දේශපාලන පත්වීම් නිසා විනාශ මුඛයට යන රෙජිස්ට්‍රාර්වරුන්ගේ අභිමානය | සිළුමිණ

දේශපාලන පත්වීම් නිසා විනාශ මුඛයට යන රෙජිස්ට්‍රාර්වරුන්ගේ අභිමානය

පත - විවාහය - මරණය යන අප ජීවිතයේ සුවිශේෂ ප්‍රධාන අවස්ථා තුනේදීම නැතිවම බැරි නමුත් රජයෙන් කිසිම වැටුපක් නොලබන රජයේ නිලධාරින් 2000ක් පමණ අප රටේ සිටින බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වෙනු ඇත.

නමුත් එය සත්‍යයකි. රජයෙන් සතයක්වත් පඩි නැතිව දවසේ පැය 24 පුරාම සේවයට සූදානම් වී සිටින ඒ පිරිස වනාහි උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන් ය. කිසිම රජයකින් පහසුකම් ලබාදී නැති මේ පිරිස පිළිබඳව වත්මන් රජයේවත් අවධානය යොමුවිය යුතු බව උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර් සංගමය පෙන්වා දෙයි.

උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත අනුව අපේ රටේ දැනට උප්පැන්න - මරණ - විවාහ රෙජිස්ට්‍රාර්වරු හා විවාහ රෙජිස්ට්‍රාර්වරු 2000ක් පමණ අප රට පුරා සේවය කරති. නමුත් මේ රෙජිස්ට්‍රාර්වරුන් ඉල්ලන අවම පහසුකම් ලබාදී නැත. ඒ වෙනුවට පසුගිය යහපාලන රජය මේ රෙජිස්ට්‍රාර් ධුරයේ ගෞරවය, පෞඪත්වය හා අභිමානය කෙලෙසමින් සුදුසුකම් නැති අය දේශපාලන මැදිහත්වීම් මත අති‍ෙර්ක විවාහ රෙජිස්ට්‍රාර්වරුන් ලෙස පත්කර ඇතැයි දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක පවසයි.

ඔහු පවසන පරිදි 2015 සිට 2019 දක්වා කාලයේ දී විවාහ රෙජිස්ට්‍රාර්වරුන් පත්කිරීමේ කටයුත්ත තනිකරම දේශපාලන අතපෙවීම් මත නීති විරෝධි ලෙස සිදුවී ඇත.

නීත්‍යනුකූල අයුරින් විවාහ රෙජිස්ට්‍රාර්වරු පත්කිරීමේ සුවිශේෂි ක්‍රියාදාමයක් ඇත. ඒ අනුව යම් ප්‍රදේශයකට රෙජිස්ට්‍රාර්වරයකු පත් කළ හැක්කේ ක්‍රම‍ දෙකක් අනුවය. එක්කෝ රෙජිස්ට්‍රාර් විශ්‍රාම යා යුතුය. මරණයට පත්විය යුතුය. නැත්නම් ඉල්ලා අස්විය යුතුය. එසේ නැත්නම් ඒ ප්‍රදේශයට අතිරේක රෙජිස්ට්‍රාර්වරයක අවශ්‍ය බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ යෝජනා ස්ථිර විය යුතුය.

ඊට පසු එම ඇබෑර්තුව පිළිබඳව ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. ඊට පසු ඒ සඳහා එවන ඉල්ලුමපත් සලකා බැලීම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කරනු ලැබේ. මේ තනතුරට ඉල්ලුම් කිරීමට සුවිශේෂි සුදුසුකම් රැසක් සපුරා තිබිය යුතුය. සාමාන්‍ය පෙළ සමත්වීම, ගමේ වැදගත් ධනවත් ප්‍රභූ පවුලක පුද්ගලයකු වීම හා අත්අකුරු පැහැදිලි වීම ඒ අතර ප්‍රමුඛත්වය ගන්නා බව දුෂ්මන්ත කරුණානායක පවසයි.

“එසේ වුවත් පසුගිය රජය කාලයේ මේ කිසිම සුදුසුකමක් නොබලා බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් ඇමැතිවරයාගේ හා එජාප දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව පරිදි අතිරේක විවාහ රෙජිස්ට්‍රාර්වරු 100ක් පත්කර තිබෙනවා. ඉන් 48ක්ම පත්කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයටයි. ඒ කිසිම රෙජිස්ට්‍රාර්වරයකු සඳහා ඉල්ලුම් කිරීමට ගැසට් නිවේදන නිකුත් කර නැහැ. පවුලේ තත්ත්වය, අධ්‍යාපන සුදුසුකම්, අත් අකුරු පිළිබඳ කිසිම සම්මුඛ පරීක්ෂණයක් සිදු කර නැහැ. ඇමැතිවරයාගේ උපදෙස් අනුව ඒ අය රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් පත්කර තිබෙනවා.”

“රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පටන් ගත්තේ 1864. ඒ කාලේ ඉඳන් රෙජිස්ට්‍රාර්වරු පත් කළේ වයස 30 - 50 අතර අය පමණයි. නමුත් පසුගිය පාලන රජය මඟින් ඒ නීතිය අමාත්‍යවරයාගේ හිතු මතේට වෙනස් කර ඒ වයස් සීමාව 40 - 62 බවට වෙනස් කර වයස 61 - 62 අය රෙජිස්ට්‍රාර්වරු ලෙස පත්කර තිබෙනවා.

ඒ වගේම සල්පිටි කෝරළයට විශ්‍රාම ගත් වයස 62 ග්‍රාම නිලධාරිවරයෙක් රෙජිස්ට්‍රාර්වරයකු ලෙස පත් කර තිබෙනවා. ඔහුට පැන්සන් පඩියක් ලැබෙනවා. ආඥා පනත් අනුව රජයේ පඩියක් ලැබෙන අයෙක්ට රෙජිස්ට්‍රාර් තනතුරක් දරන්න බෑ. හෝමාගමට අදාළ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්ගේ වයස 61ක්වූ නෑදෑයෙක් පත්කර තිබෙනවා යැයිද රෙජිස්ට්‍රාර් සංගමයේ සභාපතිවරයා පවසයි.

මීට අමතරව විවාහ උප්පැන්න මරණ ආඥා පනත උල්ලංඝනය කරමින් 2015 හා 2019 අතර කාල පරිච්ඡේදයේ මෙරට ප්‍රථම වරට වැන්දඹු කාන්තාවන් දෙදෙනකු ද විවාහ රෙජිස්ට්‍රාර් වරියන් ලෙස පත්කර ඇති බවත් දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමය චෝදනා කරයි.

කොරෝනා රෝගය ව්‍යාප්ත වෙන සමයේ වුවද මේ ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරු පැය 24 පුරාම දිවා රෑ නොබලා වැඩ කළහ. නමුත් ඒ අයට අඩු ගණනේ ඒ අයගේ ආරක්ෂාවට මුඛ ආවරණයක්වත් දීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර නැති බවද දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ ලේකම් හේම ශ්‍රි රණසිංහ පවසයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී කරුණු පැහැදිලි කළ රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා පැවසුවේ පසුගිය සමයේ කළ විවාහ රෙජිස්ට්‍රාර් පත්වීම් සියල්ල ගැසට් කර ඉන්පසු අදාළ දිස්ත්‍රික් ලේකම් අනුමත කර අමාත්‍යාංශ ලේකම් අනුමත කර තමා වෙත එවන ලද පත්වීම් බවයි. ඇමැතිවරයාගේ අනුමැතිය ද ඊට අදාළ වන බවත් ඒ පත්වීම පිළිබඳව ක්‍රියාදාමය නීත්‍යනුකූලව නිසි පරිදි සිදුවී ඇති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අවධාරණය කරයි. මේ පිළිබඳව පැහැදිලි කළ දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ භාණ්ඩාගාරික දේවගිරි බණ්ඩාර මහතා පවසන්නේ විවාහ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර්වරුන්ට පුටු මේස දුරකථන හා කාර්යාල පහසුකම් කිසිවක් රජයෙන් ලබා දෙන්නේ නොමැති බවයි. සියල්ල තමන් විසින්ම සපයා ගැනීමට වැටුපක් රජයෙන් නොලබන මේ අයටම සිදුවී ඇති බවත් දේවගිරි බණ්ඩාර මහතා පවසයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් සමන් ජයවර්ධන මහතා පවසන්නේ දැනට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු රෙජිස්ට්‍රාර් සේවයේ අයට වසර 15ක් තුළ උසස්වීම් ලැබී නැති බවයි.

මීට වසර 15 කට පෙර අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් හා අතිරේක හිමිකම් රෙජිස්ට්‍රාර් යන තනතුරු වලට පත්වූ රෙජිස්ට්‍රාර්වරු තවමත් එම තනතුරේ එම වැටුප් තලයේම සිටින බවද ඔහු පවසයි.

“නමුත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන විධායක තනතුරු 34න් 23ක්ම පුරප්පාඩු වෙලා. අර අයට උසස්වීම් දෙන්නේ නැහැ. මේ නිසා වත්මන් රජය අපේක්ෂා කරන ජනාධිපතිතුමා අපේක්ෂා කරන ඊ. ඉඩම් ලියාපදිංචිය, ඊ. උප්පැන්න ලියාපදිංචිය වැනි නව තාක්ෂණික කටයුතු ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට අපහසුවී ඇති බවත් සමන් ජයවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වා රෙජිස්ට්‍රාර් ජනරාල් විතානගේ මහතා පවසන්නේ ඒ අලුත් වැඩපිළිවෙළ කිසි ගැටලුවක් නැතිව ක්‍රියාවට නංවන බවයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සංගම් එකමුතුවේ උප ලේකම් අමිල ධර්මපාල මහතා පැවසුවේ දැනට රටපුරා විවිධ ප්‍රදේශවල සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරු 20ක් හා ඉඩම් රෙජිස්ට්‍රාර්වරු 8ක් පුරප්පාඩුව පැවතුනත් එයට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරු පත් නොකරන බවයි. ඒ තනතුරු වලට පරිපාලන සේවයේ නිලධාරින් පත්කිරීම නිසා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන්ට බලවත් අසාධාරණයක් වී ඇති බවද අමිල ධර්මපාල මහතා පවසයි.

මේ පිළිබඳව රෙජිස්ට්‍රාර් ජනරාල් විතානගේ මහතා පැවසුවේ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුමක් දීමට සූදානම් බවයි. නමුත් නීති විරෝධී ලෙස පුවත්පත් සාකච්ඡා පවත්වා දෙපාර්තමේන්තුවේ අභිමානයට කැලලක් කිරීම පිළිබඳව ඉතා කනගාටු වන බවද අදාළ අයට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසයි.

 

Comments