හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

සිහින සාදය

සුප්‍රසිද්ධ අමෙරිකානු ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක වන සෙලීනා ගෝමස් පසුගියදා ඇගේ 28 වැනි උපන් දිනය සැමරුවා. ඇගේ හොඳම මිතුරියන් දෙන්නෙක් තමයි මේ සාදය ලෑස්ති කරලා තිබුණේ. එදින ‍සෙලීනාට ඉතා සුන්දර එළිමහන් රාත්‍රී සාදයක සතුට අත්විඳි බව ඇය කියා තිබුණා. උපන්දිනය දව‍සේ ‍සෙලීනා කිසිම උපන්දින සුබපැතීමකට ප්‍රතිචාර දක්වලා නැහැ. ඒක නම් තරමක් අශීලාචාර‍දෝ හැඟුණත් ඇය කියන්නේ උපන්දිනය දවසේ දුරකතනය ඇල්ලු‍වේවත් නැතිලූ. ඇයට ඕනි ‍වෙලා තිබු‍ණේ ‍මේ වි‍ශේෂ දවස නිදහ‍සේ විඳින්න. ඉතින් ‍මෙදා පාර ඒ නිදහස හොඳටම අත්වින්ඳා කියලා ‍සෙලීනා මාධ්‍යයට කියා තිබුණා. පසු දින තමන්ට ලැබුණු සියලු සුබ පැතුම්වලට ප්‍රතිචාර දක්වමින් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා විශේෂයෙන්ම ඇගේ මිතුරියන් දෙදෙනා ඇතුළු ඇගේ සියලු රසිකයින්ට ස්තුති කර තිබුණා.

නැහැ කිව්වට රැවටෙන්න එපා

බොලිවුඩයේ තරු පවුල බච්චන් පවුලටම කොරෝනා කියන පුවත ලෝකය පුරාම පැතිරුණේ විදුලි වේගයෙන්. නමුත් පසුගියදා ඉන්දීය මාධ්‍ය හරහා ඒතරම්ම විදුලි වේගයෙන් තවත් පුවතක් ප්‍රචාරය වුණා. ඒ අමිතාබ් බච්චන්ට කොවිඩ් ආසාදනය වෙලා නැති බව. අමිතාබ්ගේ නවතම පරීක්ෂණ වාර්තාවලට අනුවයි මේ පුවත ප්‍රචාරය වුණේ. නමුත් අමිතාබ් ඔහුගේ ට්විටර් ගිණුම හරහා ලෝකයම දැනුම්වත් කරමින් කියලා තිබුණේ ඒ ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලයි. ඔහුගේ පරීක්ෂණ වාර්තා තවමත් ධනාත්මක බවත්, කෙසේ නමුත් ඔහු අසාධ්‍ය මට්ටමක නැතිව යහපත් සෞඛ්‍ය මට්ටමක සිටින බවත් අමිතාබ් එහි සටහන් කර තිබුණා.

 

අසරණ අයට සරණක් වෙන්න හමුදාවට බැඳුණා

‘නීල පබලු‘ ටෙලිනාට්‍යයේ කුරුලු විදියට ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් ඉන්න ටනාෂා හතරසිංහ ගැන අපිට අලුත්ම ආරංචියක් දැනගන්න ලැබුණා. ඒ ඇය අලුත්ම හමුදාවකට බැඳිලා කියලා. හැබැයි මේක ටිකක් වෙනස් හමුදාවක්. RHA කියල ලෝකෙ වටෙන්ම සාමාජිකයන් බඳවගන්න මේ හමුදාවෙන් ඇත්තටම කරන්නෙ කොරෝනාවෙන් අසරණ වෙලා ඉන්න වගේම දුප්පත් අසරණ මිනිස්සුන්ට උදව් කරන එක. RHA කියන්නෙ 'රොබින් හුඩ් ආමි' කියන එකයි. ඉතින් අපේ රටේ නමටත් ගෞරවයක් ගෙන දෙමින් ටනාෂාත් මේ සංවිධානය එක්ක සම්බන්ධ වෙලා තිබුණා. මේ ගැන RHA සංවිධානයෙන් ඇයට වගේම අපේ රටටත් විශේෂයෙන් ස්තූති කරලා තිබුණා. ඉතින් මේ මොහොතේ අසරණ වෙලා ඉන්න අයට සරණක් වෙන්න ඇගේ ජාත්‍යන්තර ඉදිරිපත් වීම අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්.

 

‍කොවිඩ් 19 බෑන්ඩ් සංගීත කණ්ඩායම

පසුගිය දවස්වල දුෂ්‍යන්ත්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අපූරූ පින්තූරයක් පළ ‍වුණා. පින්තූ‍රෙට යටින් ‍මෙ‍හෙම ‍දේකුත් සටහන් කර තිබුණා. 'කොවිඩ් 19 සංගීත කණ්ඩායම' ඒ කණ්ඩායමේ අනුෂ්ක උදාන, සනුක වික්‍රමසිංහ, ශේන් සිං, සංගීත් විජේසූරිය වගේම තව කිහිප දෙනකුත් හිටපු නිසා කට්ටිය හිතුවා මේ කට්ටිය එකතු වෙලා අලුත් බෑන්ඩි එකක් පටන්ගන්න යනවදෝ කියලත්..ඉතින් මේකෙ ඇත්ත නැත්ත අපි දැන ගත්තේ දුෂ්‍යන්ත්ගෙන් "අනේ නැහැ. ඒක ජොලියට ගහපු පින්තූරයක්.කොරෝනා කාලෙට පස්සෙනේ අපි කට්ටිය හමු වුණේ. ඉතින් කට්ටිය සින්දුවක් කිය කිය ඉඳිද්දි ළඟ තිබුණු ත්‍රීවිලර් එකකට නැඟලා ‍ෆොටෝ එකක් ගැහුවා."ඔන්න ඕක තමයි 'කොවිඩ් 19 සංගීත කණ්ඩායම' ‍පසු බිම් කතාව විදිහට දුෂ්‍යන්ත් අපිට කිව්වේ.

දැන් තානාපතිවරියක්

මිචෙල් දිල්හාරා කියන්නෙ නිළියක් ‍සේම සමාජ සේවිකාවක් ‍ලෙසත් ප්‍රසිද්ධයි. ඉතින් පසුගියදා මිචෙල්ට ගොඩක් වටිනා කියන තනතුරක් ලැබිලා. ඒ, ඇමෙරිකාවේ ලෝක මිහිකත ජාලයෙන් ක්‍රියාත්මක වන Earth Day Network ආයතනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස අපේ මිචෙල් දිල්හාරා තේරී පත් වෙලා තියෙන්නේ ‍මේ Earth Day Network ආයතනයේ ගෝලීය උපදේශක කමිටුවේ ඉන්නේ අමරිකානු සුපිරි නළු ලියනා‍ඩෝ ඩිකැප්‍රියෝ, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සුපිරි ‍බොලිවුඩ් නළු අනිල් කපූර්, ඉන්දීය ව්‍යාපාරිකයකු වන ආනන්ද් මහින්ද්‍රා, හිටපු අ‍ෙමරිකානු උප ජනාධිපති ඇල්ගෝ වැනි ප්‍රභූ වරු පිරිසක්. Earth Day Network ආයතනයේ ඉන්දීය තානාපති ‍ලෙස සුපිරි ඉන්දීය නිළි ජුහි චව්ලා පත් ‍වෙද්දි ඒ අගැයීම අ‍පේ මි‍චෙල්ට ලැබීම ගැන ඇය නිහතමානීව ආඩම්බරයට පත්වන වගයි රසඳුනට කිව්වේ.

[email protected]

 

Comments