ආරාධිත ‍කොලම | සිළුමිණ

ආරාධිත ‍කොලම

ලෙඩ රෝග ඇතුළු භයානක වසංගත... ස්වාභාවික විපත්.. මේ ඕනෑම දෙයක්, ඕනෑම කාලයක ඇති වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් ඒ දේවල්වලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් පිරිසක් ලෝකයේ ජීවත් වෙනවා. ඒ තමයි අවමවාදීන්. ඇති නැති ඕනෑම කාලයක පහසුවෙන් ජීවත් වීමට ඇති හැකියාව නිසා අවමවාදී ජීවන රටාව ලෝකයේ ඉහළින්ම පවත්වා ගෙන යන ජීවන රටාවක් බවට පත් වෙලා. අවමවාදීන් කියන්නේ සැලසුම් කරලා යමක් කරන්න කැමැති ඊට හොඳ හැකියාවක් තියෙන අයයි.

රැස් කිරීමට වඩා හිස් කිරීම අගයන අවමවාදීන් නිදහස් අවකාශවලින් පිරි නි‍වෙසකට ප්‍රිය කරනවා. අතේ ලොකු මුදලක් නැතත් ලැබෙන මුදල අනුව අත්‍යවශ්‍යම දේවල් තෝරාගෙන ඊට සරිලන ‍‍සේ සතුටින් ජීවත් ‍වෙන්න ඔවුන්ට පුළුවන්. තරු පන්තියේ හෝටලකට වුණත් සාමාන්‍ය ගමනකට වුණත් තමන්ගේ අනන්‍යතාව පවත්වා ගනිමින් සහභාගි වීමට ඇති හැකියාව වගේම, සරල ආහාරපාන, ගමන් බිමන් මඟින් තමන්ගේ පවුලේ අයගේ ප්‍රීතිය දනවන්න කටයුතු කරන්නටත් අවමවාදීන්ට හොඳ හැකියාවක් තියෙනවා.

ඔවුන් නිතරම උත්සහ කරන්නේ තමන්ගේ ගෙවත්තෙන් ලබාගත් බෝගවලින් සහ නි‍වෙසේදී පහසුවෙන් සකසා ගත හැකි සරල අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන එදිනෙදා ආහාරවේල සකස්කර ගැනීමටයි. පරිසර හිතකාමී ජීවිතයකට ප්‍රිය කරන ඔවුන් අපද්‍රව්‍යවලට තදින්ම අකමැති වගේම බොහෝ විට නිතරම සියල්ල අඩුවෙන්ම පාවිච්චි කරන නිසා ඔවුන්ට නිතරම ඉවත් කරන්න ‍වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අවමයි. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ගත් විට රුපියල් සියයේ ඇඳුම් දහයකට වඩා රුපියල් දහසේ කාලයක් පවතින එක ඇඳුමක වටිනාකම ඔවුන් හොඳින්ම හඳුනනවා.

අවුල් සහගත බවට අවමවාදීන් කිසිදු ප්‍රියතාවක් දක්වන්නේ නැහැ. එවැනි ස්ථාන විතරක් නෙවේ එවැනි පුද්ගලයන් ද තමන්ගේ ජීවිතයෙන් ඉවත් කර සැහැල්ලුවෙන් සතුටින් ජීවත් ‍වෙන්න ඔවුන්ට පුළුවන්. ඔවුන් එකිනෙකා අතර තිබෙන වෙනස්කම් නිසා හිත් රිදවීම් ඇතිකර ගන්නේ නැහැ. ගැටුම් ඇති කරගන්නෙත් නැහැ. කිසිවකු සමග ගැටුම්, තරහමරහ නැති නිසාම සතුට, සැහැල්ලුව නිතරම අවමවාදීන්ගේ ජීවිතවල රැ‍‍‍දෙන්නක්. ඔවුන් හැමවිටම උත්සාහ ගන්නේ ඉවසීම, දරාගැනීම, කරුණාව වැනි වටිනා මානව ගුණාංග පුහුණු කරමින් ජීවිතය ඉදිරියට ගෙනියන්නයි.

ඉතින්, මේ කාලයට විතරක්ම නොවේ. හැම කාලයටම වැදගත් වන අවමවාදී ජීවන රටාවකට හුරු වෙන්න ඕනෑම කෙනකුට පුළුවන්. ඔබත් ඊට කැමැති නම් අද සිටම, නැහැ, ‍මෙය කියවන ‍මො‍හො‍තේ සිටම එහි මුල් පියවර තබන්න.

Comments