ඇය අම්මා නම් වූවාය ! | සිළුමිණ

ඇය අම්මා නම් වූවාය !

ව හැවි­රිදි එස්. කිෂාණු සෙල්ලම් වලස් පැට­වකු තුරුලු කර­ගෙන රාගම ශික්ෂණ රෝහලේ 23 වැනි වාට්ටුවේ ඇගේ මව සමඟ සිටින්නේ දින කීප­ය­කින් නිව­සට යෑමේ සිහි­නය දකි­මිනි. රෝහ­ලට පැමි­ණෙන විට කහ පැහැ ගැන්වී, මිලාන වී තිබූ ඇගේ දෙනෙත් දැන් දීප්ති­යෙන් දැල්වෙයි. ඈ නව පණක් ලබා ජීව­යෙන් පිබිදී සිටියි. මෙරට වෛද්‍ය ඉති­හා­සයේ නව පිටු­වක් පෙරළූ චරි­ත­යක් බව ඈ තව­මත් නොද­න්නවා විය හැකිය. නැත­හොත් ඇයට එහි කිසිදු වගක් නැතිවා විය හැකි ය. නමුත් ඈ, ප්‍රථම වතා­වට ළමා අක්මා බද්ධ කිරීමේ ශල්‍ය­ක­ර්ම­යට මුහු­ණ­දුන් දැරිය ලෙස වාර්තා­ගත වී අව­සාන ය. එප­ම­ණක් නොවේ. රාගම රෝහලේ අක්මා බද්ධ ශල්‍ය ඒක­කය විසින් සිදු­කළ 50 වැනි සැත්කම ලෙස සට­හන් වී තිබෙන්නේ ද එස්. කිෂා­ණුගේ සැත්ක­මය. මේ අනුව කිෂා­ණුගේ අක්මා බද්ධය ලාංකේය වෛද්‍ය­ව­රුන්ගේ වැද­ගත් සන්ධි­ස්ථා­න­යක් ලෙස සට­හන් වී ඇති­වාට සැක නැත.

යාප­නය මුලායි ප්‍රදේ­ශයේ පදිංචි එස්‍. කිෂාණු කුඩා වියේ පටන් අක්මාව ආශ්‍රිත රෝග­ය­කින් පෙළුණි. එය දුර්ලභ ජාන­මය තත්ත්ව­යක් හේතු­වෙන් ඇතිවූ බව වෛද්‍ය­ව­රුන්ගේ නිර්දේ­ශය විය. ඈ කෙමෙන් කෙමෙන් වය­සින් වැඩෙන විට ඇගේ අක්මා රෝගය ද දරුණු ලෙස වර්ධ­නය විය. ඇගේ අක්මාවේ ක්‍රියා­කා­රි­ත්වය කෙමෙන් කෙමෙන් දුර්වල විය. වස­රක පමණ කාල‍යක් දැඩි සත්කාර ඒක­ක­වල ප්‍රති­කාර ලබ­න්නට සිදු­වූයේ එම නිසා ය. ඇගේ ජීවි­තය බේරා ගැනී­මට නම් අක්මා­වක් බද්ධ කළ යුතු බවට විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් විසින් තීර­ණය කෙ‍රිණි.

එහෙත් ලංකාවේ කුඩා දරු­වන්ට මෙතෙක් අක්මා බද්ධ කිරී­මක් සිදුවී තිබුණේ නැත. රාගම වෛද්‍ය පීඨය (කැල­ණිය විශ්ව විද්‍යා­ලය) සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) ඒකා­බද්ධ වී 2011 දී ආරම්භ කළ අක්මා බද්ධ ශල්‍ය ‍ඒකකය විසින් සිදු කර තිබුණේ වැඩි­හි­ටි­යන්ට අක්මා බද්ධ කිරීම පමණි. එබැ­වින් කිෂාණු දැරි­යගේ ජීවි­තය බේරා ගැනී­මට තිබූ එකම විස­ඳුම වූයේ ඇයව විදේ­ශීය රට­කට රැගෙන ගොස් අක්මාව බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදු කිරීම පමණි. එහෙත් කොන්ත්‍රා­ත්ක­රු­වන් යටතේ වැඩ කර­මින් දින­කට රුපි­යල් 1500 ක් උපයා ගන්නා කිෂා­ණුගේ පියාට දිය­ණිය රැගෙන පිට­ර­ට­කට යෑම සිහි­න­යක්ම විය‍. දුෂ්කර ගම්මා­න­යක දරි­ද්‍ර­තාව කර පින්නා ගෙන දුෂ්කර ජීවි­ත­යක් ගත කරන ඔවුන්ට සිදු­වූයේ දිනෙන් දින මර­ණය කරා ළඟා වන සිය දිය­ණිය දෙස බලා­ගෙන සුසුම් හෙළී­මට පමණි.

යාප­නය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කේ. අරු­ල්මෝලි සහ වී. තුෂි­ය­න්තන් නව හැවි­රිදි කිෂාණු දැරිය රාගම රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒක­ක­යට යොමු කළේ ඔවුන් දෙපළ අක්මා බද්ධ කිරීම සම්බ­න්ධ­යෙන් මෙම ඒක­ක­යෙන් පුහු­ණු­වක් ලබා තිබූ නිසා ය. ඒ මීට මාස 2 කට පෙර­දීය. යාප­නය ශික්ෂණ රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහ­ලට පැමිණි කුඩා කිෂා­ණුව මහා­චාර්ය රොහාන් සිරි­ව­ර්ධන පරීක්ෂා කළේ ය. ඉන් අන­තු­රුව ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනා­න්දුට ඇයව පරීක්ෂා කිරී­මට භාර කෙරිණි. සිරෝ­සිස් රෝග­යෙන් පීඩා විඳින කුඩා කිෂා­ණුගේ දෑස් කහ පැහැ ගැන්වී තිබුණි. ඇයට ඇති වී තිබූ කෑම අරු­චිය සමඟ පෝෂණ ඌනතා ද මතු වී තිබිණි. අක්මාවේ සහ රුධිර සංස­රණ පද්ධ­තියේ සංකූ­ලතා රැසක් ඇතිවී තිබිණි. ඈ ඉතා අසාධ්‍ය මට්ටමේ පසු­වන රෝගී දැරි­යක් බව වෛද්‍ය මෙරන්ති ප්‍රනා­න්දුට අව­බෝධ විය. “කිසිම සැක­යක් නැහැ. අක්මාව බද්ධ නොක­ළොත් ඇය මිය යනවා” වෛද්‍ය­ව­රිය නිග­ම­නය කළා ය.

රාගම අක්මා බද්ධ ශල්‍ය ඒක­කයේ ප්‍රධානී මහා­චාර්ය රොහාන් සිරි­ව­ර්ධන කිෂා­ණුට අක්මා බද්ධ කිරීමේ සැත්කම සිදු කිරී­මට තීර­ණය කළේ ය. එහෙත් මෙතෙක් ලංකාවේ කුඩා දරු­වන්ට අක්මා බද්ධ කිරීමේ සැත්කම් කර තිබුණේ නැත. මෙය ඔහුට අලුත් අත්දැ­කී­මක් පම­ණක් නොව විශාල අභි­යෝ­ග­යක් ද විය. ප්‍රථ­ම­යෙන් ම කළ යුතුව තිබුණේ කිෂාණු දැරි­යට ගැළ­පෙන අක්මා­වක් සොයා ගැනී­මයි. කිෂා­ණුගේ මව වන 38 හැවි­රිදි වියේ පසු­වන රසිකා, ඇගේ අක්මාව පරි­ත්‍යාග කර දිය­ණි­යගේ ජීවි­තය බේරා ගැනී­මට කැමැත්ත පළ කළේ දෙව­රක් නොසි­තා­මය. ලහි ලහියේ රසි­කාගේ අක්මාව, ඇගේ රුධිර ගැළ­පුම වැනි පරී­ක්ෂණ සිදු කරනු ලැබීය. ඒ සියල්ල හොඳින් ගැළ­පිණි. නමුත් යම් වැර­දී­මක් වුව­හොත් වැඩි ආර­ක්ෂා­වක් සඳහා, වික­ල්ප­යක් වශ­යෙන් කිෂා­ණුගේ මව වන රසි­කාගේ වැඩි­ම­හල් සොයු­රිය සුමි­ත්‍රාගේ අක්මාව ගැළ­පේ­දැයි පරී­ක්ෂ­ණ­යට භාජ­නය විය. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජන­රාල්, වෛද්‍ය අනිල් ජාසිං­හගේ අනු­මැ­තිය ද හිමි විය.

“ඇත්ත­ටම මේක හමුදා මෙහෙ­යු­මක් වගේ වැඩක්. දැරි­යගේ ජීවි­තය බේරා ගන්නත් ඕනෑ. අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බල­න්නත් ඕනෑ. ඒ දෙදෙ­නා­ගේම සෞඛ්‍ය තත්ත්වය විටින් විට පරීක්ෂා කරන්න ඕනෑ. මේ සැත්ක­මට දවස් 2 කට ඉස්සෙල්ලා අපි ඒ සඳහා අවශ්‍ය උප­ක­රණ, මෙහෙ­යුම් යන්ත්‍ර, ශල්‍යා­ගා­රයේ ලයිට් හැම­දේම පරීක්ෂා කරලා සූදා­නම් කර ගත්තා” මහා­චාර්ය රොහාන් සිරි­ව­ර්ධන සඳ­හන් කළේය.

මේ අත­ර­වා­ර­යේදී කිෂාණු දැරිය වෙනු­වෙන් අර­මු­ද­ලක් පිහි­ටු­වනු ලැබුවේ මෙම දැරි­යට අවශ්‍ය ඇඳුම් පැල­ඳුම්, ඖෂධ, රසා­ය­නා­ගාර පරී­ක්ෂණ වැනි කට­යුතු සඳහා මුදල් අවශ්‍ය වන බැවිනි. ඈ වෙනු­වෙන් රු. ලක්ෂ 6 ක පමණ මුද­ලක් එකතු විය. සැත­පුම් 200 ගණ­න­කට එහා­යින් සිටින කිෂා­ණුගේ පියා සහ 15 හැවි­රිදි සොහො­යු­රාට එහා මෙහා යෑමට ඇති දුෂ්ක­ර­තාව නිසාම රාගම රෝහ­ලට නුදු­රින් කුඩා නවා­තැ­නක් ද පිළි­යෙල කෙරිණි. මන්ද රාගම ප්‍රදේ­ශයේ ඔවුන්ට ඔවුන්ගේ කියා කිසි­වකු නොමැති බැවිනි.

2020 ජූලි 14 වැනිදා උදා විය. ලංකාවේ ප්‍රථම වතා­වට සිදු කෙරෙන ළමා අක්මා බද්ධ කිරීමේ මෙහෙ­යුම ආරම්භ විය. මේ සඳහා කණ්ඩා­යම් 3 ක් දායක වූහ. ශල්‍ය වෛද්‍ය කණ්ඩා­යමේ ප්‍රධා­නියා වූයේ මහා­චාර්ය රොහාන් සිරි­ව­ර්ධ­නය.

ඔහු සිය කණ්ඩා­ය­මට බ්‍රිතා­න්‍යයේ අක්මා බද්ධ කිරීම පිළි­බ­ඳව විශේ­ෂඥ පුහු­ණුව ලබා මෑත­කදී මෙර­ටට පැමිණි විශේ­ෂඥ වෛද්‍ය සුචින්ත තිල­ක­ර­ත්නව ද සම්බන්ධ කර ගත්තේ ය‍. ඊට අම­ත­රව අරුණ වීර­සූ­රිය, රුවන් දිසා­නා­යක, ප්‍රභාත් කුමා­ර­සිංහ, බුද්ධිකා දස­නා­යක, චානක ඒක­නා­යක ඇතුළු වෛද්‍ය­වරු පිරි­සක් මහා­චාර්ය රොහාන් සිරි­ව­ර්ධ­නට සහය වීම සඳහා එක් වී සිටි­යහ. ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය කණ්ඩා­යමේ ප්‍රමු­ඛයා වූයේ මෙරන්ති ප්‍රනාන්දු වෛද්‍ය­ව­රි­යයි. සැත්ක­මට භාජ­නය වන කිෂාණු දිය­ණි­ය­ගේත් රසිකා මව­ගේත් තීර­ණා­ත්මක වග­කීම පැවරී තිබුණේ නිර්වි­න්දන වෛද්‍ය කණ්ඩා­ය­මට ය. එහි ප්‍රමු­ඛයා වූයේ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය භාග්‍ය ගුණ­ති­ල­කය. ඊට අම­ත­රව විකි­ර­ණ­වේ­දීන් සහ හෙද කාර්යය මණ්ඩ­ලය ද මෙයට දායක වූහ. සැත්ක­මට ගතවූ කාලය පැය 12 ක් විය.

“අව­ය­ව­යක් බද්ධ කිරීම කියන්නේ සංකීර්ණ ක්‍රියා­ව­ලි­යක්. අක්මා­වක් බද්ධ කිරී­මේදී අපි පරි­ත්‍යා­ග­ශී­ලි­යාගේ අක්මා­වෙන් 35% විත­රයි ලබා­ගන්නේ. මොකද අක්මාව කියන්නේ වැඩෙන ඉන්ද්‍රි­යක්. 35% ක් ගත්තාම පරි­ත්‍යා­ග­ශී­ලි­යාගේ අක්මාව වර්ධ­නය වෙලා සාමාන්‍ය තත්ත්ව­යට පත් වෙනවා. අපි ලබා­ගත්ත කොටස බද්ධ කළාම ඒ කෙනාගේ බද්ධ කළ කොටස වර්ධ­නය වෙලා සාමාන්‍ය තත්ත්ව­යට පත් වෙනවා. කිෂා­ණුගේ මවගේ අක්මා­වෙන් අපි 35% ක් අර­ගෙන තමයි කිෂා­ණුට බද්ධ කළේ” යනු­වෙන් පැහැ­දිලි කළේ අක්මාව හා අග්න්‍යා­ශය පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය රොහාන් සිරි­ව­ර්ධ­නය.

බද්ධ කිරීමේ සැත්ක­මක් අව­සාන වූ පසුව අව­යව පරි­ත්‍යාග කළ තැනැත්තා සහ බද්ධ කළ තැනැත්තා යන දෙදෙ­නාම රෝගීහු වෙති. මේ අනුව කිෂාණු සහ ඇගේ මව රසිකා යන දෙදෙ­නාම රෝගීහු වෙති. එහෙත් විෂ­බීජ අංශු මාත්‍ර­ය­ක­ට­වත් ඉඩක් නොතබා, කිසිදු අත­ප­සු­වී­මක් හෝ තත්ප­ර­යක පමා­වක ඉඩක් නොතබා විශේෂ රැක­ව­ර­ණය සැල­සිය යුත්තේ බද්ධ කළ රෝගි­යා­ටය.

කිෂා­ණුගේ සැත්කම අව­සාන වන­විට රාගම රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ඉඩ නොතිබූ හෙයින් ඇයව වත්තල හේමාස් රෝහලේ දැඩි සත්කාර ඒක­කය වෙත යැවිණි. කිෂාණු වත්තල හේමාස් රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ දින 7 ක් ප්‍රති­කාර ලැබූ අතර ඒ සඳහා වත්තල හේමාස් රෝහල සත­ය­ක්වත් ලබා­ගෙන නොති­බීම මෙහිදී විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතු ය.

ඉන් අන­තු­රුව රාගම ශික්ෂණ රෝහ­ලට රැගෙන ආ කිෂාණු දැරිය දැන් යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසු­වෙයි. විශේ­ෂඥ වෛද්‍ය රොහාන් සිරි­ව­ර්ධ­නගේ වාට්ටුවේ ප්‍රති­කාර ලැබූ කිෂා­ණුගේ මව මේ වන­විට සම්පූ­ර්ණ­යෙන් සුවය ලබා දිය­ණිය සමඟ 23 වැනි වාට්ටුවේ කල් ගෙවයි.

“මට අලුත් අක්මා­වක් සම­ඟම අලුත් ජීවි­ත­යක් ලබා­දුන් ඔබ සැමට ස්තුතියි. ඔබ මට ඉටු කළා මෙන් හොඳම දෙයක් ලෝක­යට සිදු කිරී­මට මම පොරොන්දු වෙමි. කරු­ණා­කර අනෙක් යාළු­ව­න්ටත් උදව් කරන්න‍. අපට ජීවත් වෙන්න තව එක අව­ස්ථා­වක් උදා­කර දෙන්න” යනු­වෙන් සුවය ලැබූ කිෂාණු දැරිය ප්‍රකාශ කළේ මේ වන­විට ජාන­මය ගැටලු හේතු­වෙන් ළමුන් තුළ ඇති­වන අක්මා සංකූ­ල­තා­ව­ලින් මිය යන තමා වැන්න­වුන් වෙනු­වෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වීම පිළි­බ­ඳව අනා­ව­ර­ණය කිරීම උදෙසා පසු­ගි­යදා මාධ්‍ය හමු­වක් පැවැ­ත්විණි. මෙවැනි සැත්ක­මක් ඉන්දි­යාවේ රෝහ­ලක සිදු කිරී­මට නම් රු. මිලි­යන 10 ක පමණ මුද­ලක් වැය වන බව පැව­සුවේ ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනා­න්දුය. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒක­කයේ වෛද්‍ය­ව­රුන් තුළ ශල්‍ය­කර්ම සිදු කිරීම සහ පසු ප්‍රති­කාර කිරීම පිළි­බ­ඳව ඇති විශේ­ෂඥ දැනුම හා අත්දැ­කීම් සම්බ­න්ධ­යෙන් දැඩි විශ්වා­ස­යක් පව­තින බවත් අවශ්‍ය යටි­තල පහ­සු­කම් සහ නවීන උප­ක­රණ සලසා දෙන්නේ නම් ඔවුන්ගේ කර්ත­ව්‍යයේ සාර්ථ­ක­ත්වය ළඟා කර ගත හැකි බවත් අක්මා බද්ධ කිරීමේ ඒක­කයේ වෛද්‍ය­වරු පැව­සූහ. අංග­ස­ම්පූර්ණ, දැනට වඩා පහ­සු­කම් සහි­තව ඒක­කය පුළුල් කරන්නේ නම් රටට සිදු කළ හැකි සේවය මීට වඩා වැඩි කර­ගත හැකි බව ද අව­ධා­ර­ණය කෙරිණි. රාගම ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ ශල්‍ය ඒක­කය ස්ථාපිත කිරී­මට 90 දශ­කයේ පටන් පුරෝ­ගාමී වූ අය අතර මහා­චාර්ය ජනක ද සිල්වා, මහා­චාර්ය කමීල් ඩීන් සහ රාගම රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානී මහා­චාර්ය රනිල් ප්‍රනාන්දු ඉදි­රි­යෙන් ම සිටිති. මෙම ඒක­කය 2011 දී ආරම්භ කළේ ඔවුන්ගේ අප්‍ර­ති­හත ධෛර්යයේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් බව මෙහි සට­හන් නොක­ළොත් ලොකු අඩු­පා­ඩු­වකි.

Comments