ඔබේ මනාපය බුද්ධිමත්ව දමන්න! | සිළුමිණ

ඔබේ මනාපය බුද්ධිමත්ව දමන්න!

වත් මහ මැති­ව­ර­ණ­යක් හෙටින් ඇර­ඹෙන සතියේ බදා­දාට යෙදී තිබේ. එම මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වී සිටින හැම අපේ­ක්ෂ­ක­ය­කු­ටම තම තමන්ගේ ජය­ග්‍ර­හ­ණය ගැන ඇත්තේ උණු­සුම් බලා­පො­රො­ත්තු­වකි. එසේම ඔවුන් හැම දෙනෙ­කුම දිස්ත්‍රික් සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය යටතේ තරග කරන බැවින් එම අපේ­ක්ෂ­ක­යන්ට මුහුණ පෑමට සිදුවී ඇති බර­ප­ත­ළම තර­ගය ඇත්තේ තම­න්ගේම පක්ෂයේ සහෝ­දර අපෙ­ක්ෂ­ක­යන් සමඟ ය.

ඒ අනුව ඔවුන් හැම දෙනෙ­කුම බලා­පො­රොත්තු වන්නේ තම­න්ගේම පක්ෂයේ සහෝ­දර අපේ­ක්ෂ­ක­යාට වඩා ඉහ­ළින් මනාප රැස් කර­ගෙන මැති සබ­යට තේරී පත්වී­මය. තම­න්ගේම පක්ෂයේ සහෝ­දර අපේ­ක්ෂ­ක­යන් අබි­බවා යෑම සඳහා ඔවුන් නොක­රන දෙයක් නැති තරම්ය. එය වත්මන් මනාප ඡන්ද ක්‍රමයේ ඇති අනිටු ප්‍රති­ඵ­ල­යකි. යමක් පිළි­බඳ අප­ක්ෂ­පා­තීව සහ විචාර බුද්ධි­යෙන් සිතී­මට තරම් මන­සක් ඇති අපේ­ක්ෂ­ක­ය­කුට එහි තිබෙන වැරැද්ද ගැන යම් අව­බෝ­ධ­යක් තිබිය හැකිය. එසේ වුවද වත්මන් මනාප ඡන්ද ක්‍රමයේ ඇති වැරැද්ද නිසා ඔවුන්ට ද සිදුවී ඇත්තේ එම ජරා­ජීර්ණ ඡන්ද ක්‍රමයේ ස්වභා­ව­යට අනු­ගත වීම­ටය. ඒ අනුව තම­න්ගේම පක්ෂයේ සහෝ­දර අපේ­ක්ෂ­ක­යන්ට එරෙ­හිව අප­හාස, උප­හාස කිරී­ම­ටත් යටින් අංචි ඇදී­ම­ටත් පට්ට­පල් බොරු­බේ­ගල් දෙසා බාමින් චරිත ඝාත­නය කිරී­ම­ටත් ඔවුන්ට සිදුවී තිබේ.

එවන් තත්ත්ව­යක් යටතේ ඔවුන් හැම දෙනෙකු විසින්ම පුන පුනා කියන්නේ තම පක්ෂයේ දිස්ත්‍රික් අපේ­ක්ෂක කණ්ඩා­යමේ සිටින උගතා, බුද්ධි­මතා, මානව හිත­වා­දියා සහ දිළිඳු ජන­තා­වගේ ජීවන මට්ටම ඉහළ දැමී­මට තරම් හැකි­යා­වක් ඇති ක්‍රියා­ශීලී අපේ­ක්ෂ­කයා තමන් බවය. එම­ගින් ඔහු නිර­තු­රුව උත්සාහ කරන්නේ එකම පක්ෂ ලාංඡ­න­යෙන් තරග කරන තම සහෝ­දර අපේ­ක්ෂ­ක­යන් යට­පත් කර තමන් පම­ණක් ඉස්මතු වීම­ටය. ඉහත කී තත්ත්වය පව­තින්නේ දේශ­පා­ලන පක්ෂ අපේ­ක්ෂ­ක­යන් අතර පම­ණක් නොවේ. ස්වාධීන කණ්ඩා­යම් ඇතුළු සිය­ලුම දේශ­පා­ලන පක්ෂ­ව­ලින් තරග කරන හැම අපේ­ක්ෂ­ක­ය­කු­ගේම බලා­පො­රො­ත්තුව සහ ක්‍රියා­කා­රී­ත්වය ඊට සමා­නය.

සත්‍යය සහ යථා­ර්ථය යට­පත් වී අස­ත්‍යය සහ මායාව ඉස්මතු වී ඇති වර්ත­මාන ඡන්ද සටනේ තීර­කයා වන ඡන්ද දාය­කයා ද මෙහිදී දැඩි අප­හ­සු­තා­ව­ය­කට පත්වන්නේ නිරා­යා­ස­යෙනි. එසේ වන්නේ ඇත්ත කතා කරන්නේ කවු­රු­න්දැයි සිතා ගැනී­මට පවා නොහැ­කි­වය. එම කාර්යය කොත­රම් අසීරු වුවද තමන්ගේ තීර­ණය නොව­ළහා ප්‍රකා­ශ­යට පත්කි­රීම බුද්ධි­මත් ඡන්ද දාය­ක­යන් සතු වග­කී­මකි. එහෙ­යින් ඡන්ද මධ්‍ය­ස්ථා­න­යේදී තමන් අතට ලැබෙන ඡන්ද පත්‍රි­කාව පිරී යන ලෙස කති­ර­යක් ලකුණු කර එය ඡන්ද පෙට්ටි­යට දැමී­මට ඔහුට නොපු­ළු­වන. මන්ද එය තමන් සතු පුර­වැසි අයි­ති­යක් තමන් විසින්ම අව­ත­ක්සේ­රු­වට ලක්කර ගැනී­මක් වන බැවිනි. එහෙ­යින් කොප­මණ අසීරු කාර්ත­ව්‍ය­යක් වුවද ඔහු එම වග­කීම ඉටු­කළ යුතුය.

අද ඡන්ද­යට ඉදි­රි­පත්වී සිටින බොහෝ­ම­යක් අපේ­ක්ෂ­ක­යන්ගේ සුලබ තර්ක­යක් වී ඇත්තේ උග­තුන් සහ බුද්ධි­ම­තුන් පාර්ලි­මේ­න්තු­වට යැවීම අත්‍ය­වශ්‍ය කට­යු­ත්තක් බවය. උග­ත්ක­මක්, බුද්ධි­යත් ඇති කිසි­වකු හොර­ක­මට හෝ අසා­ධා­රණ ක්‍රියා­වන්ට නොපෙ­ල­ඹෙ­තැයි යන්න ඔවුන්ගේ තර්ක­යයි. එහෙත් මෙර­ටට නිද­හස ලැබුණු දා සිට මේ දක්වා වූ කාලය තුළ නොයෙ­කුත් අසා­ධා­ර­ණ­කම් කර­මින් මහ­ජන මුදල් මිලි­යන හෝ බිලි­යන ගණ­නින් ගසා කා ඇත්තේ නූග­තුන් හා අඥා­න­යන් පම­ණ­ක්ම­දැයි මඳක් සිතා බැලිය යුතුය. මෙහිදී අපට එක­හෙ­ළාම පෙනී යන පොදු සාධ­ක­යක් වන්නේ උග­තුන් හා බුද්ධි­ම­තුන් තමන්ගේ බුද්ධිය මෙහෙ­යවා මහ­ජන මුදල් බිලි­යන ගණ­නින් යටි­මඩි ගසා ඇති බවයි. කපටි ශූර බුද්ධි­යක් ඇති බොහෝ දෙනෙ­කුට තමන් විසින් සිදු කරන ලද හොර­කම් සහ අක්‍ර­මි­කතා බුද්ධිය මෙහෙ­යවා යට­පත් කළ හැකිය. අනෙක් අතට උග­තුන් වර­දට නොපෙල­ඹෙන බවට සමා­ජයේ මුල් බැස­ගෙන ඇති මත­යෙන් ද ඔවුන්ට යම් වාසි­යක් සැලසී තිබේ. එහෙ­යින් යම් පුද්ග­ල­යෙකු උග­තෙකු හෝ බුද්ධි­ම­තකු වූ පම­ණින් ඔහුගේ අවං­ක­කම ගැනත් ශුද්ධ­ව­න්ත­කම ගැනත් කිසි­වෙ­කුට පූර්ව නිග­ම­න­ය­කට එළ­ඹී­මට නොහැ­කිය.

අනෙක් අතට කීර්ති­මත් දේශ­පා­ල­න­ඥ­යන් වැඩි පිරි­සක් සිටින ප්‍රසිද්ධ පර­ම්ප­රා­වක වුවද කිසිම වැද­ගැ­ම්ම­කට නැති අප­ත­යන් සිටිය හැකිය. තමන් මෙරට කීර්ති­මත් දේශ­පා­ල­න­ඥ­ය­කුගේ පර­පු­රෙන් පැව­තෙ­න්නෙකු ලෙසට පාර­ම්බාන ඇතැ­මුන් බොහෝ විට සිදු­කර තිබෙන අම­න­කම් දෙස බලන විට ඒ බව සිතා­ගත හැකිය. එසේම මීට වසර කීප­ය­කට පෙර ඉතාම ක්‍රියා­ශීලී සහ ජන­හි­ත­කාමී දේශ­පා­ල­න­ඥ­ය­කුට පවා වය­සට යන විට විකා­ර­රූපී ගති පැව­තුම් ඇති­වීම ද බොහෝ­විට සිදු­ව­න්නකි. එවැනි දේශ­පා­ල­න­ඥ­යෙ­කුගේ අතීත ක්‍රියා­කා­ර­කම් කොත­රම් හර­වත් සහ විශිෂ්ට තත්ත්ව­යක පැව­තු­ණද ඔහුගේ වත්මන් ක්‍රියා­කා­රී­ත්වය දුර්වල නම් එවැ­න්නෙ­කු­ගෙන් වර්ත­මාන සමා­ජ­යට ඇති ඵලය කුමක්ද? මහ මැති­ව­ර­ණ­යක් හෝ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් වැනි තීර­ණා­ත්මක ඡන්ද විම­සී­ම­කදී ඡන්ද­දා­ය­ක­යන් කට­යුතු කළ යුත්තේ අති­ශය බුද්ධි­ගෝ­චර අයු­රිනි. මන්ද එය රටේ අනා­ග­තය තීන්දු කෙරෙන අති­ශය තීර­ණා­ත්මක අව­ස්ථා­වක් වන බැවිනි. එවැනි වැද­ගත් අව­ස්ථා­ව­කදී ඡන්ද දාය­කයා තම තීන්දුව ප්‍රකාශ කළ යුත්තේ එක පැත්තක් පම­ණක් නොව සිය­ලුම පැති­වල ස්වභා­වය ගැන ද දැඩි ලෙස අව­ධා­නය යොමු කර­ව­මිනි.

යමකු කී පලි­යට හෝ තමන්ගේ කනට ඇසුණු පලි­යට හෝ ඡන්ද­දා­ය­ක­යන් හදිසි තීර­ණ­ව­ලට එළැ­ඹී­මද බුද්ධි­ගෝ­චර නොවේ. ඊට හේතුව වන්නේ ඡන්ද­දා­ය­ක­යන් තීර­ණා­ත්මක ඡන්ද විම­සී­ම­කදී වැඩි­දුර නොසොයා නොබලා වැරදි තීන්දු­වක් ගනු ලැබු­ව­හොත් එම­ඟින් රටේ මතු බිහි­වන පර­පුර පවා අව­දා­න­ම­කට ලක්වී­මට ඉඩ ඇති බැවිනි. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාල­න­යක් ඇති රටක ඡන්දය යනු මහ­ජ­න­තාව සතු වැද­ගත්ම අයි­ති­යකි. එහෙ­යින් එම අයි­තිය ඉතා බුද්ධි­මත්ව ක්‍රියා­ත්මක කළ යුතුය. අනෙක් අතට තමන් සතු එම වටි­නා­කම අයි­තිය ක්‍රියා­ත්මක කිරී­මට ඡන්ද­දා­ය­ක­යාට ඉඩ ලැබෙන්නේ ද වසර තුන­කට, හත­ර­කට හෝ පහ­කට එක් වතා­වකි. එහෙ­යින් වසර ගණ­නා­ව­කට පසු තමන්ට හිමි­වන එම අයි­තිය තව­කෙ­කුට අප­හ­ර­ණය කිරී­මට ද කිසිදු ඡන්ද දාය­ක­ය­කුට ඉඩක් තැබිය යුතු නොවේ.

ඒ අනුව අප හැම දෙනෙකු විසින්ම අපගේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරී­මේදී මුල් තැන දිය යුත්තේ මුද­ලට, බල­යට හෝ ප්‍රසි­ද්ධි­යට නොව සැබෑ මිනි­සුන් හටය. ඔවුන් සියලු දෙනාම වැඩ කරන ජන­තා­වගේ දාඩිය සුවඳ හඳු­නන, මහ පොළොව මත දෙප­යින් නැඟී සිටින හෝ නැඟී සිටී­මට වෙර­ද­රන ක්‍රියා­ශී­ලීන් විය යුතුය. එසේ නොමැ­තිව ධන­යට, බල­යට හෝ පෙනු­මට වහල් වී නිදි­ම­ත­යන් මැති සබ­යට යැවී­මෙන් සිදු­වන්නේ අප විසින් අපේම ජීවිත උක­සට තැබී­මය. නැත­හොත් අප විසින්ම අපේ මිනී වළ කපා ගැනී­මට සමාන සිද්ධි­යකි. එහෙ­යින් අප කුමන දේශ­පා­ලන පක්ෂ­ය­කට හෝ ස්වාධීන කණ්ඩා­ය­ම­කට ඡන්දය ප්‍රකාශ කළ ද එය කළ යුතු වන්නේ ඒ ගැන දෙතු­න්ව­රක් සිතා බැලී­මෙන් පසු­වය.

 

Comments