තරුණ නාය­ක­ත්ව­යට ඉඩ දෙන්න ඕන නිසා සජිත්ට එරෙ­හිව එදා විනය තීර­ණ­යක් ගත්තේ නෑ | සිළුමිණ

තරුණ නාය­ක­ත්ව­යට ඉඩ දෙන්න ඕන නිසා සජිත්ට එරෙ­හිව එදා විනය තීර­ණ­යක් ගත්තේ නෑ

අතී­ත­යේදී බණ්ඩා­ර­නා­ය­කලා එජා­ප­යෙන් ඉව­ත්වෙලා ශ්‍රීල­නි­පය හදා ගත්තා. මෙදා ඔබ ශ්‍රීල­නි­පය සමඟ ආණ්ඩු­වක් හදල එජා­පය විනාශ කර ගත්තා කියල චෝදනා එල්ල වෙනවා?

ඒ වෙලාවෙ ආණ්ඩුව හැදුවේ ජනා­ධි­ප­ති­ව­ර­යයි. අපි ශ්‍රීල­නි­පය අපේ පක්ෂය ඇතු­ලට දා ගත්තේ නැ.යූඑන්පී විරෝධී කණ්ඩා­ය­මක් එක්ක යූඑන්පී එකට ආණ්ඩු­වක් කරන්න සිද්ධ වුණා.

එජා­පය එදා ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී තමන් ගේ අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් නොකර පොදු අපේ­ක්ෂ­ක­යෙක් විදි­යට ශ්‍රීල­නි­පයේ මෛත්‍රී­පාල සිරි­සේන ඉදි­රි­පත් කිරීම නිසා නොවෙ­යිද මේ තත්ත්වය ඇති වුණේ.?

එදා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී තර්ජ­න­යක් තිබුණා. තෙවන වතා­ව­ටත් ජනා­ධි­පති වෙන්න මහි­න්දලා එදා උත්සාහ කළා. එදා එජා­ප­යට ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කරන්න තිබුණා. නමුත් අපිට විරුද්ධ බල­වේග මැඬ පව­ත්වන්න තමයි අපි අලුත් ක්‍රම­යක් අනු­ග­ම­නය කරන්න තීර­ණය කළේ. ඒ අතරේ සෝභිත ස්වාමී­න්ව­හන්සේ ඇතුළු සිවිල් සංවි­ධාන බොහෝ­ම­යක් අපිට බල­පෑම් කළා; එජාප නොවන එජාප ලකු­ණින් තොරව පොදු අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් කරන්න කියල. ඒ අනුව අපි චන්ද්‍රිකා කුමා­ර­ණ­තුංගගෙන් ඇහුවා නැවත ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එන­වද කියල. ඇය බැහැ කිව්වා. ඒ වෙන කොටත් මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට උන­න්දු­වක් දක්ව­නවා කියල අපි දැන ගෙන හිටියා. ඒ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ඉද­ලම ඔහු ඒ වෙනු­වෙන් යම් යම් ක්‍රියා­මාර්ග අරන් තිබුණා.

ඒ කියන්නේ ඔබ­ලාට ඕනෑ වුණේ එජා­පය දින­ව­න­වාට වඩා රාජ­ප­ක්ෂලා පරා­ජය කර­න්නයි?

ඒ වෙන කොට මහින්ද සමඟ හිටපු පිරි­ස­කුත් ඔහු තෙවන වතා­ව­ටත් ජනා­ධි­පති වෙන­වාට කැම­ත්තක් තිබුණේ නෑ. ඒ අයත් අපිත් එක්ක පොදු අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් කරන්න එක­ඟතා ඇති කර ගෙන තිබුණා. ඒ අනුව තමයි අව­සා­නයේ අපි හැමෝම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මෛත්‍රී­පාල පොදු අපේ­ක්ෂ­කයා විදි­යට තෝරා ගත්තේ. එදා සෝභිත ස්වාමී­න්ව­හ­න්සේලා මෛත්‍රී­පාල සිරි­සේ­නට කීවේ දේශ­පා­ලන පක්ෂ­යක නාය­ක­යකු නොවී රටේ නාය­කයා විදි­යට පොදුවේ හැම දෙනා සම­ඟම කට­යුතු කරන්න කිය­ලයි. නමුත් පස්සේ ඒ හැම දෙයක්ම වෙනස් වුණා.

හොඳයි ඔබලා එදා පිහි­ටවා ගත් ආණ්ඩු­ව­ටත් තුනෙන් දෙකේ බල­යක් තිබුණේ නෑ. නමුත් ඔබලා සූක්ෂ්ම විදි­යට තුනෙන් දෙකේ බල­යෙන් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වන සංශෝ­ධ­නය සම්මත කර ගත්තා. ඒ විදි­යට ආණ්ඩුව කර ගෙන යන්න හැමෝ­ගෙම සහය නොලැ­බුණේ ඇයි?

ඒකට මුල්ම හේතුව ශ්‍රීල­නි­පයේ ඇතුළේ තිබුණ අර්බු­ද­යයි. මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­පති ශ්‍රීල­නි­පයේ නාය­කයා වෙන­වාට ශ්‍රීල­නි­පය ඇතු­ළේම බොහෝ දෙනෙකු කැමති වුණේ නෑ. ඒ වගේම එජා­පය සමඟ ආණ්ඩු­වක් හදා ගත්තු එක­ටත් ශ්‍රීල­නි­පය ඇතු⁣ළෙන් මෛත්‍රී­පා­ලට විරෝ­ධය එල්ල වුණා. මේ නිසා මුල ඉඳ­ලම ඒ අය දෙකට බෙදුණා. මෛත්‍රී­පාල ශ්‍රීල­නි­පයේ නාය­ක­ත්වය බාර නොගත්තා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.

රනිල් වික්‍ර­ම­සිං­හට "ක්ලීන් මෑන්" කියල නමක් පට­බැ­ඳුණා. ඒ චරි­ත­යට මොකද වුණේ? නැති වෙලාද නැති කර ගෙනද?

ඒ මොකුත් වෙලා නෑ. මට විරු­ද්ධව චෝදනා නෑ. මම නිත­රම කියන්නේ අපේ හැකි­යාව අනුව වැඩ කරන්න කිය­ලයි. අපි හැම ක්ෂේත්‍ර­යේම වැඩ කරන්න පුළු­වන් බව පෙන්වලා තියෙ­නවා. අනා­ග­තයේ ජන­තාව බලය දුන්නොත් නැවත අපි විනි­වි­ද­භා­ව­යෙන් යුතුව අවං­කව වැඩ කරල පෙන්ව­නවා. ඒ කාලෙත් මම හැම අමා­ත්‍යාං­ශ­ය­ක­ටම මුදල් ලබා දුන්නා වැඩ කරන්න. සම­හර අමා­ත්‍යාං­ශ­ව­ලට වැඩ කර ගන්න බැරි වුණා.

ඔබ කිය­නවා ඔබට චෝදනා නෑ කියල. අනෙක්වා පැත්ත­කින් තියල ඔබේම පක්ෂයේ හිටපු අය කියන එජාප නාය­ක­ත්වය බලෙන් අල්ලා ගෙන ඉන්නවා කියන චෝද­නා­වත් බොරු­වක්ද?

මම එජා­පයේ නාය­ක­ත්වය බලෙන් තියා­ගෙන නෑ. පසු­ගිය එජාප සමු­ළු­වේදී මම එජාප නාය­කයා විදි­යට පිළි­ගෙන තිබෙ­නවා. ඒ වෙලාවෙ ඒකට සජි­ත්ලත් එකඟ වුණා. මේ මැති­ව­ර­ණ­යෙන් පස්සේ අලුත් මන්ත්‍රී­වරු පත් වුණාම එජාප නාය­ක­ත්වය ගැන නැවත කතා කරන්න තීන්දු වුණා. එහෙම එක­ඟ­තා­වක් තිබි­යදී මැති­ව­ර­ණය කරන්න ඒ අය පක්ෂ නාය­ක­ත්වය ඉල්ල­නවා. අපි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ අපේ­ක්ෂ­කයා ලෙස සජිත් පත් කළා. එහෙ­මත් කරලා මැති­ව­ර­ණ­යෙන් පස්සේ මේ ගැන කතා කරන්න තීන්දු­වක් අර ගෙන තිබි­යදී ඒ අය අපෙන් වෙන්වෙලා එජා­පයේ අයි­තිය දිනා ගන්න උසාවි ගියා. එජාප සාමා­ජි­ක­ත්වය අහෝසි කරන්න එපා කියල ඒ අය උසාවි ගියත් ඒකට උසා­විය තීන්දු­වක් දුන්නෙ නෑ.

සජිත් ප්‍රේම­දාස මීට පෙරත් එජා­ප­යට විරැද්ධව කට­යුතු කර තිබෙන බවට චෝදනා එල්ල වුණා.ඒ කාලේ ඔහුට විරු­ද්ධව විනය පිය­වර නොගත් නිසා අද මේ තත්ත්වය ඇති වුණා නොවෙ­යිද?

තරුණ දේශ­පා­ල­න­ඥ­යන් පක්ෂය තුළ ටිකක් දඩ­බ්රව හැසි­රුණා කියල ඒ හැම වෙලා­ව­කම ඔවුන්ට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගන්න ගියොත් ඒ අය ගේ දේශ­පා­ලන අනා­ග­තය විනාශ වෙන්න පුළු­වන්. සජිත් ගැනත් අපි කල්පනා කළේ එහෙ­මයි. සජිත් ගේ පියා එක්ක මම හොඳට වැඩ කරල තිබෙ­නවා. ඒ නිසා සජිත් මෙරටේ නාය­ක­ත්ව­යට පත් වෙන එක වළ­ක්වන්න මට ඕන වුණේ නෑ. අපි ඒ සඳහා ඔහුට අව­ස්ථාව දුන්නා. එකෙන් එයා ප්‍රයෝ­ජන ගත්තෙ නෑ.ඒකට මට කරන්න දෙයක් නෑ.

ඔබ කියන්නේ සජිත් ප්‍රේම­දාස ආරක්ෂා කළේ ඔහු පක්ෂයේ නාය­ක­ත්ව­යට ගෙන එන්න ඕනෑ නිසා කිය­ලද?

මම කියන්නේ කවුරු වුණත් දේශ­පා­ලන රැස්වී­ම්ව­ලදී කියන දේවල් බර­ප­තළ විදි­යට සලකා විනය ක්‍රියා­මාර්ග ගත්තොත් ඒ අය ගේ දේශ­පා­ලන අනා­ග­තය විනාශ වෙන්න පුළු­වන් කිය­ලයි. සජිත් සම­හර අව­ස්ථා­වල කරපු ප්‍රකාශ නිසා අපේ පක්ෂ­යට සම­හර මැති­ව­ර­ණ­ව­ලදී අවාසි වුණා. එහෙම වුණත් මම බැලුවෙ මේ අය ඉදි­රි­යට ගෙනල්ලා නිය­මිත කාල­යේදී නිය­මා­කා­ර­යෙන් ඔවුන්ට හිමි තැන් ලබා දෙන්නයි.

ඔබ කියන්නේ සජිත් ප්‍රේම­දාස ඔහු විසින්ම ඔහුගේ දේශ­පා­ලන අනා­ග­තය විනාශ කර ගත්තා කිය­ලද?

ගිය­වර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ එජාප අපේ­ක්ෂ­ක­ත්ව­යත් ඔහුට දුන්නා. මෙවර මහ මැති­ව­ර­ණයේ අග­මැති අපේ­ක්ෂ­ක­ත්ව­යත් ඔහුට දෙන්න එක­ඟ­තා­වක් තිබුණා. අපි උත්සාහ කළේ එජා­ප­යට බහු­ත­ර­යක් ඇති සන්ධා­න­යක් හදා ගන්නයි. ඒ අතරේ තමයි මේ අය වෙනම පක්ෂ­යක් පිහි­ටුවා ගත්තේ. එහෙම කරපු අය ගැන දැන් අනෙක් දේවල් කතා කරල වැඩක් නෑ. ඒ අය කළ දේ හරිද වැර­දිද කියල උසා­වි­යේ­දීත් පෙනු­ණානේ. ආයේ මොන­වද ඒ ගැන කතා කරන්නෙ.

ඔබට ආණ්ඩු හදල දුන්නත් ඒවා කර ගෙන යන්න බෑ කියල ඔබේ පක්ෂ­යේම ප්‍රබ­ල­යකු වු ලක්ෂ්මන් කිරි­ඇල්ල කරන චෝද­නා­වට ඔබ මොන­වද කියන්නේ?

අපිට එජා­පය විදි­යට ආණ්ඩු­වක් හදන්න අව­ස්ථාව ලැබුණේ දෙව­තා­වයි. ඔය කියන කිරි­ඇ­ල්ලත් වෙන තැනක ඉදලා තමයි එජා­ප­යට ආවේ. 2002 එව­කට ජනා­ධි­ප­ති­නි­යට බලය තිබුණා ඇම­ති­කම් පවරා ගන්නයි ආණ්ඩුව විසු­රුවා හරි­න්නයි. 2015 දි අපි ඒ ජනා­ධි­පති බලය ඉවත් කළා. ඊට පස්සේ සජිත් ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී පරා­ජය වුණාට පස්සේ අපේ කණ්ඩා­යම තීන්දු­වක් ගත්තා ආණ්ඩු­වෙන් ඉවත් වෙන්න. අපි හැමෝම එකට එක­තු­වෙලා තීරණ අර­ගෙන ඒවා ක්‍රියා­ත්මක කරල ඒකෙන් ඇති වෙන ප්‍රති­ඵ­ල­යට මට චෝදනා කරල වැඩක් නෑ. මම හැම­දාම එජා­පය ආරක්ෂා කළා. අපිට බල­යක් ලැබු­ණොත් මම ඒක කාට­වත් දෙන්න කට­යුතු කරල නෑ. මම පුදුම වෙන්නේ එජා­ප­යට පිටින් ආපු අය මෙවැනි චෝදනා කරන එක ගැනයි.

එජාප ප්‍රති­ප­ත්ති­වල ඔබේ කාලයේ යම් වෙන­සක් සිද්ධ වුණාද?

කාලී­නව වෙනස් විය යුතු කරුණු අපි වෙනස් කරල තියෙ­නවා. ඒ වෙනස් වූ කරුණු ගැන අපි ජන­තාව දැනු­වත් කරල තියෙ­නවා. මෙවර මහ මැති­ව­ර­ණ­ය­ටත් අපේ එජා­පය පම­ණයි ප්‍රති­ප­ත්ති­යක් විදි­යට වැඩ­පි­ළි­වෙළක් ඉදි­රි­පත් කරල තියෙන්නේ. රටේ ලොකයේ වෙනස් වීම් එක්ක ඊට ගැළ­පෙන විදි­යට අපිත් වෙනස් වෙන්න ඕනෑ. එහෙම නැතුව ඉදි­රි­යට යන්න බෑ.

ඔබ එජා­පය නියෝ­ලි­බ­ර­ලි­ස­ම්ව­ද­යට තල්ලු කරන්න හද­න­වාද?

අපේ පක්ෂය ඔය එක එක තැනට තල්ලු කරන්න අපිට වුව­මනා නෑ. අපේ පක්ෂය (social democracy)සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යක්. වෙළඳ ආර්ථි­කය සමඟ සමාජ සාධා­ර­ණ­ත්වය වෙනු­වෙන් අපි කට­යුතු කර­නවා. ඒක තමයි යුරෝ­පයේ රට­වල ක්‍රියා­ත්මක වෙන්නේ. ජර්ම­නියේ ප්‍රධාන පක්ෂ දෙකම අනු­ග­ම­නය කරන්නේ මෙි ක්‍රම­යයි.

ඔබට එල්ල වෙන ප්‍රධාන චෝදනා අත­රින් මහ බැංකුවෙ මුදල් මංකො­ල්ලය බර­ප­ත­ළයි. මුදල් අමා­ත්‍යාං­ශය යටතේ තිබුණු මහ බැංකුව එදා ඔබ අග­මැ­ති­ව­රයා විදි­යට ඔබේ විෂ­ය­යක් කර ගත්තේ ඇයි?

මහ බැංකුව ස්වාධීන කරල ශක්ති­මත් කරන්න ඕනෑ වුණා. ඒ සඳහා ඒක අග­මැති ගේ විෂය පථ­යට ඇතු­ළත් කරල මහ බැංකුව ස්වාධීන කරන්න කෙටුම් පත­කුත් සකස් කළා. ඇම­රි­කා­වෙන් ඇවිල්ලා එකට උප­දෙස් දුන්නා. IMF එක එක්ක එක­තු­වෙලා තමයි මහ බැංකුව ස්වාධීන ආය­ත­න­යක් කරන්න කෙටු­ම්පත් හැඳුවේ. ඒක අපි ඔක්කොම අනු­මත කළා. මුදල් අමා­ත්‍යාං­ශ­යට ඕනෑ ඕනෑ විදි­යට මහ බැංකුව ණය ගන්න එක වළක්වා ගන්න තමයි ඒක අග­මැති යට­තට පත් කළේ. ජාතික ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරිමෙි ස්වාධී­න­ත්වය මහ බැංකු­වට තියෙන්න ඕන. මම ඒක ඇති කරන්න උත්සාහ කළා. මුදල් අමා­ත්‍යාං­ශය ණය ගන්න මහ බැංකු­වට බල­පෑම් කළා. ඒ අයට ඒක කරන්න බෑ කියල මට කීවා. ඒ නිසා තමයි මහ බැංකුව ස්වාධීන ආය­ත­න­යක් කරන්න මම පිය­වර ගත්තේ.

ඔබේ අමාත්‍ය මණ්ඩ­ල­යේම සම­හරු විරුද්ධ වෙද්දී ඇයි ඔබ අර්ජුන් මහේන්ද්‍ර මහ බැංකුවේ අධි­පති ලෙස පත් කළේ?

කැබි­නට් එකේ කවුරුත් විරුද්ධ වුණේ නෑ. මට කියන්ක කවුද විරුද්ධ වුණේ කියලා.

රාජිත සේනා­රත්න අමා­ත්‍ය­ව­රයා ප්‍රසි­ද්ධි­යේම කීව එදා ඔය පත්කි­රී­මට ඔහු විරුද්ධ වුණා කියල ඒක බොරු­වක්ද?

නෑ නෑ එදා කවු­රුත් විරුද්ධ වුණේ නෑ. දැන් ඒ අය තැන් තැන්ව­ලට පැනලා කිය­නවා එදා විරුද්ධ වුණා කියල. ජනා­ධි­පති කොමි­සම පවා පිළි­ගත්තා අර්ජුන් මහේන්ද්‍රන් මේ තන­තු­රට සුදු­සුයි කියල. ඇත්ත­ටම මෙතැන ප්‍රශ්නය තියෙන්නේ එදා පළමු බැදු­ම්කර වෙන්දේ­සිය අර්ජුන් ගේ බෑනට දැනුම් දුන්නද කිය­ලයි ප්‍රශ්න­යක් මතු වු‍ණේ. ඕකට ඉස්සෙල්ලා අජිත් නිවාඩි කබ්රාල් ගේ සහෝ­ද­රි­යත් ඒ සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රි­යක් ලෙස කට­යුතු කරල තියෙ­නවා. මට විරුද්ධ වුණ කතා කියන්නේ දැන් අපෙන් අයින් වෙලා ගිහිල්ලා. මටත් ඒ ගොල්ලා ගැනත් හුඟක් කතා කියන්න පුළු­වන්. ඒවා කියල ඡන්දය අර ගෙන වැඩක් නෑ. අද අපි මැති­ව­ර­ණ­ය­කට මුහුණ දීල ඉන්නේ ජනතා ප්‍රශ්න විස­ඳන්න පුළු­වන් ආණ්ඩු­වක් හදා ගන්නයි. මාධ්‍ය­යෙ­නුත් නිතර නිතර මේවා මතු කරන්නෙ ආණ්ඩුව මේ ගැන නිසි පිළි­තු­රක් නොදෙන නිසයි.

ඔබගේ ආණ්ඩු­වක් යටතේ අපේ රට අනා­ගා­මික රාජ්‍ය­යක් කරන්න පිඹු­රු­පත් සකස් කරල තියෙ­න­වාද?

මොකක්ද ඔය අනා­ගා­මික රාජ්‍ය­යක් කියන්නේ. අපි එහෙම දෙයක් කොහෙ­වත් සඳ­හන් කර­ල­වත් කිය­ල­වත් නෑ. අපි හැම­දාම බුද්ධා­ගම ප්‍රමු­ඛ­ස්ථා­නයේ තියල ඒක පිළි­ග­න්නවා. ඒ හැරෙන්න වෙන ක්‍රම­යක් ගැන අපි කතා කරල නෑ. මෙරටේ දේශ­පා­ලන පක්ෂ හැම එක­කම පිළි­ගැ­නීම ඒකයි. දෙමළ සන්ධා­නය පවා ඒ ක්‍රමය පිළි­ග­න්නවා. අපේ රටේ ඕනෑ කෙන­කුට ඕනෑ ආග­මක් අද­හන්න නිද­හස තියෙ­නවා. ඒ හැමෝම බුද්ධා­ගම ප්‍රමු­ඛ­ත්වහෙි තිබෙ­නවා කියල පිළිගන්න ඕන. කතෝ­ලික කාදි­න­ල්තු­මත් ඒක ප්‍රසි­ද්ධියේ කියල පිළ­ිගෙන තිබෙ­නවා. අපි කොහො­මද ඒවා වෙනස් කරන්නෙ. ථෙර­වාද බෞද්ධ සම්ප්‍ර­දාය ආරක්ෂා කරන මධ්‍ය­ස්ථා­නය අපේ ලංකා­වයි. ඇයි අපි ඒක නැති කරන්නෙ.

මේ මහ මැති­ව­ර­ණ­යට එජා­ප­යෙන් වැඩි­පුර ඉදි­රි­පත් කරලා තිබෙන්නෙ අලුත් මුහුණු. ඔබ හිත­න­වද ඔවුන් සමඟ පක්ෂ­යට ජය ගන්න පුළු­වන් වෙයි කියල?

අපේ රටේ තරු­ණ­යන්ට ඕන වුණේ අලුත් මුහුණු. සම­හර අලුත් මුහුණු දාන­වාට කැමති වුණේ නෑ. නමුත් සමා­ජය ඉල්ලුවේ අලුත් මුහුණු නිසා අපි තීර­ණය කළා මෙවර මැති­ව­ර­ණ­යට වැඩි­පුර අලුත් මුහුණු ඉදි­රි­පත් කරන්න. අපි විත­රයි මේ මැති­ව­ර­ණයේ දී තරු­ණ­යන්ට වැඩි අව­ස්ථා­වක් දීල තියෙන්නෙ. පොහො­ට්ටු­ව­වත් එහෙම කරල නෑ. ජන­තාව තීර­ණය කරාවි ඒ අය­ගෙන් පාර්ලි­මේ­න්තු­වට එවන්න ඕනේ කවුද කියල.

පසු­ගිය මැති­ව­රණ වල ප්‍රති­ඵල නීරි­ක්ෂ­ණය කළාම පෙනෙන දෙයක් තමයි එජා­පට බලය තිබුණු ප්‍රදේ­ශ­වල ඒ බලය දියාරු වෙලා කියන එක. ඒ අනුව ගත්තත් එජා­පය තුළ ප්‍රති­සං­වි­ධා­න­යක් අව­ශ්‍ය­යයි කියල හිතෙන්නෙ නැද්ද?

එජා­පයේ ප්‍රති­සං­වි­ධා­න­යක් අව­ශ්‍ය­යයි. අපිට සම­හරු ප්‍රදේ­ශ­වල බලය ගිලි­හුනේ එජා­පයේ වර­දින් නොවෙයි. එජා­ප­යට ඇවිල්ලා සමහර අය කරපු කියපු දේවල් නිසා තමයි අපිට මේ තත්ත්වය ඇති වුණේ. අපි එජා­පය රැක ගන්න කැප වුණා මදි කියල හිත­න්නත් පුළු­වන්. එජා­යයේ හුඟක් අය ඡන්දය දීමෙන් වැළකී සිටි බව­ටත් තොර­තුරු තියෙ­නවා. අපි එජා­පයේ අපේ­ක්ෂ­ක­යෙක් 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කරල අනෙක් හැමෝම එයාට සහය දුන්නා නම් මේ තත්ත්වය ඇති වෙන්නෙ නෑ. එජා­පයේ අන­න්‍ය­තාව නැති වුණා කියල අපේ පාක්ෂි­ක­යන්ට හැඟි­මක් ආව නිසා තමයි ඒ බොහෝ අය ඡන්දය දාන්න ගියේ නැත්තේ. මේවාට හේතුවූ කාරණා මම කියන්න වුව­මනා නෑ.

උතුරේ ජන­තා­වගේ ප්‍රශ්න­යට ඔබලා විස­දුම් දෙන්න උත්සහ කළත් දෙමළ නාය­ක­යන්ට උතුරේ ප්‍රශ්නය විසඳා ගන්න වුව­ම­නා­වක් තිබෙන බව ඔබ හිත­න­වාද?

ඒ අය­ටත් උතුරේ ජන­තාව මුහුණ දෙන ගැටලු වලට විස­ඳුම් හොයන්න වුව­ම­නාව තිබෙ­නවා. අපි ඔක්කොම එක­ඟ­වෙලා තිබෙ­නවා ඒකීය රාජ්‍ය­යක් තුළ පම­ණයි මේ විස­ඳුම් හොයන්න පුළු­වන් කියල. පොලිස් බල­තල හා ඉඩම් බල­තල පළාත් සභා­ව­ලට දෙන්න ඕනද; දෙන­වද කියන ප්‍රශ්න­යක් තියෙ­නවා. මේ පිළි­බඳ කරුණු හොයන්න පත්කරපු පාර්ලි­මේන්තු තේරිම් කාරක සභා­වෙිදී දකුණේ පළා­ත්වල අපේ මහ ඇම­ති­ව­රුත් මේ බල­තල ඉල්ලුවා. පළාත් සභා­වල ඉන්න අයට වැඩි බල­තල වුව­මනා බව අපිත් පිළි­ග­න්නවා. අපි කියන්නේ පොලිස්, ඉඩම්, බල­තල මධ්‍ය රජ­යට තියා ගෙන සෞඛ්‍ය අධ්‍යා­පන වැනි අංශ ගණ­නා­වක බල­තල පළාත් සභා­ව­ලට දෙන්න අපිට සාකච්ඡා කරන්න පුළු­වන්.

මට ඔබ කෙළින් උත්ත­ර­යක් දෙන්න උතුරු නැගෙ­න­හිර ඔය තියෙ­නවා යැයි කියන ප්‍රශ්න­ව­ලට ඔබේ පක්ෂයේ විස­ඳුම මොකක්ද?

අපේ පක්ෂයේ ස්ථාව­රය තමයි 13 වන සංශෝ­ධ­නයේ ඉතිරි කොට­සත් ක්‍රියා­ත්මක කරල ප්‍රශ්න­ව­ලට උත්තර හොයා ගන්න එක. අපි දැන් විස­ඳුම ළඟට ඇවිල්ලා තියෙන්නෙ. නමුත් අද රට මුහුණ දී තිබෙන අභි­යෝ­ගය තමයි කොරෝනා වසං­ග­තය හා ආර්ථි­කය පහළ වැටීමෙි අර්බු­දය. මේ ප්‍රශ්න­ව­ලින් අපි ගොඩ එන්න ඕන. එහෙම නොවු­ණොත් එක දෙය­ක්වත් කරන්න බෑ. උතුරු නැගෙ­න­හිර ඔය කියන තරම් ලොකු ප්‍රශ්න­යක් නෑ අපි දැන් ඒවා ගැන කතා කරල තියෙ­නවා. අපි හරි­යට ක්‍රියා කළොත් ඒ ප්‍රශ්න විසදා ගන්න පුළු­වන්.

අත්දැ­කීම් බහුල දේශ­පා­ල­න­ඥ­යෙක් විදි­යට මහින්ද රාජ­පක්ෂ හා ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රුන් ගේ වෙන­සක් ඔබ දකි­න­වාද?

මහින්ද රාජ­පක්ෂ කියන්නේ දේශ­පා­ල­ඥ­යෙක්. එයා දිග­ටම දේශ­පා­ල­නයේ ඉන්න කෙනෙක්. ඒක දාල යන්නේ නෑ. ගෝඨා­භය රාජ­පක්ෂ දේශ­පා­ල­න­ඥ­යෙක් විදි­යට නොවෙයි ඔය තන­තු­රට පත් වුණේ. ජන­තා­වට සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­නය එපා වී තිබෙන්නේ. එහි වාසිය ගෝඨා­භය රාජ­ප­ක්ෂට හිමි වුණා. දේශ­පා­ලන අත්දැ­කීම් නැති කෙනෙකු හැටි­යට සම­බ­රව රට පාල­නය කිරීම තමයි ගැට­ලු­වක් වී තිබෙන්නේ. මේ නිසා ගෝඨා­භය මේ වෙන කොට අසා­ර්ථක වී සිටි­නවා.

පාස්කු ප්‍රහා­රය ගැන ඊට පෙර ඔබ­තු­මාට තොර­තුරු වාර්තා වුණේ නෑ කියන්නේ ඇත්තද?

ඔව් මට ඒ ගැන කිසිම පූර්ව තොර­තු­රක් ලැබුණේ නෑ.

ඔබ වග­කී­මෙන්ද මේ කතා කරන්නේ? ඔබ එව­කට අග­මැති නේද?

මම කියන්නේ මේ සිද්ධි­යට ආණ්ඩු­වක් විදි­යට වග කියන්න ඕන. නමුත් මම කියන්නේ මට තොර­තුරු ලැබුණේ නෑ කිය­ලයි. ඒ නිසා තමයි අපි මේ ගැන පරි­ක්ෂණ පව­ත්වන්න කියන්නෙ. මට­වත් ආර­ක්ෂක නියෝජ්‍ය ඇම­ති­ට­වත් තොර­තුරු ලැබිල තිබුණේ නෑ. ඒ වෙලාවෙ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන හිටියේ රට. එතැන තමයි ගැට­ලුව තිබෙන්නේ.

මේක ඔබගේ බර­ප­තළ ප්‍රකා­ශ­යක්. ඔබ එවක අග­මැති විදි­යට ඔබට තොර­තුරු ලැබුණේ නෑ කියන කාර­ණය විශ්වාස කරන්න පුළු­වන් ද?

ඒක තමයි මමත් කියන්නේ මේක බර­ප­ත­ළයි. ඒකයි මම කියන්නේ පරි­ක්ෂණ කරන්න කියල.

ඔබේ විදේ­ශීය ප්‍රති­ප­ත්තිය කොහො­මද ?

අපේ විදේශ ප්‍රති­ප­ත්තිය හැම රාජ්‍ය­යක් එක්කම මිත්‍ර­ත්ව­යෙන් වැඩ කිරී­මයි.

ඔබට ඇම­රි­කන් ගැති ප්‍රති­ප­ත්ති­යක් තියෙ­න­වාද?

අපිට ඇම­රි­කාව සමඟ හැම­දාම මිත්‍ර­ක­මක් තිබුණා. චීනය සම­ඟත් එහෙ­මයි. එක වෙලා­වක ඇම­රි­කාව අපි සමඟ අම­නාප වුණා; චිනය එක්ක ගිවි­සුමි අත්සන් කළා කියල. අපි කියු­බාව සම­ඟත් එකට වැඩ කළා.

මේ මැති­ව­ර­ණයේ දී ඔබ­ලාට ජය ගන්න බැරි වුණොත් පොහො­ට්ටු­වට සම්බන්ධ වෙන්න කති­කා­වක් තිබෙ­න­වාද?

නෑ, එහෙම කිසිම දෙයක් නෑ. අපි කියන්නේ ආණ්ඩු­වක් හදන්න අපිට බලය දෙන්න කිය­ලයි.

මෙතෙක් මේ රටේ බිහි වූ නාය­ක­යන් ගෙන් ඔබ වඩාත් ප්‍රිය කරන නාය­කයා කවුද?

ම⁣ම වඩාත් ප්‍රිය කරන්නේ අපේ පක්ෂයේ සිටි ඩී.එස්.සේනා­නා­යක හා ජේ.ආර්.ජය­ව­ර්ධන යන නාය­ක­ය­න්ටයි.

ඔබෙි පර­මා­දර්ශී නාය­කයා කවුද?

ලෝකයේ බොහෝ නාය­කයෝ ඉන්නවා. නමුත් අපිට සේවය කළ අයට අපි ගරු කර­නවා. එක අයෙක් ගැන එහෙම කියන්න බෑ.

Comments