සිංදු ලියන කිරිල්ලී | Page 2 | සිළුමිණ

සිංදු ලියන කිරිල්ලී

සිංදු කියන කිරිල්ලියෝ ගැන ගොඩක් අය කතා කළාට සිංදු ලියන කිරිල්ලියෝ ගැන කතා වෙන්නේ හරි අඩුවෙන්. අද රසඳුනත් සමඟ එකතු වෙන්නේ සිංදු ලියන ලස්සන කිරිල්ලියක්. ඇය යශෝධා හර්ෂණී අධිකාරී. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදෑරූ ඇය උසස් පෙළ කරන අතරේදී සිටම තම නිර්මාණශීලි හැකියාව නිසා වෙළෙඳ දැන්වීම් සමාගමක රැකියාවක නිරත වෙනවා. දැනට ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තන අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබනවා.

"මම පුංචී කාලේ ඉඳන්ම ගොඩක් පොත් කියවනවා. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේ සිටම කවි ලියන්න පටන් ගත්තා. මගේ පාසල් මිතුරකු වූ ධ්‍යාන් හේවගේ ගායනා කරන නාලක අංජන කුමාර සංගීතය නිර්මාණය කළ " දෙහද පැටළුණ කතාවක් " ගීතය 2017 දී නිර්මාණය කළා. ඉන් පසූ භාශී දෙවංගගේ " හීන ආලවන්තී " ගීතය රචනා කිරීමේ අවස්ථාව මට උදා වුණා. ඊට ටික කාලෙකට පස්සේ යුකී නවරත්නව මට මුණ ගැහෙනවා. ඔහු සමඟ " හංගාලා " , " දුමාරා " වැනි ගීත රචනා කළ නිසා ගොඩක් අය මාව ගීත රචිකාවක් විදිහට හඳුනා ගත්තා. "

යශෝධා විසින් රචිත චමත් සංගීත් විසින් සංගීතය නිර්මාණය කළ Kaizer සහ අකලංක ගායනා කරන " අයාලේ " ගීතය සමාජ ජාලාවල පසුගිය දිනවල ගොඩක් ප්‍රසිද්ධ වුණා. "වීණා","මල් වැහි","අවවාදය","අසලියා" වගේම තවත් ගීත කිහිපයක් ඇය විසින් මේ වන විට රචනා කර තිබෙනවා. ගායන ශීල්පීන් කිහිප දෙනෙක් සහ " වස්ති " කණ්ඩායම සමඟ එකතු වී Covid 19 මර්දනය වෙනුවෙන් සේවය කළ පිරිසට උපහාර පිණිස නිර්මාණය කළ "ශ්‍රී ලංකා මාතා " ගීතයේ පද රචනාව වෙනුවෙන් දායක වීමේ අවස්ථාව ද යශෝධාට ලැබුණා.

විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සේම භාෂා පරිවර්තක රැකියාවකද නියැළෙන යශෝධා තම නිර්මාණ කටයුතු සමඟ සියලු දේ සමබරව කරගෙන යන්නේ ඉතාමත් සතුටින් සහ සැහැල්ලුවෙන්. ඒ සියල්ල අතරතුර මේ දිනවල පුංචි දරුවන් වෙනුවෙන් රචිත කතා පොතක කටයුතුත් නිම කරමින් සිටින ඇයට මවුපියන්ගෙන් වගේම සමීප යහළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙන බව ඇය අප සමඟ පැවසුවා.

ඉදිරියේදී " හන්තානේ " නමින් ඇය විසින් රචිත ධ්‍යාන් හේවගේ ගායනා කරන යුකී නවරත්න සංගීත නිර්මාණය කළ ගීතයක් පැමිණීමට නියමිතයි. සතිෂ් රත්නරාජ් විසින් මේ දිනවල එහි රූප රචනයේ කටයුතු කරගෙන යනු ලබනවා. ඒ වගේම යශෝධා විසින් රචිත චමත් සංගීත්, රවී රොයිස්ටර් , හර්ෂ විතානගේ , රුසිරු රූපසිංහ සමඟ කළ ගීත කිහිපයක් ඉදිරියේදී අපිට අහන්න ලැබේවි.

[email protected]

Comments