ආන්දෝලනයට ලක්වූ උප්පැන්නේ කතාව | සිළුමිණ

ආන්දෝලනයට ලක්වූ උප්පැන්නේ කතාව

ප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමේදී සිදුවන විවිධ දෝෂ නිසා එකී ලේඛන භාවිත කිරීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට ජනතාවට සිදුවේ. එකී සහතික සනාථ කිරීම සඳහා දිගින් දිගටම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සිදුවීම එවැනි එක් අසීරුතාවකි. කෙනෙකුට ජීවිතයේදී ලැබෙන පළමු සහතිකය ලෙස සැලකෙන උප්පැන්න සහතිකය ලබාගැනීමට අදාළ ආකෘති පත්‍රය නිසි උපදෙස් හා මඟපෙන්වීමක් නොමැතිව පිරවීමෙන් ජනතාව බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණදෙති. ඒ සියලු දෑ මඟ හරවාගෙන ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් සහතිකයක් ලබාදීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගත් උත්සාහය මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් දෝෂ දර්ශනයට ලක්කර තිබේ. මේ සම්බන්ධයෙන් මහජන යුතුකම් කේන්ද්‍රයේ මහ ලේකම් ජබුරේවෙල චන්ද්‍රරතන හිමියන් සහ එහි කැඳවුම්කරු වසන්ත අල්විස් යන අය ප්‍රබල මැදිහත් වීමක් සිදු කර තිබේ. මේ, එම පාර්ශ්වය හා රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී විතානගේ සමඟ කළ සාකච්ඡාවකින් සැකසූ ලිපියකි.

වර්ෂ 1864 දී පිහිටුවනු ලැබූ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මේ වනවිට වසර 156ක ඉතිහාසයකට උරුමකම් කියන්නකි. 1867 වසරේ සිට ජනතාවගේ සිවිල් අයිතීන් වූ විවාහ, උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ කටයුතු එයින් සිදු කෙරිණි.

අප මේ දක්වා පාවිච්චි කරන්නේ සාමාන්‍ය අත් අකුරින් ලියන ලද විවිධ රෙජිස්ට්‍රාර්වරුන් විසින් සකස් කළ උප්පැන්න සහතිකයකි. ඔවුන් විසින් උප්පැන්න සහතිකයේ පිටපත් තුනක් සකස් කරන අතර ඒවා එකවර සකස් නොකිරීම හේතුවෙන් යම් යම් අඩුපාඩු ඇතිවේ.

විශේෂයෙන් අත් අකුරුවල අපැහැදිලි භාවය, පද බෙදීම, නණලළ භේදය, වාසගම ඇතුළත් නොකිරීම, මව සහ පියාගේ නම නිවැරදිව ඇතුළත් නොවීම ආදී ගැටලු ඒ අතර වේ. එමෙන්ම මෙම ලේඛනය වංචනිකව කූඨ ලේඛන හැටියට සකස් කර විවිධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා අවස්ථා අප අනන්තවත් දැක ඇත.

2006 වසරේදී වත්මන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාව සිටි සමයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සමඟ රට පෙරට යා යුතු බවට වූ අදහස අනුව කැබිනට් මණ්ඩලය හරහා ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අයි.ටී.සී ආයතනය හා විදුලි සංදේශ නියෝජිත ආයතනය ස්ථාපිත කළේය. මෙම අයි.ටී.සී ආයතනයත් විදුලි සංදේශ නියාජිත ආයතනයත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ කර ඊ පොපියුලේෂන් වැඩසටහන ආරම්භ කෙරිණ.

ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අවැසි ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කටයුතු සිදු කර එමඟින් ජනගහනය පිළිබඳව රෙජිස්තරයක් සකස් කිරීම මූලික අරමුණ විය. මෙහි එක් අවශ්‍යතාවයක් වූයේ මේතාක් පැවති උප්පැන්නය වෙනුවට ඉන් එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමකින් යුතු අනන්‍යතා සහතිකයක් ජනතාවට ලබා දීමය.

මේ අනුව එවක අමාත්‍යවරයකු වූ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් නව තාක්ෂණය යටතේ උප්පැන්නය සකස් විය යුතු බවට වූ ගැසට් පත්‍රය නිකුත් කළේය. ඒ මොහොතේ පටන් මේ පිළිබඳව විවිධ සාකච්ඡා දිගින් දිගටම ඇති වූ බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී විතානගේ අප සමඟ පැවසීය.

පසුගිය රජයේ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය අජිත් පී. පෙරේරාගේ උපදෙස් අනුව ජාතික උප්පැන්නය ලෙස මෙහි නම වෙනස් කර ජනගත කිරීමට සැලසුම් සකස් කළේය. එහිදී එදා රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා යෝජනා කළ කරුණුවලට එහා ගිය තවත් කරුණු කාරණා අන්තරගත කෙරිණ. ජාතික උප්පැන්නය නමින් ජනතාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ මෙම නව උප්පැන්නයේ බොහෝ වෙනස්කම් සිදු කර ඇත. සිංහල භාෂාවෙන් කටයුතු කරන ජනතාවට සිංහල හා එහි ඉංග්‍රීසි පරිවර්තනයක් සහිතව, දෙමළ භාෂාවෙන් කටයුතු කරන දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවල ජනයාට දෙමළ භාෂාවෙන් හා එහි ඉංග්‍රීසි පරිවර්තනය සහිතවත් මෙම නව උප්පැන්නය සකස් කිරීමට සැලසුම් කෙරිණ.

මෙහි මව සහ පියාගේ සම්පූර්ණ නම සඳහන් වන අතර පෙර ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් තුන්සීයකගෙන් පමණ සහතික කළ තත්ත්වය මින් අහෝසි වේ. ඒ වෙනුවට පිළිගත් එක රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයකු විසින් සහතික කරයි.

උදාහරණයකට ගාල්ල දිස්ත්‍රික්කයේ උප්පැන්නයක් ගෙන බැලුවහොත් එහි විවිධ ප්‍රදේශවල උප්පැන්නයන් හී ඇත්තේ විවිධ අත්සන්ය. මෙය රට තුළ කටයුතු කිරීමේදී කෙසේ වෙතත් ජාත්‍යන්තරව සලකා බැලීමේදී ගැටලු සහගත තත්ත්වයකි. මෙනිසා අප ජාත්‍යන්තර මට්ටමට ගිය එක නිල අත්සනකින් යුතුව මෙම සතිකය නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ක්‍රමවේදය නිල වශයෙන් ස්ථාපිත වූ පසුව සෑම අයකුටම පුරවැසි අනන්‍යතා අංකයක්(Citizen number) හිමිවන අතර 2019 පසුව ඉපදුන සෑම අයකුටම මෙය ලබාදීමට බලාපොරොත්තු වේ.

මින් ඉදිරියට සියලු කටයුතුවලදී එනම් විභාගවලදී, බැංකු කටයුතුවලදී, ඡන්දය ලබාදීමේදී හා වෙන මොනයම් කටයුත්තකදී හෝ වේවා මෙම පුරවැසි අංකය(Citizen number) අවශ්‍ය වේ.

වයස අවුරුදු පහලොව පිරුණු පසු හැඳුනුම්පත ලබාගැනීමේදී මින් ඉදිරියට සඳහන් වන්නේ මෙම පුරවැසි අංකය(Citizen number)යි. පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී උප්පැන්නය අතට ගත් සැණින් මවුපියන් විවාහකද යන ප්‍රශ්නය ඉදිරියේ නැහැ හෝ ඉරක් සඳහන් වුවහොත් ඇය හෝ ඔහු අවජාතක දරුවකු කියන කාරණය ඉස්මතු වේ. එය මානුෂික කාරණයක් ලෙස සලකා ඒ පිළිබඳව නව උප්පැන්නයේ සඳහන් නොවේ. නමුත් එය ඔහුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් දත්ත ගොනුවේ සටහන් වේ.

මෙම නව උප්පැන්නය මඟින් ජාතිය වෙනස් කර ඇති බව විවිධ මාධ්‍ය විසින් වාර්තා කළ තිබුණද මෙහිදී එවැන්නක් සිදු වී නොමැත. සිදුවී ඇත්තේ ජාතිය යන්න වෙනුවට ජනවර්ගය යන්න ඇතුළත් කිරීම පමණි.

මින් ඉදිරියට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතික, ව්‍යාජ හැඳුනුම්පත්, ව්‍යාජ අධ්‍යාපන සහතික යොදා ගෙන කිසිවක් කළ නොහැකිය. කිව්.ආර් කේතය සටහන් කළ සැණින් ඔහු හෝ ඇය පිළිබඳ තොරතුරු ඉතා පහසුවෙන් ලබාගත හැකිය. ඒ අනුව ව්‍යාජ උප්පැන්නයක් ද? නැද්ද? යන්න පහසුවෙන් සොයාගත හැකිය.

මෙම නව උපැන්නයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ ක්ෂණික ප්‍රතිචාර කේතය ද, දිය සලකුණ තීරු කේතය(Barcode) සහ හොලෝ ග්‍රෑම් ස්ටිකරයක් අන්තර්ගත වේ. ඒ නිසා මෙය ඉතා ආරක්ෂිත ක්‍රමවේද අනුව සකස් කළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඩිජිටල් සහතිකයක් වුවත් කිසියම් පිරිසක් විසින් මෙය වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී විතානගේ මහතාගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කර ඇති බව කියන ප්‍රවෘත්තිය ඇසූ සැණින් ගරුතර මහා සංඝරත්නය සහ මාධ්‍ය සමඟ අප රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට ගොස් කරුණු විමසුවා. අපට වැටහුණේ මෙය ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයක් ලෙසයි. සමහර වෙබ් අඩවි රට ගිනි තියන්න උත්සාහ කළ බවයි අපට තේරුම් ගියේ. තවමත් මෙය සංශෝධනය වෙමින් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

ලිඛිතව යෝජනා තියෙනවා නම් අපිට දෙන්නත් කියලත් එතුමා පැවසුවා. ජන වර්ගය සඳහන් කොටුව වෙනස් විය යුතු බව අප පැවසූ පසු එය වෙනස් කළ හැකි බවත් ඒ සම්බන්ධව ලිඛිතව කරුණු දක්වන ලෙසත් පැවසුවා.” මෙරට පිළිගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වන නලින් ද සිල්වා සිය ‘කාලය’ බ්ලොග් අඩවියේ ‘උප්පැන්න සහතිකය සිංහලයන්ගේ මරණ සහතිකය නොවිය යුතුයි’ යන හිසින් යුතුව මෙසේ සඳහන් කර තිබුණි.

“බටහිරින් ලැබුණත් උප්පැන්න ආදී සහතික අපට ඕන විධියට සකස්කර ගන්න පුළුවන් වෙන්න ඕන. අද ඔය කතා කරන නව උප්පැන්න සහතිකය බටහිරයන්ගෙ අවශ්‍යතාවට පහුගිය ‘යහපාලන’ ආණ්ඩුව සකස් කළ එකක්. එය සකස් කර තියෙන්නෙ සිංහලයන්ට මෙරට ඇති සුවිශේෂත්වය නැති කරන්න. කලින් තිබුණු උප්පැන්න සහතිකයෙත් ඒ සුවිශේෂත්වය නැති කර තිබුණා. එහි සිංහල දෙමළ සියල්ලන් ජාතීන් වෙලා තිබුණා. නව උප්පැන්නෙහි සියල්ලන් ජනවර්ග වෙලා. මේ සියලු උප්පැන්න සහතික සිංහලයන්ගේ මරණ සහතික වෙලා...”

Comments