සට­හන් කළ තැනැත්තා බව ද කියැවේ. ඔහුගේ සට­හන අනුව එව­කට කෝවිලේ බිත්ති පවා දක්නට ලැබී ඇත.

කෝවිල සම්බ­න්ධව විශාල මෙහෙ­ව­රක් එච්. සී. පී. බෙල් විසින් සිදු­කොට තිබේ. 1896 දී මෙම ස්මාර­කයේ ප්‍රථම ප්‍රති­සං­ස්ක­ර­ණය දිස්ත්‍රික් ඉංජි­නේරු මේයර් ලවා සිදු­කොට ඇත. මෙහිදි කෝවිල වටා පිහිටි ප්‍රාකාර බැම්මේ සහ කෝවිල ඇතු­ළත අඩි­තා­ලමේ ඉදි­කි­රීමේ දී අඩු­තැන් පිර­වී­මට අවට විසිරි තිබුණු ගල් ගෙන­විත් සවි කළ බව දැක්වේ. එහෙත් මෙම ඉංජි­නේ­රුවා පුරා­වි­ද්‍යාව පිළි­බඳ දැනු­මක් නොමැති අයකු වූ බැවින් කෝවිලේ මුල් සැලැ­ස්මත්, ආකෘ­ති­යත් වෙනස් වන්නට ඇතැයි යන්න ආචාර්ය ධනං­ජය ගම්­ලත්ගේ අද­හ­සයි. ඒ පිළි­බ­ඳව වැඩි තොර­තුරු සීතා­වක බැරැන්ඩි කෝවිල නම් වූ ග්‍රන්ථයේ දක්වා ඇත.              

1985 දී සී. ජේ. ආර්. ලිමර්ස්ගේ දින පොතේ දැක්වෙන පරිදි කෝවිල පිහිටි භූමිය පහතරැටි­යකු විසින් බදු­ ගෙන ඇති අතර කෝවිලේ තිබූ අලං­කාර කැට­යම් සහිත ගල් රැගෙන ගොස් ඒවා උප­යෝගි කොට ගෙන  කෝවි­ලට ආස­න්නව ඔහු නිව­සක් තනා ඇති බව සඳ­හන්ය. එමෙන්ම කෝවිල අවට පිහිටි ඇතැම් නිවෙස් මිදු­ල්වල කෝවි­ලට අයත් යැයි සැල­කෙන ගල් පුවරු සහ විවිධ කොටස් රැගෙන ගොස් ඇති බව දැක්වේ.

1827 දී ෆෝබ්ස් බැරැන්ඩි කෝවිල නරඹා ඒ සම්බ­න්ධව කුඩා සට­හ­නක් ලියා ඇතැයි යන්න සඳ­හන් වන අතර කෝවිලේ නට­බුන් ආරක්ෂා කර­ගත යුතුයි යන්න අව­ධා­න­යෙන් ක්‍රියා කළ තැනැ­ත්තෙක් ලෙස එෆ්. එච්. ප්‍රයිස් දැක්විය හැකිය. ඔහු 1887 මැයි 17 වන දින සිය දිනපොතේ තබන ලද සට­හ­නට අනුව ඔහුගේ උන­න්දුව කෙත­රම් ද යන්න පැහැ­දිලි වේ.

බැරැන්ඩි කෝවිල සම්බ­න්ධව විවිධ පුද්ග­ල­යන් විසින් විටින් විට ග්‍රන්ථ­වල සට­හන් තැබීම් සිදු කොට ඇති අතර ඒ ග්‍රන්ථ ලෙස, 1908 දී ඒ. ඩබ්ලිව්. කේව් The Book of Ceylon Sketches of Ceylon History  ද 1913 දී පෝල්.ඊ.පීරිස් Ceylon: THE PORTUGESE ERA ද 1926 දි එච්. ඩබ්ලිව්. කොඩ්රිං­ග්ටන් A Short History of Ceylon  ද යනාදි වශ­යෙන් ප්‍රධාන කොට දැක්විය හැකිය.

බැරැන්ඩි යන නාමය පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීමේ දී එහි විවිධ අර්ථ දැක්වේ. සද්ධ­ර්ම­ර­ත්නා­ව­ලිය අනුව කාලී බරාඩි යනු­වෙන් දක්වා ඇති අතර ක්වේරෝස්ගේ අද­හස  වූයේ භෛරව අන්ඩි යන්නය. එම්. සිරි­සේ­නගේ අද­හස වූයේ භෛරණ්ඩි හෙවත් බැරැන්ඩි යනු භෛරව හෝ බයි­රව යන්නෙ­හිම විකෘ­ති­යක් බවය. ජන­ප්‍ර­වා­දය අනුව 1 වෙනි රාජ­සිංහ රජු කෝපා­විෂ්ඨ වූ දෙවි­ව­රුන්ගේ දඬු­ව­මින් බේරීම සඳහා තන­න ලද්දක් බැවින් මෙම කෝවි­ලට බෙරැන්ද යන නම ව්‍යව­හාර වූ බවය. ජේ. එම් සෙනෙ­වි­ර­ත්න­යන් පෙන්වා දෙනුයේ බෙරැන්ද යනු දඬු­ව­මින් බේරීම යන අරුත් ගැන්වෙන බවය. එච්. ඩබ්ලිව්. කේව් සඳ­හන් කර ඇත්තේ බෙරැන්ද යන්නේ තේරුම වර­දට දඬු­වම යන්නය. ඒ හේතු­වෙන් කෝවිල බැරැන්ඩි ලෙස නම් වූ බවත්ය.

බැරැන්ඩි කෝවිලේ ඉදි­කි­රීම් තාක්ෂ­ණය දකුණු ඉන්දි­යාවේ 16 වන සිය­වස දී විජ­ය­න­ගර රාජ­ධානි සම­යට සම­කා­ලීන බව කියැවේ. මෙම කාල­යට සාපේ­ක්ෂව මායා­දුන්නේ රජු විසින් 1511 න් පසු 1551 දක්වා අතරතුර වසර විස්සක වැනි කාල­යක් තුළදී මිනි­සුන් 2000 ක් පමණ යොදවා නිම­කළ බවත්  එහි දෙවන වර ඉදි­කි­රීම රාජ­සිංහ රාජ්‍ය කාල­යේදී සිදු වූ බවත් අද­හ­සයි. විජ­ය­න­ගර යනු­වෙන් හැඳි­න්වූයේ චෝල, පාණ්ඩ්‍ය, කේරළ හා කර්ණාට යන දකුණු ඉන්දීය රාජ්‍ය­යන් එකතු වී සෑදුණ දකුණු ඉන්දීය අධි­රා­ජ්‍යයි. එච්. සී. පී. බෙල් හා කේ. ඉන්ද්‍ර­පාල යන විය­ත්තු බැරැන්ඩි කෝවිලේ දක්නට ලැබෙන ගෘහ නිර්මා­ණා­ත්මක අංග ලක්ෂණ අනුව එය විජ­ය­න­ගර ශෛලි­යට සමාන බව දක්වති. කූටෝ සඳ­හන් කරන්නේ මෙහි වාස්තු විද්‍යාව දේශීය නොවන අතර විදේ­ශීය ආකෘ­ති­යක් නියෝ­ජ­නය කරන බවයි.

එමෙන්ම සීතා­වක රාජ­සිංහ සමයේ දී බැරැන්ඩි කෝවිලේ චිත්‍ර ඇඳ තිබූ බව සැවුල් සංදේ­ශයේ 94 වෙනි පද්‍යයේ සඳ­හන් ව ඇත. එහෙත් වර්ත­මා­නයේ දී එකල කෝවිලේ චිත්‍ර ඇඳ තිබූ බවට කිසිදු සාධ­ක­යක් දක්නට නැත. පෝල් ඊ. පීරිස්, සැවුල් සංදේ­ශ­යට අනුව මෙහි චිත්‍ර පිළි­බ­ඳව අද­හස් දක්වා ඇත. විජ­ය­න­ගර චිත්‍ර ශිල්පීන් එරට හින්දු කෝවිල් සඳහා සුලබ ලෙස බැරැන්ඩි කෝවිලේ ඇඳි සිතු­වම් වලට සමාන ලෙස සිතු­වම් කර ඇත. කෝවි­ල්වල මණ්ඩප බිත්තියේ හෝ අර්ධ මණ්ඩප බිත්ති­වල බහුල ලෙස විජ­ය­න­ගර ශිල්පීන් සිතු­වම් කොට තිබූ බව දැක්වෙන අතර බිත්ති­වල මෙන්ම සිවි­ලිමේ ද එසේ සිතු­වම් කොට තිබූ බව සඳ­හන්ය. ඒ අනුව බැරැන්ඩි කෝවිලේ ද ප්‍රාකාර බැම්මේ හත­රැස් පනේල තුළ චිත්‍ර ඇඳ තිබෙ­න්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ.

මහා භාරත හටන, කඳ කුමරු හා සම්බන්ධ අසුර යුද්ධය යානා­දිය මෙහි සිතු­වම් කර තිබූ බව සැවුල් අස්නේ සඳ­හන්ය. එනම්,

සබඳ දිය රම් රවුළු යුධ, මහ­බා­රත යුද     ද

මන­රම් කඳ කුමරු පෙර කළ දිත් යුද       ද

හිමි කොටැ ඇඳ ඇති නොම සිති­යම්     රූ

නෙතු සතොස පිරි ලෙන් දැක         ගොස්

සැවුල් සන්දේ­ශය බැරැන්ඩි කෝවිල සම්බ­න්ධව ලිය­වුණු පැර­ණිම ග්‍රන්ථය ලෙස සැල­කෙන අතර 92 සිට 95 දක්වා දැක්වෙන පද්‍ය වලින් කෝවිල පිළි­බ­ඳව යම් අව­බෝ­ධ­යක් ලබා ගැනී­මට හැකිවේ. මෙහි සඳ­හන් තොර­තුරු අනුව පැහැ­දිලි වන්නේ සැවුල් සංදේ­ශය ලිය­වුණු කාල වක­වා­නුව වන විට කෝවිල සම්පූර්ණ වශ­යෙන් ඉදිවී තිබුණු බවය. රාජ­සිංහ රජු බැරැන්ඩි කෝවිල තැන­වූයේ තම රාජ්‍ය කාල­යෙන් වසර දෙක තුනක් ඇතු­ළත වන්නට ඇතැයි විශ්වාස කෙරේ. චූල වංශ­යට අනුව රජු රාජ්‍ය­ත්ව­යට පත්ව සුළු කාල ­ව­ක­වා­නු­වක දි ශිව ආගම වැළඳ ගත් බැවින් බැරැන්ඩි කෝවිල ද එස­මයේ ඉදි­ව­න්නට ඇතැයි සැලකේ. පෝල් ඊ. පීරිස් ප්‍රකාශ කරන්නේ 1582 දී රාජ­සිංහ රජු විසින් මෙම කෝවිල නැවත ඉදි කර­ව­න්නට ඇතැයි යන්නය. 

1635 – 1688 කාල වක­වා­නුව තුළ ජීවත් වූ පෘතු­ගීසි ජාතික ජෙසු­යිට් නිකා­යට අයත් ප්‍රධාන පූජ­ක­යෙක් වූ පර්නා ද ක්වේරෝස් විසින් ලියන ලද The Temporal and Spiritual Conquest of Ceylon නම් කෘතිය වෙළුම් හය­කින් යුක්ත වූ අතර එහි දෙවන වෙළුමේ සීතා­වක බැරැන්ඩි කෝවිල සම්බ­න්ධව වැද­ගත් කරුණු රාශි­යක් දක්වා ඇත. ඔහු සඳ­හන් කරන පරිදි 1550 දි බුව­නෙ­ක­බාහු රජුගේ මර­ණින් පසු ගෝවේ පෘතු­ගීසි ජාතික විසුරේ 1551 දි කෝට්ටේට පැමිණ තම හමු­දාව සමඟ සීතා­ව­කට පහර දුන් බවත්, එවිට මායා­දුන්නේ රජු සීතා­වක අත් හැර දැර­ණි­ය­ග­ලට පලා ගිය බවත්ය. එම අව­ස්ථාවෙ දී වීදිය බණ්ඩා­රගේ හමු­දාව එක්ව විසුරේ, බැරැන්ඩි කෝවිල මංකොල්ල කෑ අතර රජ මාළි­ගාවේ ද සියල්ල විනාශ කළ බව ද රජුගේ නිදන් වස්තු සෙවීමේ අර­මු­ණින් අඩි­තා­ලම සෑරු බව ද ක්වේරෝස් දක්වා ඇත. මේ අනුව 1551 වන විටත් කෝවිලෙ සම්පු­ර්ණ­යෙන් ම වැඩ අව­සන්ව පැව­තුණ බව අද­හස් වේ. එමෙන් ම බැරැන්ඩි කෝවි­ලෙන් මංකොල්ල කෑ ද්‍රව්‍ය ඇතු­ළත් වට්ට­ටෝ­රු­වක් 1904 දී සොයිසා විටර්බෝ විසින් සට­හන් කොට ඇත. එහි කෝට්ටේ මාළි­ගා­වෙන් කොල්ල කෑ වස්තූන් පිළි­බ­ඳව  ද අන්ත­ර්ගත කොට ඇතැයි යන්න සඳ­හන්ය.

සැවුල් අස්නේ 92 වන පද්‍ය­යෙන් බැරැන්ඩි කෝවිලේ පිහි­ටීම ගැන සඳ­හන්ව ඇත. එම පද්‍ය අනුව කෝවිල සීතා­වක ගඟේ එක් ඉවු­රක ද සීතා­වක රජ මාළි­ගාව අනෙක් ඉවුරේ ද පිහිටා ඇත. ඒ අනුව සීතා­වක පුරය ගඟ දෙගො­ඩේම පිහිටි බව පෙනේ. 

සව්සිරි පිරි මන නද එපුර         වර­ඟ­නගෙ

දෙව් රජ විමන් තන යුග තුරෙහි ගිලී       සොඳ

නිල වසා රොද එව් ගඟි­නෙ­තරැ වැ        පැහැද

දෙව් විම­නතැ රඟ වහ­සල තුළට               වැද

සීතා­වක පුරය උතුම් අඟ­නක ලෙස ද එපු­රයේ ඇති දොවොල සහ රජ මැදුර ඇගේ පිය­යුරු යුග­ලය ලෙසත් ඒ දෙක මැදින් ගලා බලා බසින සීතා­වක නදිය ඇඟේ වසා­රොද ලෙසත් දක්වා ඇත. 

සීතා­වක බැරැන්ඩි කෝවිල සම්බ­න්ධව පව­තින ජන­ප්‍ර­වා­දය අනුව පැව­සෙන්නේ රාජ­සිංහ රජු තම පියා මැරූ  පාප­යෙන් මිදී­මට ආඬි­ගු­රුගේ උප­දෙස් පරිදි  බ්‍රාඬි යක්ෂ­ණි­යට පූජා­වක් පිණිස බැරැන්ඩි කෝවිල ඉදි කළ බවය. එහෙත් රාජ­සිංහ රජු තම පියා නොමැරූ බවට බොහෝ අද­හස් ඉදි­රි­පත් වී ඇත. එම ජන­ප්‍ර­වාද සාවද්‍ය කර­මින් රාජ­සිංහ රජු  මායා­දුන්න රජු ඝාත­නය නොකළ බවත්, එම රජු පියා මැරුවේ යැයි ප්‍රලාප ප්‍රච­ලිත කළ හා ඒවාට සම්බන්ධ වූ දේශ­පා­ලන භික්ෂූන් ඇතුළු රද­ළ­යන් හට දැඩි දඩු­වම් දුන් නමුත් භික්ෂූන් ඝාත­නය නොකළ බවත් යන්න විද්ව­තුන්ගේ මත­යයි.

Comments