ගහ කොළ සමඟ බැඳුණු ප්‍රේම මතක | සිළුමිණ

ගහ කොළ සමඟ බැඳුණු ප්‍රේම මතක

බොහෝ පෙම්වතුන්ට ආදරය ගැන ආදරණීය මතක ඇත්තේ ප්‍රේමයෙන් බැඳී වෙළී ආගිය තැන්වලය. මල් උයන්වතු, සයුරු වෙරළ, ගං ඉවුරු ආදි ගහකොළ පරිසරය සමඟ බැඳුණු නිසංසල පෙදෙස් පෙම්වතුන්ගේ නැවතුම් පොළවල්ය. ප්‍රේමයත් ගහ කොළ පරිසරය සමඟම බැඳි ඇතැයි සිතෙන්නේ එවැනි මතක, එවැනි දසුන් දකින විටය.

ආදරය ඇසුරු කරගනිමින් ලියැවී ඇති බොහෝ ගී වල උපමා රූපක යෙදි ඇත්තේද ඉරහඳ තාරකා, මල් ගංගා ඇළ දොළ ආදි වූ දහසක් ස්වාභාවික වස්තුන් සොඳුරු ලෙස වචන ලෙසින් ගළපමිනි. අතීතයේ පමණක් නොව වර්තමානයේද මෙවැනි ගී බොහෝමයක් අපට හමුවේ. මෑතකදි අසන්නට ලැබුණු එවන් සොඳුරු ගීතයකි මේ. ගීතය ගයන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන විශාරද තරිදු ජයසිංහය.

“මට මෙහෙම හිතෙනවා. අද වන විට මිනිසුන්ගේ හිත් වල කිසිම තෙතමනයක් නැහැ කියලා. මිනිස්සු මිනිස්සු ගැන විතරක් නෙමෙයි ගහ කොළ සතා සීපාවා ගැනවත් සංවේදී නැහැ. ප්‍රේමය කියන්නේ බොහෝ පරෙස්සමෙන් පරෙස්සම් කර තබා ගතයුතු දෙයක්. එවන් ප්‍රේමයක අසිරිය තමයි මේ. මම ගීත විශාල ප්‍රමාණයක් ගායනා කර නෑ.. නමුත් මා ගැයූ ගීත කිහිපයම රසිකයන් බොහෝ අගය කළා. එය මට විශාල දිරියක් වුණා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියාගේ කවි නිර්මාණවලට මම බොහෝම කැමැතියි. බොහෝ කලෙක සිට මම ඔහුගේ පද රචනයක් ගායනා කිරීමේ ආසාවෙන් සිටියේ. මම ඒ බව ඔහුට දැන්නුවාට පසු ඔහු මට මේ පද පෙළ ලබා දුන්නේ. රෝහණ වීරසිංහ මහත්මයා මේ පද පෙළට අපූරු තනුවක් නිර්මාණය කර දුන්නා. ගීතය ඇසු බොහෝ දෙනෙක් මේ ගැන ප්‍රසාදයෙන් කතා කරනවා. එය මට සතුටක්.

ගීතයකට දිය හැකි අර්ථ බොහෝය. ඔබේ අදහසට වඩා මගේ අදහස වෙනස් විය හැක. එය වෙනස් වන්නේ අප එය විඳින ආකාරය අනුවය.

 

“මිනිස් වනන්තරේ පුරා

අලුත් තෙතක් ලෙසින්

අපේ සිහිල් සෙනේ පොදක්

ඉතා සෙමෙන් ඉසිමි

ඔබෙයි මගෙයි සුසුම්.......“

ගීතය පිළිබඳ ගී පද රචක සම්මානනීය කවියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අදහස මෙසේය.

 

“මිනිසුන්ගෙන් පිරි වනාන්තරයට පෙම්වතුන් යුවළක් ඔවුන්ගේ ප්‍රේමය මුසු කරන්න සිතනවා. නමුත් ඒක එහෙම කරන්න අමාරුයි. හේතුව ප්‍රේමයට සෑම අතින්ම පහර දෙන්නයි සමාජය හැඩගැසි සිටින්නේ. පෙම්වතුන් සිය ප්‍රේමයේ සුසුම් මිනිස් පරිසරයට මුදා හරින්නේ. මේවා භෞතිකව පෙනෙන දේවල් නොවෙයි. මේ සුසුම් තමයි සුළඟ විදිහට හමා යන්නේ. පෙම්වතුන් සාමාන්‍යයෙන් කැමැතියි තම ප්‍රේමය අනන්‍යන්ට ප්‍රදර්ශනය කරන්න. නමුත් සැමවිටම එහෙම කරන්න බැහැ., ඒ නිසා ඔවුන් කරන්නේ තම නම්වල මුල් අකුරු , එහෙමත් නැත්නම් දෙදෙනාගේ නම් ගහක ගලක කොටලා.

එහෙමත් නැත්නම් ලියනවා. ඇත්තටම නම් ඒක සුන්දර අහිංසක සතුටක්. මතක් කර බැලුවොත් ඔබට සිහිපත් වේවී. ඔබ ගිය දුර පළාත්වල ප්‍රසිද්ධ ස්ථානවල ගස් ගල්වල පෙම්වතුන් තම නම් ලියා ඇති සැටි. ඇත්තටම නම් ඒක සුන්දර අහිංසක සතුටක් හැටියටයි මම දකින්නේ. පෙම්වතා එහෙමත් නැත්නම් පෙම්වතිය තම ප්‍රේමය ස්වාභාවික පරිසරයේ තබා හැඩ බලනවා. මේ අය ප්‍රේමය කොයිතරම් සුන්දරද කියනවා නම් ගස්වැල් සහිත ස්වාභාවික පරිසරය ඔවුන්ට සුමියුරු කවි පොතක් වගෙයි. උපමා රූපක ආදියෙන් කියන්නේ පෙම්වතියගේ මුහුණේ ඔවුන්ගේ සිතුවිලි නමැති සමනල්ලු නිසා මේ කවි පොතේ පිටුවල අමතර සිත්තම් පවා මැවෙනවා. ඔවුන් මේ මොහොත උදාකරගෙන තිබෙන්නේ බොහෝ රිදුම් බිඳුම් මැද අපමණ දුරක් ගෙවා පැමිණිමෙන් පසුවයි. ඒ නිසාම එහි වටිනාකම වැඩියි. සැබෑ ජීවිතය මුණ ගැහෙන්නේ එහෙම තමයි. ජීවිතයේ එක් මොහොතක් ඔවුන්ගේ ආත්මය හා බැඳි පවතින්නක් විය හැකියි. එය ජීවිතයේ සුන්දරම මොහොත විය හැකියි. එහි තනුව පරිසරයයි. එක තමයි මට ලියන්නට ඕන වුණේ.

කාලයක් තිස්සේ තරිදු මගෙන් ගීතයක් ඉල්ලමින් සිටියේ. මා මේ පද පෙළ ඔහුට දුන්නා. තරිඳු මෙය කැමැත්තෙන් භාරගත්තා. ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් මෙයට අපූරු තනුවක් නිර්මාණය කර එවා තිබුණා. එය ඇසූ විට මා එයට බොහෝම කැමැති වුණා. තරිදු මේ ගීතය බොහෝම හොඳට ගායනා කරනවා. ඔහුට හොඳ ගමන් මඟක් තියෙනවා යැයි මා විශ්වාස කරනවා. “ කවියෙකු ලෙසින් කා අතරත් ප්‍රසාදයට පත්ව සිටින මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සිය අලුත්ම ගීතයේ පද පෙළ ගැන පවසන්නේ එලෙසිනි.

[email protected]

 

Comments