සාර්ථක පවුල් ජීවිතයක් කියන්නෙම එකිනෙකා වෙනුවෙන් ජීවත් වීමයි | සිළුමිණ

සාර්ථක පවුල් ජීවිතයක් කියන්නෙම එකිනෙකා වෙනුවෙන් ජීවත් වීමයි

ටේ නම ලොව සුපතළ කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඔහු යොවුන් හද දිනූ ජනප්‍රිය තරුවකි. එදා මෙන්ම අද ද ඔහුට ඇලුම් කරන්නෝ බොහෝ වෙති. ඔහු, හෂාන් තිලකරත්න ය. ඔහුගේ කැදැල්ල හැඩ කරන ඇය, අප්සාරි සිංහබාහු තිලකරත්න ය. මෙවර කැදැල්ලේ කතාව සැරසෙන්නේ ඔවුන්ගේ සොඳුරු මතකයන්ගෙනි.

ඔවුන්ගේ ආදරණීය හමුවීම 1995 වසර දක්වා ඈතට දිවෙන්නක් බව අප්සාරි අප සමඟ කතාබහට එක්වෙමින් කීවාය.

“ඒ දවස්වල මම වැඩ කළේ ගුවන් සේවිකාවක් විදිහට ඩුබායිවල. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සාජාවලට ටුවර් එකක් ඇවිත් ඉන්නකොට ඔවුන් වෙනුවෙන් මගෙ මිතුරියකගේ ගෙදර රාත්‍රී සාදයක් සූදානම් කර තිබුණා. මිතුරිය මටත් ඒ සාදයට ඇරයුම් කළා. හෂාන් මුලින්ම හමුවුණේ එදා. ”

ඒ මුල්ම හමුවීම හෂාන්ට ද එදා මෙන්ම සොඳුරු වූවක් බව ඔහු කීවේ සිනාසෙමිනි.

“අප්සාරිගේ ලස්සනට තමයි මුලින්ම මගෙ හිත ඇඳිලා ගියේ. කතාබහ කරද්දි තේරුණා එයා හරිම විවෘත කෙනෙක් කියලා. ඇසුරු කරද්දි මම තේරුම් ගත්තා කාන්තාවකගෙන් මම බලාපොරොත්තු වෙන ගතිගුණ ගොඩක් එයා ළඟ තියෙනවා කියලා. ඒ වගේම එයා ගොඩක් කරුණාවන්ත කෙනෙක් වීම එයාට බැඳෙන්න තවත් හේතුවක් වුණා.”

එලෙස බැඳුණු හදවත් ‘විවාහය‘ නම් බැඳීමට එක්වී දැන් වසර 25කි. එදා සුවහසක් යෞවනියන්ගේ සිහින කුමරකු බවට පත්ව සිටි හෂාන්ගේ ජනප්‍රියත්වය විවාහ දිවිය තුළ කළමනාකරණය කරගත්තේ කෙසේද යන්න අප්සාරිගෙන් විමසුවෙමු.

“මුල ඉඳලම අපි දෙන්නා අතර ලොකු තේරුම්ගැනීමක්, අවබෝධයක් තිබුණා. ගුවන් සේවිකාවක් විදිහට මම විවිධ රටවල්වල විවිධ ජාතීන්, සංස්කෘතීන්වල මිනිසුන් ඇසුරු කළ කෙනෙක්. ඒ වගේම ගැහැනු පිරිමි භේදයක් නැතිව මිතුරන් රැසක් ඇසුරු කළ කෙනෙක්. ඒ නිසා මට හෂාන් ගැන කවමදාවත් සැකයක්, ඊර්ෂ්‍යාවක් ඇතිවුණේ නැහැ. සමහර වෙලාවට යාළුවෝ කියපු අවස්ථා තිබුණා හෂාන් පරෙස්සම් කරගන්න කියලා. ඒත් මට එහෙම හැඟීමක් කවදාවත් දැනිලා නැහැ.”

අප්සාරිගේ වදන් හෂාන් ද සනාථ කළේ ඔවුනතර වන සවිමත් බැඳීමට සාක්ෂි දරමිනි.

“ඒ කාලේ සමහර වෙලාවට රසිකාවන්ගේ ලියුම්වලට උත්තර ලියන්නෙ, කෝල්ස් ආන්සර් කරන්නෙත් අප්සාරි. විශ්වාසය සහ තේරුම් ගැනීම අපි අතර හොඳින්ම තිබුණු නිසා මගේ ජනප්‍රියත්වය අපේ බැඳීමට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම හිතන්නේ ඒ අතින් මම හරි වාසනාවන්තයි. අපි කවුරුත් සර්වසම්පූර්ණ අය නෙවෙයි. වැරදි, අඩුපාඩු තියෙනවා. නමුත් ඒවා ගැන විවෘතව කතාකරනවා නම් වැරදි හදාගන්න ලේසියි. අපි දෙන්නා අතරත් අකමැති දේවල් තියෙනවා. නමුත් දෙන්නා අතර අවබෝධය තියෙන නිසා ප්‍රශ්න ඇතිවෙනවා අඩුයි. මම හිතන්නේ සාර්ථක පවුල් ජීවිතේකට විශ්වාසය ආදරය, කරුණාව, තේරුම් ගැනීම සහ එකිනෙකා වෙනුවෙන් සිටීම ඉතා වැදගත්. ”

බැඳීම් සුන්දර වන්නේ කැපකිරීම් නිසා බව අප්සාරිගේ විශ්වාසයයි. අප්සාරි එය ඇගේ ජීවිතයෙන් සනාථ කළ ආදරණීය බිරියකි; මවකි.

“විවාහ වෙද්දි මම හිටියේ මගෙ රැකියාවේ ඉහළම තලයක. ඒ කාලේ එමිරේට්ස් කියන්නෙ අංක එකේ ගුවන් සේවය. ඒ නිසාම ඉහළ වැටුපක් වගේම ඉතා හොඳ ජීවන තත්ත්වයක් මට තිබුණා. ඒ කාලේ හෂාන් වෘත්තීමය ක්‍රීඩකයෙක් විදිහට ඉහළම මට්ටමක හිටියේ. ඔහු රට වෙනුවෙන් ක්‍රීඩා කළේ. ඒ නිසා මම ඒ වෙලාවේ තීරණයක් ගත්තා මම රැකියාවෙන් ඉවත් වෙලා හෂාන්ට සහයෝගය දෙනවා කියලා. මම ඒ සහයෝගය උපරිමයෙන් හෂාන්ට ලබා දුන්නා. පහුගිය කාලේ මම හෂාන්ගේ කටයුතු සහ දරුවන්ගේ ඉගෙනීම් වැඩ නිසා කිසිම දේකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් දැන් දරුවන් ලොකු නිසා ඉස්සර වගේ මට ඔවුන්ගේ පස්සෙන්ම ඉන්න අවශ්‍ය නැහැ. ඒ විදිහට මගේ වගකීම් ටිකක් අඩුවෙද්දි මටත් කම්මැලි හිතුණා නිකම්ම ගෙදර ඉන්න. ඒ අතර තමයි මට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ. ඒ වෙලාවේ මට හිතුණා රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. හෂාන් කිව්වෙත් ගිහින් වැඩ කරන්න කියලයි. ඔහු උපරිම සහයෝගය මගේ කටයුතු වෙනුවෙන් ලබාදෙනවා. මේ දවස්වල මාව උදේ හවස කාර්යාලයට එක්ක යන්නෙ එන්නෙත් හෂාන්.”

අප්සාරි කතා කරන්නේ සොම්නසිනි. ඔවුන්ගේ ආදර කැදැල්ලේ පුතුන් තිදෙනෙකි. නිවුන් සොහොයුරන් වන දුවිඳු සහ රවිඳු දැන් විසි හතර හැවිරිදි නව යෞවනයෝය. බාල පුතු 15 හැවිරිදි රජිඳුය. එහෙත් හෂාන්- අප්සාරි යුවළ දුටු විට සිතෙන්නේ “ආදරය හැමදාම තරුණ බව”ය.

“පුතාලා තුන්දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. ලොකු පුතා තමයි මේ පාර ප්‍රිමියර් ටූනමන්ට් එකේ වැඩිම විකට් ගත්තේ. දෙවැනියත් හොඳට සෙල්ලම් කරනවා. එයාලගේ බලාපොරොත්තුව කවදහරි රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි. ඒ ඉලක්කය වෙනුවෙන් එයාලා කැපවෙලා ඉන්නවා.

අපි ඔවුන්ට ඒ සඳහා උපරිම සහයෝගය දෙනවා. ලොකු පුතාලා දෙන්නා මල්ලිවත් බලාගෙන එයාලගේ ගොඩක් දේවල් දැන් තනිවම කරගන්නවා. අපි එයාලගේ වගකීම්වලින් සම්පූර්ණයෙන් බැහැර වෙලා නැතිවුණත් දැන් අපි දෙන්නට අපි වෙනුවෙන් ඉස්සරට වඩා ගොඩක් වෙලාව තියෙනවා. හෂාන් එදා ඉඳලම පවුලට ගොඩක් ආදරය කරන, ඒ වෙනුවෙන්ම ඉන්න කෙනෙක්. එයාට අපි නැතුව ඉන්න බෑ වගේම අපි නැතුව කොහේවත් යන්නෙත් නැහැ. ගතානුගතික පුරුෂාධිපත්‍ය අපේ ගෙදර නැහැ. හැමදේම ගැන තීරණ ගන්නේ අපි දෙන්නා කතාබහ කරලයි. ඒ වගේම දැන් දරුවන් ලොකු නිසා දරුවන්ගේ අදහසුත් අහනවා. සැමියෙක් සහ තාත්තා කෙනෙක් විදිහට එයා අපිව හොඳින් තේරුම් අරගෙන අපි වෙනුවෙන්ම වැඩ කරන කෙනෙක්. මම හිතන්නේ ඒ නිසයි අපි එදා වගේම ආදරෙන් බැඳීමකින් ජීවත් වෙන්නෙ”

සුන්දර සහ ප්‍රියමනාප බිරියක වන අප්සාරිගේ ඒ පිළිවෙළ, සුන්දරත්වය ඔවුන්ගේ කැදැල්ල පුරා ද දිස්වේ.

“මම වගේම හෂානුත් ගොඩක් ආසයි ගේ ලස්සනට තියාගන්න. විවේකයක් ලැබුණාම අපි පස්දෙනාම එකතුවෙලා ගේ අස්කරනවා. පහුගිය කාලේ අපි ගෙවත්තෙම එළවළු වගාවකුත් පටන් ගත්තා. අපේ පවුලෙ හැමෝම ආසයි පැරණි පන්සල්, ඓතිහාසික ස්ථාන බලන්න යන්න සහ කැලෑවේ ඇවිදින්න යන්න. දවස් කිහිපයක නිවාඩුවක් ලැබුණොත් අපි එහෙම ගමන් යනවා. ඊට අමතරව පුතාලා විවේක වෙලාවට ආරණ්‍ය සේනාසනයට ගිහින් ඔවුන්ගේ ආධ්‍යත්මික ජීවිතය දියුණු කරගන්නවා.”

බාහිර මෙන්ම අභ්‍යන්තර සුන්දරත්වය මෙන්ම තමා පවුලේ සාමාජිකයන්ගේ නිරෝගීකම ගැන වැඩිපුර හිතන ගෘහණියක බව ද අප්සාරි කීවාය.

“මට ඕනෑම දෙයක් රහට උයන්න පුළුවන්. අපි වැඩිපුරම කන්නේ ගෙදරම හදන කෑමබීමයි. පෝෂ්‍යදායී සෞඛ්‍යසම්පන්න ආහාර ගැන මගෙ ලොකු උනන්දුවක් තියෙනවා. මම ආහාර පිසින්නේ රසකාරක නොදා දේශීය දේවල් දාලයි”

වියපත් නොවන, අපූරු සුන්දරත්වයකින් යුතු අප්සාරිගෙන් ඒ සුන්දරත්වයේ රහස ගැන ද නොවිමසාම බැරිය. ඈ ඊට පිළිතුරු දුන්නේ සුපුරුදු සුන්දර සිනාවෙනි.

“මම හිතන්නෙ ඕනෑම සැමියෙක් කැමතියි බිරිය ලස්සනට පිළිවෙළට ඉන්නවා දකින්න. පවුලේ වගකීම වැඩිපුර පැවරෙන්නෙ බිරියට. ඇය නිරෝගීව, සුන්දරව ඉන්න එකත් පවුලේ සාර්ථකත්වයට හේතුවක්. වැඩ වැඩියි, වෙලාව නැහැ කියලා මැසිවිලි කියන්නෙ නැතිව කාලය කළමනාකරණය කරගෙන තමා වෙනුවෙනුත් පුංචි කාලයක් වැය කරන්න හොඳ ගෘහණියකට පුළුවන්. හැම කාන්තාවකගේම කුමක් හෝ ලස්සනක් තියෙනවා. ඒ ලස්සන ආරක්ෂා කරගන්න නම් ඒ වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරන්න ඕන. මම ඉස්සර ඉඳලම දවසකට පැයක් හරි ව්‍යායාමවල යෙදෙනවා. ඒ වගේම දේශීය දේවල්වලින් ගෙදරදීම මුහුණට සත්කාර කරනවා. පෝෂ්‍යදායී ආහාරපාන ගන්නවා.”

එකී සියල්ල සිය ජීවිතයෙන් ප්‍රායෝගිකව ඉටු කර ඇති බිරියක වන අප්සාරි ගැන හෂාන් ආදරණීය සහතිකයක් දුන්නේ මෙලෙසිනි.

“එදා ගත්ත තීරණය හොඳටම හොඳයි කියලා හිතෙනවා. අප්සාරි මම, දරුවන් ඇතුළු පවුලම ආදරෙන් බලාගන්නවා. ඇය සුන්දර, ආදරණීය බිරියක්.”

සෙනෙහස සහ සතුට, සැනසීම සපිරි ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ගැන ද අප හෂාන්ගෙන් විමසුවෙමු.

“පුතාලා රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා නම් මම කැමතියි. නමුත් ඔවුන්ට තව ලොකු දුරක් එන්න තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ සහයෝගය දෙමින් සතුටින් ජීවිතය ගතකරනවා. සීයා කෙනෙක් වෙන එක තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව”

ඔහු පිළිසඳර අවසන් කළේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි. ඒ සතුට, සැනසුම සපිරි ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ අසිරියයි.

[email protected]

ඡායාරූප - තිළිණ බෙන්

 

Comments