පොළේ මිරිස් විකුණා ලොව සුපිරිම ව්‍යාපාරිකයෙක් වූ මාවතගම මිනිසා | සිළුමිණ

පොළේ මිරිස් විකුණා ලොව සුපිරිම ව්‍යාපාරිකයෙක් වූ මාවතගම මිනිසා

වරෙක ජපානයේ වැඩිම වාහන ප්‍රමාණයක් අපනයනයෙන් සම්මානයට පාත්‍ර වුණා...

ලෝකය පුරාම දේපළ වෙළෙඳ සමාගම්වල හිමිකරුවෙක්...

ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවක් රට තුළ ගොඩනගනවා...

හුට ඇත්තේ සිත් අලවන සුලු තියුණු බැල්මකි. කෙනකුට මොහු රැවටීමට පහසු නොවන බවට ඉඟියක් ඒ බැල්මෙහි විය. කතාබහට ආරම්භයක් ගැනීමට අවශ්‍ය බැවින් ඔහුගේ කුඩා කාලය මතකාවර්ජනයක් කරන ලෙසට ඇරයුම් කළෙමි. ඔහු එයට ආරම්භයක් ගත් අයුරු අපූරුය.

"මම 1954. 08.09 මාවතගම රජයේ රෝහලේ ඉපදුණා. 1956. 01. 05 වැනිදා ඒ රෝහලේම ළමයෙක් ඉපදුණා. ඒ ළමයගේ නම ශිරානි කැප්පෙටිපොළ කුමාරිහාමි. අපි දෙන්නා 1984 ජනවාරි 16 විවාහ වුණා." අපේ කතාවේ ආරම්භය මෙන්ම ඔහුගේ ජීවිත කතාවෙහි ආරම්භයද මඳක් වෙනස්ය. ඔහුගේ ජීවිත කතාවෙහි මුලින්ම මතකයට නැඟෙන්නේ තම ආදරණීය බිරියවය. මව සේම ඇය ඔහුගේ ජීවන ගමනෙහි අත්වැලවන බැවින් ඇයට එම ගෞරවය ලැබිය යුතුය. අද තමා යම් තැනක සිටීද එහි පූර්ණ ගෞරවය ඇයට හිමි බව ඔහු නොවලහා පවසන්නේය.

ඔහු සත්‍රිය රාජපුත්‍ර වීරසිංහය. SSH Japan හි අයිතිකරුය. රටවල් ගණනාවක් පුරා විහිදුණු මහාපරිමාණ වාහන සහ ඉඩම් ව්‍යාපාර ඔහු සතුය. මෙවැනි පතාක ව්‍යාපාරිකයකු බිහිවීම දක්වා ඇති කතාවෙහි අඩුවැඩිය ඔහුගෙන් දැනගැනීම වටින්නේ එය පිය පුතු උරුමයකින් ලැබුණු ත්‍යාගයක් නොවූ නිසාය.

" තාත්ත අපි කුඩා කාලෙදිම නැති වුණා. අම්මට සිද්ධ වුණා අපේ මුළු පවුලම තනියම රැක බලා ගන්න. ඉතින් අම්මා කළේ ආප්ප හදලා කඩවල්වලට දැම්මා, ඇඳුම් මහලා විකුණුවා, රසකැවිලි හදලා, පොල්අතු වියලා කීයක් හරි හොයාගත්තා. ඇතාපිට ආරච්චිලාගේ දෝන ඇලිස් නෝනා... ඒ මගෙ අම්මා... ඇය බොහොම ධෛර්යවන්ත ගැහැනියක්. අම්මගේ වැඩවලට ගැළපෙනම දරුවා වුණේ මම. ඒ දවස්වල ඉස්කෝල තිබ්බෙ දෙවරුවට. මම හවස්වරුවේ ඉස්කෝලෙ ගියේ. ඉතින් මම උදේ අම්මට උදව් කරනවා. ටික කාලයක් ගියාම අයියා කීවා අපි පො⁣ළේ ගිහින් මිරිස් විකුණලා අම්මගේ වෙ⁣ළෙඳාම නවත්වමු කියලා. මං ඒකට එකඟවෙලා අපි පොළේ මිරිස් විකුණන්න පටන් ගත්තා. අම්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන එක අපි එතකුවෙලා කළා."

ඔහුගේ කතාවෙහි ඒ දුර පැමිණෙන විට ඇතිවූ ගැටලු බොහොමයකි. පොළේ මිරිස් විකුණන කොල්ලකු කෙසේ නම් මෙවන් ව්‍යාපාර ජාලයක අයිතිකරුවකු වන්නේද? නමුත් මෙය කෘතියක පිටු අතර නිමැවුණු චරිතයක් නොවේ. මහපොළවෙහි පය ගසා ඇති යථාර්ථයෙහි සිටින මිනිසකු පිළිබඳ කතාවකි.

"අයියයි මායි වෙළෙඳාම කරගෙන යන අතරතුර අයියා හදිසියේ නැතිවුණා. අක්කා, නංගි, මල්ලිලා දෙන්නා සහ අම්මව රැකගන්න බර මගේ කර මත තිබුණේ. පොළේ මිරිස් විකුණන අතරතුරේම පො⁣ළේ සිල්ලර - තොග කඩයක් දැම්මා. SR Enterprises කියලා. රියදුරු පාසලක් දැම්මා SR Learners කියලා. රෙස්ටොරන්ට් එකකුත් දැම්මා Lion cafe කියලා. මේ අතරේ බ්‍රෝකර් වැඩත් කළා. වාහන ව්‍යාපාරයක් ⁣පොඩියට පටන් ගත්තා. මේ කාලෙ වෙද්දි ටිකක් සල්ලි තිබුණා."

ඔහුගේ ඉරණම් ගමන වෙනස් වන්නේ 1990දි ජපානයට යෑමට සහ පදිංචිවීමට ලත් අවස්ථාව සමඟින්ය. දරුවන් හා බිරිය සමඟ භාෂාවක් නොදන්න ඉන්න හිටින්න හරිහමන් තැනක් නොදත් රටකට ඔහු යන්නේ සිතෙහි ඇති දැඩි බව නිසා යැයි ඔහු කියයි. පකිස්ථාන ජාතිකයකුගේ උදව්ව ඇතිව ආරම්භ කරන නව ජීවිතයෙහි හැරවුම් ලක්ෂය වන්නේ ජපන් පුවත්පතකින් ඔහුගේ කතාව ලිවීමත් සමඟය.

"ඒ වෙද්දි ජපන් ජාතිකයන් හතරදෙනෙක් මං ගාව වැඩකළා. වාහන ව්‍යාපාරවලට මම ගෙදරින් එළියට ගියාම සතියක් වගේ එළියේ ඉන්නේ. බොහොම දුක් වින්දා. කෑම ගත්තේ යන්තම් බඩගින්න නිවාගන්න විතරයි. චූටි තැන්වල නිදියගත්තේ. ටොයිලට් එකේ ටැප් එකෙන් වතුර බිව්වේ. මගේ ළමයි තුන්දෙනා කෑවේ බිව්වෙත් එහෙමයි. නෝනා ඒ තුන්දෙනාට එකම ජූස් ටින් එක ටික ටික පොවලා බස් එකේවත් නොයා පයින්ම ගිහින් මේ ජීවිත ගොඩගන්න ඇගේ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කළා. නමුත් දරුවන්ව ඉගැන්නුවේ ලොකුම ඉස්කෝලවලට දාලා. එකම ඇඳුමම හෝද හෝදා දරුවන්ට අඳින්න දුන්නට මගේ නෝනට ඕන වුණා දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබාදෙන්න. ඉතින් අඩුවෙන් වියදම් කරලා ඒවා පිරිමහගත්තා. “

"පුතා සජිව් දැන් ලෝයර් කෙනෙක්. ඔහු ජපානේ ජීවත්වෙන්නේ. එක දුවක් සජිනි. ඇය වෛද්‍යවරියක්.

අමෙරිකාවේ ජීවත්වෙන්නේ. අනිත් දුව හංසි. දැන් ඉන්නේ නෙදර්ලන්ඩ්වල. ඇය ඇඩිවර්ටයිසර් කෙනෙක්. තුන්දෙනාම උසස් අධ්‍යාපන කටයුතුවලට බොස්ටන්, කොලොම්බියා වගේ ඇමෙරිකාවේ පාසල්වලට යැව්වා. ලංකාවේ ඉද්දි කලම්බු ඉන්ටර්නැෂනල් එකෙන් ඉගෙනගත්තා. ජපානෙත් සෙන් මේරිස් වගේ පාසල්වල ඉගෙන ගත්තා. ඒ කාලේ ලංකාවෙ ළමයි පුතාට කියලා තිබ්බේ බජාජ් සජිව් කියලා. අනිත් හැමෝම ලොකු ලොකු වාහනවලින් එද්දි මගේ පුතා ඉස්කෝලෙ ගියේ බජාජ් ත්‍රීවිල් එකක.

"මගේ ආර්ටිකල් එක පත්තරේ දැකලා ටී.එස්. බී ආයතනයෙන් මට කතා කළා වාර්තා වැඩසටහනක් කරන්න. මුළු ජපානයම ඒක බැලුවා. ඒක එයාලට ආදර්ශමත් කතාවක් වුණා. බැංකුවක් ඇවිත් මගෙන් ඇහුවා සල්ලි කොච්චරක් ඕනද කියලා. මට එයාලා ලක්ෂ 160ක් වගේ මුදලක් දුන්නා. ඒ මුදල් නියමිත වෙලාවට ගෙවපු නිසා මට දිගටම ඔවුන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණා. වාහන ගත්තමත් අදාළ ලියකියවිලි බැංකුවේ තැන්පත් කළා. ඉඩම් ගනිද්දි ඒ ඔප්පු බැංකුවේ තැන්පත් කළ නිසා ලක්ෂ 20,000ක් වගේ මුදලක් මට බැංකුවෙන් ඇපයක් නැතිව දුන්නා. ඒ නිසා ලංකාවේ විශාල ජාත්‍යාන්තර ව්‍යාපාරික ප්‍රජාවක් මම හැදුවා.

ඔහු ඒ ක්ෂේත්‍රයේ කෙතරම් ඉදිරියට පැමිණියාදැයි කීමට අටුවා ටීකා අනවශ්‍යය. ජපානයේ වැඩිම වාහන විකුණූ පුද්ගලයාට හිමි සම්මානය මෙන්ම වැඩිම වාහන මිලදී ගත් පුද්ගලයා ලෙසද ඔහු සම්මාන ලබා ඇත. ඔහු මේ වන විට ආර්ථිකය අතින් ඉහළ ධනයක් හිමි ව්‍යාපාරිකයෙකි. නමුත් තමන් උපන් රට වෙනුවෙන් කිරීමට ඇති යුතුකම් කොටස අවසන් නැති බව ඔහු පවසයි.

"ලංකාවේ ඇතාගල උඩට බුද්ධරූපයක් ගෙනත් තියන්න කටයුතු කළේ මම. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසීමියා රෝගය ⁣දරුණුවටම තියෙනවා. ඒ රෝගය හඳුනගන්න මැෂින් එකක් ඇමෙරිකාවෙන් ගෙනත් තැලසීමියා ඒකකය හැදුවා. මාවතගම රෝහලට තට්ටු තුනක විශාල මාතෘ නිවාසයක් හැදුවා. මාවතගම ඉස්කෝලෙට පරිගණක ඒකකයක් ඇතුළු සියලුම අඩුපාඩුකම් සම්පූර්ණ කළා. ඒ මම ඉගෙනගත්තු තැන නිසා. මාවතගම ප්‍රාදේශීය සභාවට කුණු අදින ලොරියක්, ගිලන්රථයක්, පුස්තකාලවලට පොත් ලබාදුන්නා. ඉල්ලීම් කරපු තැන්වලට ගිලන්රථ දුන්නා. මම ශීල ව්‍යාපාර, දාන ව්‍යාපාර ආදිය මගේ හිතේ හැටියට කළා. දවස් 365ක් පිරිත් කිය කිය බුද්ධරූප හැදුවා.

යුද්ධයේ අවසන් කාලයේදී ඊට ආශිර්වාද ඉල්ලලා පිරිත් කියන්න ඕන කියලා හිතුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑයත් පිරිත් මණ්ඩප්පයත් එකට එකතු කර පිරිත් නූල් ඇදලා පිරිත් කිව්වා. තායිලන්තේ දවස් 12ක් මහණ වෙලා සත්‍යක්‍රියා කළා. අපි පිරිත් කියන අතරේ යුද්ධය දිනුවා. මම මට පුළුවන් උපරිම විදියට මේ රටට හම්බකරලා දීලා තියෙනවා. මම මේ රටට ආදරෙයි. මම රටට ණය නැහැ. දහස් ගාණක් රැකියා අවස්ථා මගෙන් හැදුණා. පිරිත් කියපු එකෙනුත් බලාපොරොත්තු වුණේ රටට යහපතක්, ආශිර්වාදයක්. මට ඕන ජාත්‍යාන්තර ව්‍යාපාරික ප්‍රජාවක් ලංකාවේ හදන්න. ඒක මගේ හීනය. අපිට ඒකට අවශ්‍ය ශක්තිය ඇති තරම් තියෙනවා. ඒකට අවශ්‍ය මඟපෙන්වීමයි නැත්තේ මම ඒ මඟපෙන්වීම කරන්න කැමතියි." අරපිරිමැස්ම පිළිබඳ කතාවක් කියන අතරතුරේ දීම දීමෙන් ලැබෙන චිත්තප්‍රීතියෙහි උද්දාමය පිළිබඳ ඔහු අපට බොහෝ පාඩම් උගන්වයි.

[email protected]

Comments