51 වියට පා තැබූ පත්තර මහගෙදර ‘තරුණී’ | සිළුමිණ

51 වියට පා තැබූ පත්තර මහගෙදර ‘තරුණී’

‘පත්තර මහගෙදර' ලෙස විරුදාවලිය ලත් ලේක් හවුස් ආයතනයේ පුවත්පත් අතර එකම කාන්තා පුවත්පත 'තරුණී' පසුගිය දා සිය 51 වැනි සංවත්සරය මහත් හරසරින් සැමරුවාය. 1969 ජූලි 09 වැනිදා හික්කඩුවේ ශ්‍රී ලාල් ශූරීන් විසින් ඇරැඹු 'තරුණී' පුවත්පත පුරා දශක පහකට වැඩි කාලයක් කාන්තාවන්ගේ ජනප්‍රියතම පුවත්පත වූයේ ඈ සතු ගුණාත්මකභාවය නිසාවෙනි. මිත්තණිය, අම්මා, දියණිය සහ වර්තමානයේ මිනිබිරිය දක්වාම විශ්වාසනීය පාඨක දාමයක් 'තරුණී' සතුය. කොයි කලටත් ගැළපෙන පරිදි මැහුම්- ගෙතුම්- අත්කම්, දෙස් විදෙස් සූපවේද ශාස්ත්‍රය, සෞඛ්‍ය උපදෙස් ස්වයං රැකියා අචාර ධර්ම කරුණු, කලා ලොවේ රස මුසු, තොරතුරු, ක්‍රීඩා පුවත්, අධ්‍යාපනික දැනුම, රූපලාවණ්‍ය කලාවේ නොමඳ ඉසව් ඈ හරි අපූරුවට ගෙන හැර පෑවාය.

ගමේ ගොඩේ කඩ මණ්ඩියට, නගරයේ සුපිරි වෙළෙඳ සැලට, හන්දියේ පත්තර ලෑල්ලට එන යන කාන්තා පත්තර බොහෝය. එහෙත් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පත්තර මහ ගෙදරින් පාඨකයන්ගේ දෝතට එන 'තරුණී' තවත් චිරාත්කාලයක් විරාජමාණ බව දශක පහකට අධික කාලයක් පුරාවට ඇය අපට පසක් කර ඇත. කොවිඩ් 19 ව්‍යසන කාලයේ පවා 'තරුණී' අන්තර්ජාල පුවත්පතක් ලෙස නොකඩවා සෑම සතියකම පාඨක අතට පත් විය. 'තරුණී'... පාඨකයිනට විටෙක මවකි. යෙහෙළියකි, තවත් විටෙක ළබැඳි සොයුරියකි.

අපේ රටේ හරි අඩකටත් වඩා වැඩි ජනගහණය කාන්තාවන්ය. ඔවුන් ගේ හදවතට, ඔවුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ භාරදූර කර්තව්‍ය වත්මන් තරුණී ප්‍රධාන කර්තෘ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ඉඳුනිල් වීරරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් තරුණී කර්තෘ මණ්ඩලයේ සියලු සාමාජික සාමාජිකාවෝ නොපිරිහෙළා, සාර්ථකව ඉටු කරති. ඒ සඳහා වත්මන් ලේක්හවුස් සභාපතිතුමා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂතුමා, ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ලබා දෙන සහයෝගය ද අති මහත්ය.

අභිමානවත් 'තරුණී' 51 වියට සැපිරීම ඉතා සරලව ලේක්හවුස් මන්දිරයේ පහළ මහලයේ දී පවත්වන ලදී. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නීති රීතිවලට ගරු කරමින් පැවැති එම උත්සවයේදී හෙළයේ මහා සූපවේදි පබිලිස් සිල්වා මහතා 'තරුණී' හැඳින්වූයේ 'තරුණී කෙල්ල' යන ළබැඳි නාමයෙනි. සැබෑවකි. 51ක් වුවද ඇය තවමත් තරුණය. දැයේ සුවහසක් කාන්තාවන් වෙනුවෙන් ඇය කාලීනව වෙනස් වන්නීය. නැවුම් වන්නීය. ජේ්‍යෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන්ට අනුව ඒ මහතා හැඩ ගන්වන මනාලියට තිබෙන අනන්‍යතාව යම්සේද 'තරුණී' ද සිය ගමන් මගේ ඇගේ අනන්‍යතාව රැකගනිමින් යාවත්කාලීන වන බවයි.

'තරුණී' ට සුබ පතන්න සමන්ත ගුණසේකර, තිලක් ද සිල්වා, මරීනා පෙරේරා, ශීලා ප්‍රනාන්දු, ඩාමලි කල්දේරා, මානෙල් කොටුවේගොඩ, මැණික් හේමචන්ද්‍ර, මහින්ද ඒකනායක, සමන් ජයලත්, ප්‍රීතිකා වික්‍රමසිංහ, ප්‍රදීපිකා මෙන්ඩිස් ඇතුළු රූපලාවණ්‍ය, සූපවේදය මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සීමිත පිරිසක් එදින උත්සවය වර්ණවත් කරන්නට එකතුවිය. උත්සවයේ නිවේදන හඬ පෞරුෂය ප්‍රවීණ නිවේදක බුදුසරණ පුවත්පතේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය කර්තෘ වසන්ත ජයසිංහ ආරච්චිගෙනි.

පත්තර මහගෙදරට තවත් අභිමානයක් වූ 'තරුණී' පුවත්පතට එතෙක් මෙතෙක් ජීවය ලබා දුන් මෙන්ම ඇයට විස්කම්පාන්නට දායකත්වය ලබා දුන් සියලුම කතුවරුන්, කතුවරියන් සහ කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන් සිහිගන්වන්නේ හද පිරි භක්ත්‍යාදරයෙනි.

'තරුණී' කාන්තා පුවත්පත් කලාවේ අභිමානය රැගෙන තවත් චිරාත්කාලයක් යෙහෙන් වැජඹේවා!

ඡායාරූප - ශාන් රූපස්සර

Comments