ක්‍රිස්මස් දූපතේ ශ්‍රී ලාංකික පවුල වෙනු­වෙන් ඩොලර් මිලි­යන 10ක් වැය කරලා ඔස්ට්‍රේ­ලි­යාව නහ­යෙන් අඬයි | සිළුමිණ

ක්‍රිස්මස් දූපතේ ශ්‍රී ලාංකික පවුල වෙනු­වෙන් ඩොලර් මිලි­යන 10ක් වැය කරලා ඔස්ට්‍රේ­ලි­යාව නහ­යෙන් අඬයි

ඔස්ට්‍රේ­ලි­යාවේ සිටි­මින් එරට නීත්‍ය­නු­කූල පුර­වැ­සි­භා­වය ලබා ගැනී­මට සටන් වදින ශ්‍රී ලාංකික පවුල තව­දු­ර­ටත් ඔස්ට්‍රේ­ලි­යානු බදු ගෙව­න්නන්ගේ මුදල් අපතේ නොව­ය­මින් යළි සිය­රට බලා යා යුතුව ඇතැයි එරට නිවාස අමාත්‍ය පීටර් ඩට්න් පසු­ගි­යදා පවසා සිටි­යේය. ඔහු මේ බව පවසා සිටියේ එරට සිඩිනි රේඩියෝ ගුවන්විදුලි සේවය සමඟ පැවති සාක­ච්ඡා­වක් අත­ර­තු­ර­දීය. 

එහිදී අමා­ත්‍ය­ව­රයා පවසා ඇත්තේ මේ ශ්‍රී ලාංකික පවුල ඔස්ට්‍රේ­ලි­යාවේ පුර­වැ­සි­භා­වය ලබා ගැනීමේ උත්සාහය අත්නො­හ­රින බැවින් මේ දක්වා ඔවුන් වෙනු­වෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 10ක් පමණ වැය කිරී­මට ඔස්ට්‍රේ­ලි­යානු රජ­යට සිදුවී ඇති බවයි. මේ මුදල් එරට පුර­වැ­සි­යන්ගෙ බදු සල්ලි බව සිහි­පත් කර­දුන් අමා­ත්‍ය­ව­රයා පවසා සිටියේ මේ මුදල් සැබ­වින්ම වැය විය යුත්තේ එරට බදු ගෙවන ජන­තා­වගේ සුභ සාධ­න­යට බවය. 

දැනට මේ ශ්‍රී ලාංකික පවුල වසර කිහි­ප­යක සිට ඔස්ට්‍රේ­ලි­යාව අසල පිහිටා ඇති ක්‍රිස්මස් දූපතේ රඳවා ඇති අතර ඔවුන්ගේ සියලු සුභ සාධ­නය වෙනු­වෙන් එරට රජය මුදල් වැය­ක­ර­මින් සිටී. 

පසුගියදා උදරයේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ ප්‍රියා මුරුගප්පන් පර්ත් රෝහලෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බලකාය කටයුතු කර තිබේ. එසේ කිරීම⁣ට හේතුව ලෙස එරට රජය පවසා ඇත්තේ මේ පවුල වෙනුවෙන් දිනකට අමෙරිකානු ඩොලර් 20,000ක මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බවයි. එහෙත් ඕස්ට්‍රේලියානු සරණාගත කවුන්සලයේ මාධ්‍ය ප්‍රකාශක අරුණ් මයිල්වාගනම් පවසා ඇත්තේ ඇයගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය CT ස්කෑන් යන්ත්‍ර ක්‍රිස්මස් දූපතේ නොමැති බැවින් ඇයව මෙසේ රෝහල් ගත කර ඇති බවයි. එහෙත් පහළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමණ ඇයව රෝහලෙන් ඉවත් කර ඇති බවයි.

නඩාස් සහ ප්‍රියා මුරු­ග­ප්පන් නම් වන මේ ද්‍රවිඩ ශ්‍රී ලාංකික යුවළ ඔස්ට්‍රේ­ලි­යා­වට පැමි­ණෙන්නේ අවස්ථා දෙක­ක­දීය. ඒ සර­ණා­ග­ත­යන් ලෙස බෝට්ටු මගිනි. පසුව ඔවුන් ඔස්ට්‍රේ­ලි­යාවේ ප්‍රාන්ත­යක් වන ක්වීන්ස්ල­න්තයේ පදිංචි වන අතර ඔවුන් දිය­ණි­යන් දෙදෙ­නෙ­කුගේ දෙමා­පි­යෝද වෙති. 

ඔවුන් ඔස්ට්‍රේ­ලි­යාවේ රැඳී සිටීම නීති විරෝධී බව පව­ස­මින් එරට අධි­ක­රණ මගින් ඔවුන් පෙරළා සිය­රට කරා යැවී­මට තීන්දු ලැබු­ණද ඔවුන්ගේ දිය­ණි­යන් ඔස්ට්‍රේ­ලි­යා­වේදී උපත ලද බැවින් ඔවුන්ගෙ අයි­තිය ඉල්ලා මේ මුරු­ග­ප්පන් යුවළ නිති මගට පිවි­සි­යහ. තව­දු­ර­ටත් ඔවුන් ඔස්ට්‍රේ­ලි­යානු බිමේ රැඳී සිටීම නීති විරෝධී බැවින් ඔවුන් ක්‍රිස්මස් දූපතේ රඳවා තැබී­මට එරට රජය කට­යතු කළේය. 

දැන් එරට නිවාස අමා­ත්‍ය­ව­රයා පවසා සිටින්නේ මෙලෙස රඳවා සිටින මුරු­ග­ප්පන් පවුල වෙනු­වෙන් ඔස්ට්‍රේ­ලි­යානු රජය අති විශාල මුද­ලක් වැය කර­මින් සිටින බවයි. 

සැබ­වින්ම මේ වන විට ක්‍රිස්මස් දූපතේ වැසි­යන් ලෙස සිටින්නේ මෙම මුරු­ග­ප්පන් පවුල පම­ණක් වන අතර ඔවුන්ගේ සුභ සාධ­නය වෙනු­වෙන් ඔස්ට්‍රේ­ලි­යානු රාජ්‍ය නිල­ධා­රීන්ද පිරි­සක්ද, සේවා සප­ය­න්නන්ද ක්‍රිස්මස් දූපතේ රැඳ­වි­මට එරට රජ­යට සිදුවී තිබේ. ඒ අනුව වාර්ෂි­කව විශාල මුද­ලක් මේ සිව් සාමා­ජික පවුල වෙනු­වෙන් වැය කිරී­මට ඔස්ට්‍රේ­ලි­යානු රජ­යට සිදුවී තිබේ. මේ මුදල් වැය කිරීම අප­රා­ධ­යක් සේ දකින අමාත්‍ය පීටර් ඩට්න් පව­සන්නේ මේ පවුල තව­දු­ර­ටත් පුර­වැ­සි­භා­වය වෙනු­වෙන් සටන් කිරීම නවතා යළි සිය­රට යා යුතු බවයි.   එහෙත් වසර පහ­කට ආසන්න කාල­යක් ඔස්ට්‍රේ­ලි­යාවේ රැඳී සිටීම සඳහා එරට නීති­යට අභි­යෝග කර­මින් සිටින මුරු­ග­ප්පන් පවුල එළෙ­සින් තම සටන අත­හැර දමනු ඇතැයි කිසි­සේත් සිතිය නොහැ­කිය. 

Comments