දළදා පෙරහර වර්ණවත් කරන්න උඩුවියන් වියන එකම ලිය | සිළුමිණ

දළදා පෙරහර වර්ණවත් කරන්න උඩුවියන් වියන එකම ලිය

ඩුවියන් හා පාවඩ මතින් සාධාතුක කරඬුව වැඩමවා ගෙන දෑලේ ඇතුන් සමඟ මහනුවර දළදා පෙරහරේ ගමන් කරන මංගල හස්තිරාජයාගේ සම්ප්‍රාප්තිය පෙරහරේ උච්චතම අවස්ථාව යැයි කීවොත් එය නිවැරදිය. මංගල හස්ති රාජයාගේ පැමිණීමත් සමඟ පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් සාධු නද දෙමින් නැගී සිට සාධාතුක කරඬුව වන්දනා කරන්නේ ජීවමාන බුදුන් දුටුවාක් මෙන් හැඟීමකිනි. දෑලේ ඇතුන් මත ගමන්කරන රාජකාරිකරුවන් සඳුන් මල් ඉසිමින් සාධාතුක කරඬුවට ගොෟරව බුහුමන් දක්වත්දී කවිකාර මඩුවේ සාමාජිකයෝ මංගල හස්තිරාජයා පසුපසින් ගමන් කරන්නේ බුදුගුණ ගයමිනි. මංගල හස්තිරාජයා පාවඩ මතින් රන්සිවි ගෙයෙහි වැඩසිටින සාධාතුක කරඬුව උඩුවියන් සහිතව පෙරහරින් වැඩම කරනු ලබන්නේ අවසන් රන්දෝලි පෙරහර දෙකේදීය.

දළදා මාලිගා පෙරහරේ කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයාට පාවඩ එළීමටත් උඩුවියන් ඇල්ලීමටත් පාරම්පරික උරුමකරුවෝ සිටිති. කාරියකරන කෝරාල භාරයේ ඇති උඩුවියන ඇල්ලීමේ කටයුත්තට 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වන්නේ වරකට අට දෙනා බැගින් මාරුවෙන් මාරුවට එම කාර්යයට උරදෙමිනි. උඩුවියන ඉහළට ඔසවා තැබෙන අඩි 25 කට වඩා උස ලී දඬු හතරක ඔසවා ගෙන යෑමට එක් වරකට හතර දෙනෙකුද උඩුවියනේ සිව් කොන් වල සිට ඇද ඇති කඹ ඇද අල්ලා ගැනීමට හතර දෙනකුද වරකට සම්බන්ධ වෙයි. පෙරහරේදී අපි දකින මේ සිදුවීම් පෙළට ඔබ්බෙන් සිට පෙරහර වර්ණවත් කරන්නට උර දෙන්නෝ බොහෝ වෙති. උඩුවියන තනා එය සිත්කලු ලෙස නිර්මාණය කිරීමේ කාර්යයට වසර හතක් තිස්සේ එලෙස උරදී කටයුතු කරන්නේ කාන්තාවකි. ඇය නමින් පාණදුරේ සාගරිකා තිරිමාන්නය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට කාන්තා සහභාගිත්වයක් ඇත්තේ පත්තිනි දේවාල පෙරහරේ පමණි. එසේ වුවත් පෙරහර මංගල්‍යය විචිත්‍රවත් කරන්නට දායකත්වය දක්වන්නෝ අතර කාන්තාවෝද සිටිති. ඔවුන් ඒ වෙනුවෙන් බොහෝ කැපවීම් කරති. තිරිමාන්න මහත්මියද එවැනි පින්වන්තියකි. මේ උතුම් කටයුත්තට උර දීමට පින පහළ වූ පසු මම රාග,මෝහ,ද්වේෂ සියල්ල අත්හැර බ්‍රහ්මචාරි ජීවිතයකට හුරුවුණා. දැන් මම මේක කරන්නේ බුදුන් වහන්සේ උදෙසා කරන ආත්ම පූජාවක් ලෙස සලකලයි කතාවට මුල පුරමින් තිරිමාන්න කීවාය.

අපි දළදා වහන්සේට වන්දනාමාන කරන්නේ ජීවමාන බුදුන් ලෙස සලකලයි. පෙරහර මංගල්‍යයේදී දළදා වහන්සේ වැඩම නොකෙරුවත් සධාතුක කරඬුවට අපි උපරිමයෙන් ගෞරව දක්වනවා. උන්වහන්සේ වැස්සෙන්, පින්නෙන් ආරක්ෂා කර ගන්න තමයි පෙරහර මංගල්‍යයේදී උඩුවියන් අල්ලන්නේ. සතර වරන් දෙවිවරුන්, මාතෘ දිව්‍ය රාජයා, විශ්වකර්ම දිව්‍ය රාජයා බුදුන් වන්දනා කරන්න මේ වියන් තලයට වඩින බව පාරම්පරික විශ්වාසයයි. ඒ නිසා අපි මේ වියන තල කිහිපයකින් නිර්මාණය කරනවා. සිතේ භක්තිය වැඩිකරන ළා වර්ණ තමයි යොදා ගන්නේ. උඩුවියන හා ඇතුළු වියන කියලා මේක කොටස් දෙකකට බෙදෙනවා. වියන ඉහළින්ම තිබෙන්නේ කොත් වහන්සේ. පිටත වියන හැඩ කරන්න මැණික්, තඹ පත්තිරු, ගල්වැල් වගේ දේවල් යොදා ගනිමින්. වතුර නොරැදෙන පුස් නොඅල්ලන ඉතා මිල අධික රෙද්දක් තමයි වියනට යොදා ගන්නේ. ඇත්තටම මාස නවයක පමණ කාලයක් යනවා වියනේ වැඩ ඉවර කරන්න. අවුරුද්දෙන් අවුරුද්දට මම මේකේ මෝස්තර වෙනස් කරනවා. පැරණි බෞද්ධ සිතුවම් කලාව අධ්‍යයනය කරමින් ඒ හා සම්බන්ධ මෝස්තර තමයි යොදා ගන්නේ. වෛද්‍යවරියක් වන ෂමල්කා හා පමෝදා දියණියන් දෙදෙනා මගේ හිතේ ඇඳෙන දේවල් චිත්‍රයට නගනවා. අපි විසි දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මේ කර්යයට උරදී සිටිනවා. හැම දෙනාම නිර්මාංෂිකයි. අපිට මේ කාර්යය පැවරිලා තියෙන්නේ පෙර කළ පිනක් නිසයි. එසේ නම් අපි අද ඒ සඳහා කැපකිරීම් කරන්න ඕන.

වෙනදා උඩුවියනේ සියලු වැඩකටයුතු නිවසේදී සිදුකර අවසන් කරන සාගරිකා තිරිමාන්න එය ශ්‍රී දළදා මාලිගාවට රැගෙන එන්නේ පෙරහර අවසන් වීමට දින පහක් තිබියදීය. එහෙත් කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ රටේ ඇතිවූ තත්ත්වය නිසා උඩු වියනේ අවසන් වැඩකටයුතු නිම කරන්නට ඇය දළදා මාලිගාවට පැමිණ ඇත්තේ පෙරහර මංගල්‍යය ආරම්භ වීමටත් පෙරය.

ගෙදරදී උඩුවියනේ වැඩ කරනකොට වන්දනා කරන්න මිනිස්සු එනවා. වියනට ඇණයක් හරි ගහන්න බැතිමත්තු උත්සාහ කරනවා. කොරෝනා වෛරසය තාමත් රටේ තියෙන නිසා ඒක භයානකයි. මේ නිසා නිලමේතුමත් ඉල්ලීමක් කළා දළදා මාලිගාවේදී අවසන් වැඩ කරන්න කියලා. අපි 20 දෙනෙක් විතර ඇවිත් දැන් මේ වැඩේ කරනවා. හතරවන රන්දෝලි පෙරහර දවසේ උදේ උඩුවියනේ වැඩ අවසන් කරලා කාරියකරවන කෝරාලට බාරදෙනවා. අපි හැම වෙලාවෙම උඩුවියන් දෙකක් හදලා තියා ගන්නවා. මොකද සුළු හෝ අත්වැරදීමක් නිසා උඩුවියනට හානියක් වුණොත් ඒ වෙනුවට පාවිච්චි කරන්න තවත් එකක් තිබිය යුතුයි. ගිය අවුරුද්දේ අපි හදපු උඩුවියන පිටතට ගන්නකොට කොතට සුළු හානියක් වුණා. ඒ වෙලාවේ අපි අමතරව සකස්කර තිබූ උඩුවියන තමයි පෙරහර මංගල්‍යයට යොදා ගත්තේ...

මහනුවර දළදා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තිරාජයා මත තැන්පත්කර තිබෙන රන්සිවි ගෙයෙහි ආසනය සකස් කරන්නේද ඇය විසිනි. එසේම සිව්වන රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කරවන හස්ති රාජයාගේ හා දෑලේ ඇතුන්ගේ ඇඳුම් සෑම වසකරම පූජා කරන්නේද ඇයයි. මේ පාර මම මංගල හස්තිරාජයාගේ ඇඳුමට යොදා ගත්තේ සිංහ රූපයක්. මේ රටේ බුදු දහම ආරක්ෂා වෙන්නේ රට එක්සෙස්ත් වුණොත් විතරයි. මේක ජාතික අවශ්‍යතාවක් මිස ජාතිවාදී අවශ්‍යතාවක් නොවෙයි. අද මේ රට ඒ තැනට ගමන් කරමින් තිබෙනවා. ඒක සංකේතවත් කරන්න මම කරඬුව වැඩම කරවන මංගල හස්තියාගේ ඇඳුමට කේසර සිංහයෙක්ගේ රුව ඇතුළත් කළා.

මේ මහ උතුම් පුණ්‍යකර්මයට දායක වීමේ වාසනාව ලද පුණ්‍යවන්තිය වන සාගරිකාගේ සැමියා මහේන් ප්‍රියන්ත කුරුප්පුආරච්චිය. මේ සියලු කටයුතු සඳහා ඉටු කිරීම සඳහා ඔහු ඇයට යෝධ ශක්තියක් වී තිබේ. දියණිය සචිනි කුරුප්පුආරච්චි වෘත්තියෙන් වෛද්‍යවරියකි. පුතා කිරුළු තිවංක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකි. ව්‍යාපාර සියල්ල බදු දී මේ අඹුසැමි යුවළ දැන් සෑම මොහොතක්ම වෙන්කර තිබෙන්නේ පින් රැස් කිරීමටය. මතු දිනක ඔවුන් දෙදෙනාගේම අරමුණ ගිහිගෙය හැරයාමය.

ඡායාරූපය - රුවන් මීගම්මන

 

Comments