සිකාමයි කියන්නෙ ප්‍රමිතියක් තියෙන වැඩක් | සිළුමිණ

සිකාමයි කියන්නෙ ප්‍රමිතියක් තියෙන වැඩක්

වස 2020 අප්‍රේල් 22, හදිසියේම ලංකාවේ යූ ටියුබ් චැනල් පොකුරට අලුත්ම චැනල් එකක් එකතු වෙනවා. හැබැයි මේ චැනල් එකේ ඉන්නේ දන්න කියන කෙනෙක්. පැය විසිහතරක් යද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා පනස්දාහක් එකතු කරගත්ත මේ චැනල් එක දවස් දහයක් ඇතුළත ඒ ගණන ලක්ෂයක් දක්වා වැඩි කරගත්තා. අද වෙනකොට මේ චැනල් එක සබ්ස්ක්‍රයිබර්ස්ලා දෙලක්ෂයකට අධිකයි. සම්පූර්ණ නැරඹුම් වාර මිලියන 4 පහු කරලා. හැබැයි මෙහෙම ප්‍රතිචාර ගලාගෙන එද්දි ඔන්න පහුගිය දා මේ චැනල් එක හැක් වෙනවා.

ඒ කියන්නේ සයිබර් ප්‍රහාරයක් එල්ල වෙනවා. හැබැයි ඉතින් හැක් වුණා කියලා චැනල් එකේ කට්ටිය වැඩේ අතහැරියෙත් නැහැ. ඒ අපේ මේ කතා නායකයාගේ එක ලක්ෂණයක්. ඒ තමයි දුමින්ද ශ්‍රී කාන්ත, ඔයාලා දන්න විදිහට සිකා, හැක් වූ සිකාමයි ගැන කතා කරන්න සිකා රසඳුනට ගොඩ වුණා.

සිකා මොකද වුණේ?

පහුගිය ඉරිදා පාන්දර 3.00 ට විතර "සිකාමයි" ටීම් එකට යූ ටියුබ් එකෙන් මේල් එකක් ඇවිත් තිබුණා. ඒ මේල් එකේ තිබුණේ අපිට කමියුනිටි ස්ට්‍රයික් එකක් වැදිලා කියලා. ඒ වෙද්දිම රසිකයෝත් අපිට එක දිගට කතා කරන්න ගත්තා, චැනල් එකේ නම, ලෝගෝ වගේම සේරම කන්ටෙන්ට් අයින් කරලා. ලයාල්, දර්ශන ඒ වෙලේම යූ ටියුබ් සපෝර්ට් ටීම් එක කන්ටැක්ට් කළා. ඒ හැක් කරපු කෙනාව ඒ මොහොතෙම සිස්ටම් එකෙන් අයින් කළා. පස්සේ අපේ පැහැදිලි කිරීම් එක්ක ඔක්තෝබර් 18 වෙනකල් චැනල් එකට දාලා තිබුණු තහංචිය ජුලි 26 අයින් කරන්න යූ ටියුබ් එක තීරණය කළා.

මේක සිකාලගෙම මාකටින් වැඩක් කියලත් එහෙන් මෙ‍ෙහන් ඇහුණා?

ඔහොම කතන්දර සමහරු කියලා තිබ්බා. තුවාලේ තියෙන කෙනයි වේදනාව දන්නේ. ඇයි අපි අපිටම කමියුනිටි ස්ට්‍රයික් ගහගන්නේ? දවස් අනුවක් ඇතුළත කමියුනිටි ස්ට්‍රයික් තුනක් වැදුණොත් යූ ටියුබ් චැනල් එක සම්පුර්ණයෙන්ම අයින් වෙනවා.

මේ සයිබර් ප්‍රහාරයේ අරමුණ ‘සිකාමයි‘ යූ ටියුබ් එකෙන් අයින් කිරීමද?

එහෙම වෙන්න ඇති. මොකද අනිත් හැකර්ස්ලා බලන්නේ චැනල් එකෙන් කීයක් හරි ගන්න පුළුවන්ද කියන එක. හැබැයි මේ පුද්ගලයා උත්සාහ කරලා තිබුණේ කමියුනිටි ස්ට්‍රයික් ගස්සවලා සම්පූර්ණයෙන්ම අයින් කරවන්න. නමුත් අපි දිගටම යූටියුබ් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන කටයුතු කරනවා. ඒ වගේම මේ සිදුවීම ගැන රහස් පොලීසිය ඇතුළු සයිබර් අපරාධ සම්බන්ධ ආයතනවලට පැමිණිලි කිරීමට අදාළ නීති උපදෙස් ලබා ගනිමින් ඉන්නේ.

මාස දෙකක් වගේ කෙටි කාලයකදී කොහොමද සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ දෙකක් හොයා ගත්තේ ?

ඒකේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන අපේ ප්‍රේක්ෂකයන්ට. මුල් අවස්ථාවේදී මේ මොකක්ද වෙන්නේ කියලා බලන්න ප්‍රේක්ෂකයෝ අපේ චැනල් එක වටා එකතු වෙන්න ඇති. ඊට පස්සේ ප්‍රමාණය වැඩි වුණේ නිර්මාණ අන්තර්ගතයේ ප්‍රමිතිය නිසා. ඒකට ප්‍රධානම හේතුව අපේ ටීම් එක. සිකාමයි කියන්නේ මම විතරක්ම නෙමෙයි. මාත් එක්ක රඟපාන චානක පැතිරුණු දක්ෂතා සහිත තරුණයෙක්. කැළුම් හොඳ වේදිකා රංගන ශිල්පිනියක්.

තිරය පිටිපස වැඩිම කාර්යභාරය කරන්නේ ලයාල් එදිරිසිංහ. උදාර වික්‍රමරත්න අපේ ක්‍රියේටිව් පැත්ත බලනවා. දර්ශන බණ්ඩාර තාක්ෂණික පැත්ත. Epic 84 ආයතනයේ මලින්ද සම්පත් කැමරා, ශබ්ද සහ තාක්ෂණික උපකරණ ලබා දෙමින් දක්වන සහයෝගය විශේෂයෙන්ම මතක් කරන්න ඕන. තවත් කීපදෙනකුම විවිධ අංශවලින් අපට උදව් කරනවා.

සිකා විකට නළුවෙක් විතරමද?

යූ ටියුබ් එකේදි තමයි මම කමේඩියන් කෙනෙක් වුණේ. එය මගේ සැබෑ ජීවිතයටත් සමීපයි. මම නිතරම විහිළු තහළුවක් කරන් ඉන්න කැමැති කෙනෙක්. මේ නිසාම මම රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරන්න යොමු වුණා. ඊට පස්සේ නිවේදකයෙක් සහ හඬ කැවීම් ශිල්පියකු වෙනවා.ටෙලි නාට්‍ය කීපයකටත් දායක වුණාට පස්සේ මම ඉසුරු වීරසිංහ මුදලිගේගේ ‘පැණි මකුළුවෝ‘ සහ‘The Letters‘ කියන චිත්‍රපට දෙකේ රඟපෑම සහ කලා අධ්‍යක්ෂණය කරනවා. The Letters චිත්‍රපටියේ මම රඟපාන්නේ වෙනස්ම චරිතයක්.

අනිත් මාධ්‍යවලට වඩා යූ ටියුබ්වල තියෙන වෙනස මොකක්ද?

ප්‍රධානම වෙනස තමයි විවෘත බව. නිර්මාණකරුවෝ විදිහට ඉතාමත් විවෘතව අදහස්, ඉදිරිපත් කරන්න පුළුවන්. යූ ටියුබ් වගේ සමාජ මාධ්‍යවලදී ප්‍රේක්ෂකයන්ට අපට කෙළින්ම ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.

‘The Letters‘ නිර්මාණයේ සිටින දුමින්ද සිකාමයි එකේ දකින්න නොලැබෙන්නේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුව එවැනි නිර්මාණ ගොඩ නඟන්න කාලය, ශ්‍රමය වගේම මූල්‍ය ස්ථාවරත්වයකුත් ඕන වෙනවා. අනෙක ප්‍රේක්ෂකයෝ එය මොන විදිහට භාර ගනීද කියන අභියෝගය තියෙනවා. නමුත් ඉස්සරහට අනිවාර්යෙන්ම ඒ වෙනසත් කරන්න බලාපොරොත්තු වෙනවා.

යූ ටියුබ් channel කරන්න එකතුවෙන පිරිසට මොනවද කියන්න තියෙන්නේ?

ප්‍රේක්ෂකයන්ට ගරු කරන්න. ප්‍රේක්ෂකයා අන්දලා ගමනක් යන්න පුළුවන් කියලා හිතුවොත් මුලින්ම ඇන්ඳෙන්නේ එහෙම හිතන පුද්ගලයා.

බොහෝ වෙලාවට you tube එකේ මුල් subscribersලා ප්‍රමාණය ගන්න ලේසියි. එතනින් එහාට ප්‍රේක්ෂකයෝ ආකර්ෂණය කර ගැනීම සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ අපි ඉදිරිපත් කරන දේ මතයි. අපිට කිසි දෙයක් ක්ෂණිකව හම්බ වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි ‘වස්ති‘ සහ ‘රැට්ටා‘ ඔවුන් බොහොම ඉවසීමෙන් ආ ගමනේ ප්‍රතිඵල තමයි අත්විඳින්නේ.

[email protected]

Comments