අපේ වැඩි පිරි­සක් පත් වුණොත් අපි පාර්ලි­මේ­න්තුව ශුද්ධ කරන අර­ග­ලය පටන් ගන්නවා | සිළුමිණ

අපේ වැඩි පිරි­සක් පත් වුණොත් අපි පාර්ලි­මේ­න්තුව ශුද්ධ කරන අර­ග­ලය පටන් ගන්නවා

එළ­ඹෙන මහ මැති­ව­ර­ණ­යෙන් පසු ජාතික ජන බල­වේ­ගයේ ක්‍රියා­කාරී සැලැස්ම මොකක්ද?

මේ මැති­ව­ර­ණ­යෙන් පස්සේ තමයි අපේ රටේ දේශ­පා­ල­නය දිග හැරෙන්නෙ. මොකද ආණ්ඩු­ව­කට හොඳ කාලය ඡන්ද කාල­යයි. අනෙක අලුත් ආණ්ඩු­වයි. ඔය දෙකම මේ ආණ්ඩු­වට තියෙ­නවා. එහෙම නම් දෙගු­ණ­යක් ‍හොඳ වෙන්න ඕනෑ. නමුත් මේ ආණ්ඩුව දැන් කරන දෙයින්ම පේනවා ඡන්ද­යෙන් පස්සේ තත්ත්වය තවත් හොඳ නැති වෙන බව. ඒ වාගේම ආර්ථි­කය ගැඹුරු අර්බු­ද­ය­කට මුහුණ දී තිබෙ­නවා. මේ නිසා ජන­තාව පීඩා­වට පත් කරන තීන්දු තීරණ ගන්න වෙනවා. අන්න එතැ­නදි තමයි ජාතික ජන­බ­ල­වේ­ග­යට යම් ශක්ති­මත් බල­වේ­ග­යක් ගොඩ නැගෙන්නෙ. එතැන් සිට තමයි අපේ දේශ­පා­ලන සිති­යම එළෙන්නෙ. ඒ නිසා එදාට අපට ආණ්ඩු බලය නොති­බු­ණත් ප්‍රධාන විප­ක්ෂය නොවු­ණත් අපේ දේශ­පා­ලන ගම­නට විශාල ජව­යක් අගෝස්තු පස්වැ­නි­දා­යින් පසුව ගොඩ නැගේවී. ඒ අනුව තමයි අපේ ක්‍රියා­කා­රි­ත්වය සැල­සුම් කළ යුතු ‍වන්නෙ.

යහ­පා­ලන ආණ්ඩුවේ ඔබ විප­ක්ෂයේ හිටි­යත් ආණ්ඩුව සමඟ එකට වැඩ කළා. මෙව­රත් ඔබලා විප­ක්ෂයේ සිට පත්වන ආණ්ඩුව සමඟ වැඩ කර­න­වාද?

ඔව් අපි පාර්ලි­මේ­න්තු­වේදි ජන­තා­වට හිත­කර දේව­ලට සහය දෙනවා වගේම එවැනි හිත­කර දේ ආණ්ඩු­වෙන් කර­ග­න්නත් උත්සාහ කර­නවා. ඒ වාගේම ජන­තා­වට අහි­ත­කර මවු­බි­මට හානි­කර හැම දෙයක්ම පරා­ජ­යට පත් කර­න්නත් කට­යුතු කර­නවා. ඒ වාගේම මේ ප්‍රධාන දේශ­පා­ලන කඳ­වුරු දෙක­ටම මේ රට ගොඩ ගන්න විස­ඳු­මක් නැති බවත් අපි තහ­වුරු කර­නවා. මේ අනුව අපි ප්‍රධාන ධාරා­වන් තුන­කින් පාර්ලි­මේ­න්තු­වට පණ පොව­නවා. ඉන් පළමු වැන්න තමයි හොඳ දේට සහය දීම හා හොඳ දේ ඉටු කර ගැනී­මට කට­යුතු කිරීම. දෙවැන්න තමයි නරක දේට විරුද්ධ වීම හා නරක දේ පරා­ජ­යට පත් කර ගැනී­මට කට­යුතු කිරීම. තෙවැන්න වන්නේ මේ ප්‍රධාන දේශ­පා­ලන කඳ­වු­රු­ව­ලට රට ගොඩ­න­ඟන්න නොහැකි බව සමා­ජ­ගත කිරීම. ඒක තමයි අපේ එදත් අදත් හෙටත් කාර්ය­භා­රය වන්නෙ.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වන සංශෝ­ධ­නය ඉවත් කරන්න පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බල­යක් ඉල්ල­නවා. මීට ඔබ­ලාගේ සහ­යත් ලැබෙ­න­වාද?

තුනෙන් දෙකක් බලය ඉල්ලන අය රටට කියන්න ඕන මේ ව්‍යව­ස්ථාවේ කවර කරුණු ද සංශෝ­ධ­නය කරන්නෙ කියලා. සම­හර අය හිතන්නෙ ජනා­ධි­ප­තිට අග­මැති බාධා කර­නවා කියලා. සම­හර අය හිත­නවා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඉතිරි බල­යත් කෑලි කපලා අග­මැ­තිට ගන්න. මේ විදි­යට ජන­තාව කිව්වට රාජ­පක්ෂ සහෝ­ද­රයෝ උත්සාහ කරන්නෙ මහා­ධි­ක­ර­ණයේ සිට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය දක්වා විනි­සු­රු­වන් පත් කිරීමේ බලය ඔවුන් අතට ගන්නයි. ඒ වගේම විග­ණ­කා­ධි­පති පත් කිරීමේ බලය ඔවුන්ට ගන්නයි.

මැති­ව­රණ පව­ත්වන ක්‍රම හදන බලය ඔවුන් අතට ගන්නයි. මේ අනුව 19 වන සංශෝ­ධ­නය අහෝසි කර­නවා කියන්නෙ මෙතෙක් ජන­තාව දිනා ගන්නා ලද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කර්තව්‍ය හා ව්‍යුහ විනාශ කිරී­මක්. එවැනි දෙයක් සිදු වීමට ඉඩ නොදී ඒවා පරා­ජය කර­වී­මට අපි කට­යුතු කර­නවා. එසේ නොමැ­තිව අපේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් කරන ව්‍යවස්ථා සංශෝ­ධ­න­යක් සඳහා ආණ්ඩු­වට සහය දෙන්න අපි සූදා­නම්.

ජවිපෙ අපේ­ක්ෂාව අලුත් ව්‍යව­ස්ථා­වක් හදන්න ඕනෑ කිය­ලද?

ඔව්. දැන් තියෙන අපේ ව්‍යව­ස්ථාව අවස්ථා 19 කදී ස‍ංශෝ­ධ­නය වී තිබෙ­නවා. මේ හැම සංශෝ­ධ­න­ය­කම ගැබ්ව තිබෙන්නෙ ඒ මොහොතේ පාල­නය හොබ­වපු පාල­කයා ගේ වුව­ම­නා­වන් විත­රයි. ජන­තා­වගේ වුව­ම­නා­වට ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය කර ඇති බවක් පෙනෙන්ට නෑ. මේ නිසා අපේ රටට නව ජන­වාදී ව්‍යව­ස්ථා­වක් අව­ශ්‍ය­යයි. ඒ සඳහා කට­යුතු කරන ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කරන්න සහය දෙන්න අපි සූදා­නම්.

අගෝස්තු 5 වැනි­දා­යින් පසුව දිග හැරෙන ජවිපෙ දේශ­පා­ලන සිති­යම මෙතෙක් කල් අකු­ලා­ගෙ­නද හිටියේ?

නෑ. මේ මැති­ව­ර­ණ­යෙන් පස්සේ පැරැණි ජනතා අර්බුද අලුත් වෙලා දෙගුණ තෙගුණ වෙලා මතු වෙන කොට පිල් බෙදිලා හිටපු ජන­තාව එදාට එක පිල­කට එකතු වෙනවා. අන්න එතැ­නදී අපේ දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ත්ව­යට ජව­යක් ලැබෙ­නවා. වසර 72ක් තිස්සේ මේ ප්‍රධාන දේශ­පා­ලන කඳ­වුරු දෙක මාරු­වෙන් මාරු­වට ආණ්ඩු 15ක් හදලා තියෙ­නවා. ඒ ආණ්ඩු­ව­ලින් ජනතා ප්‍රශ්න­ව­ලට ලැබිල තියෙන විස­ඳුම් මොන­වද? අන්න ඒ ජන විඥා­නය අවදි කරන්න අපිට අගෝස්තු 5 දායින් පසුව අව­ස්ථාව ලැබෙ­නවා.

ඒක කරන්න සජි­ත්ට­වත් රනි­ල්ට­වත් බෑ. රනිල් ගේ අත­පය බැදු­ම්කර වංචා­වෙන් ගැට ගහලා තියෙ­නවා. සජිත් ගේ සංස්කෘ­තික අර­මු­දලේ කඹ­යෙන් අත­පය ගැට­ග­හලා තිබෙ­නවා. මේ අනුව දේශ­පා­ල­නයේ නැවුම් හැර­වු­ම්ක­රුවා ලෙස අගෝස්තු 05 දායින් පසුව ඉදි­රි­යට එන්නෙ ජවිපෙ අපි පම­ණයි.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ ඔහුගේ බාර­කාර රජයේ අමාත්‍ය මණ්ඩ­ලය 16 කට සීමා කර තිබෙ­නවා. ඔබ හිතන විදි­යට ඉදි­රි­යට පත්වන රජයේ අමාත්‍ය මණ්ඩල ‍සංයුතිය කෙසේ විය යුතුද?

අපි මොනවා මේ ගැන කීවත් ඒවා ක්‍රියා­ත්මක වෙන්නෙ නෑ. යහ­පා­ල­නය කළා වාගෙම රාජ­පක්ෂ සහෝ­ද­ර­ව­රුන් ඩග්ලස් දේවා­නන්ද ආණ්ඩු­වට අර­ගෙන ජාතික ආණ්ඩු­වක් හදල ඇම­ති­වරු තිහක සීමාව අයින් කර­නවා. එහෙම කරල රාජ­පක්ෂ පවු­ලට අය­වැය ලේඛ­නයේ බාග­ය­කට වඩා මුදල් එකතු කර­ගන්න අමා­ත්‍යාංශ බෙදී­මක් සිදු කරාවි. 1994 න් පස්සේ හැම ආණ්ඩු­ව­කම ඇම­ති­කම් කරපු අයට මේ ආණ්ඩු­වෙ­නුත් ඇමැ­ති­කම් ලැබෙ­නවා. මේ රටේ අසා­ර්ථ­ක­ත්වය ඉහ­ළට ගෙනාපු නාය­ක­යින් නැවත අපේ සුක්කා­නම බාර ගන්නවා. ඊට වඩා යමක් වෙයි කියල හිතන්න බෑ.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ රට වෙනස් මඟක ගෙනි­යන්න උත්සාහ කරන බව පෙනි පෙනී ඇයි ඔබලා හැම දේම අසු­බ­වා­දීව දකින්නෙ?

ගෝඨා­භය ජනා­ධි­පති වුණාම බොහෝ අය හිතුවා මැති­ව­ර­ණ­යට අලුත් මුහුණු දාවි කියලා. එහෙම වුණේ නැහැ.

ඇයි ඔබ දන්නෙ නැද්ද විය­ත්මඟ නියෝ­ජ­නය කරන උගත් අලුත් මුහුණු ටිකක් මැති­ව­ර­ණ­යට තරග කරන බව.

ඔය විය­ත්මඟේ ඉන්න සාමා­ජි­ක­ය­න්ගෙන් කීදෙ­නෙක්ද මේ මැති­ව­ර­ණ­යට දාලා ඉන්නෙ. 6%ක්වත් ඒ සංඛ්‍යාව නෑ. රාජ්‍ය ආය­ත­න­ව­ලට ප්‍රධා­නින් පත් කරන්නෙ සම්මුඛ පරී­ක්ෂණ තියල කියල විශාල ආන්දෝ­ල­න­යක් කළා. එහෙ­මද පරි­සර, රක්ෂණ, නිවාස අධි­කා­රිය වැනි ආය­ත­න­ව­ලට ප්‍රධා­නියෝ පත් කරල තිබෙන්නෙ; නෑනේ. පරා­ජිත දේශ­පා­ල­න­ඥ­යෝම ඒවාට පත් කරලා.

ඇයි ඔබට පිළි­ගන්න බැරි දේශ­පා­ල­න­ඥයෝ වුවත් ඔවුන්ට ආය­ත­න­යක් පාල­නය කරන්න හැකි­යාව තිබෙ­නවා කියලා?

මම ඔබ කියන කාර­ණය පිළි­ග­න්නවා. නමුත් මේ පත් කරලා ඉන්න අය­ගෙන් සම­හර අය ගැන අපි හොඳට දන්නවා. නම් ගම් හෙළි කරන එක හොඳ නෑ. ඒ නිසා ‍ඒවා නොකි­ව්වත් ජනා­ධි­පති අග­මැති දෙන්නාම දන්නවා ඔය පත් කරල ඉන්න සම­හර අයට තියෙන එකම සුදු­සු­කම දේශ­පා­ල­ඥ­යෙක් වීම පම­ණයි. ජනා­ධි­පති රටට කීවේ ඒ ඒ ක්ෂේත්‍ර­යන් පිළි­බඳ හස­ල­තා­වක් නිපු­ණ­තා­වක් ඇති අය පත් කර­නවා කිය­ලනේ. ඒ වගේම ජන­තාව විශාල බලා­පො­රො­ත්තු­ව­කින් හිටියා එක නීති­යක් එක රටක් කියලා.

දැන් එහෙ­මද? රටේ ආණ්ඩුව තහ­වුරු කර­නවා කීවා. එහෙම නම් 2019 නොවැ­ම්බර් මාසෙන් පස්සෙ MCC ගිවි­සුම ගැන කතා­බ­හක් ඇති නොවෙන්න තිබුණා. ඇයි ඒක ගැන තව­මත් තෙප­ර­බබා ඉන්නෙ. මේ වැනි කරුණු ගණ­නා­වක් තිබෙ­නවා මේ අයගේ ගමන් මඟ කොයි­බ­ටද කියල පෙන්නුම් කරන. අපි යථා­ර්ථ­වා­දීව මේවා පෙන්වාදී ඒවාට එරෙහි වෙනවා මිස අපි හැම දේම අසු­බ­වාදී විදි­යට දකින්නෙ නෑ. අගෝස්තු 05 දායින් පසුව අපි මේ විදි­යට කථා කළොත් මට පුළු­වන් වේවි අද මම මේ කියන දේ යථා­ර්ථ­යක් වී ඇති සැටි ඔබට පෙන්වන්න.

ඔබ අසු­බ­වාදි නොවෙයි කියල කිව්වත් ඔබ කරන කියන ඇතැම් දේවල් දේශ­පා­ලන කුහ­ක­ත්ව­යෙන් පිරිලා?

ඔබ ඔය කියන දේ සනාථ කරන්න පුළු­වන් එක කාර­ණ­යක් මට කියන්න.

මේ රටේ මත්ද්‍රව්‍ය ජාවා­රම හා පාතා­ලය මඬින්න ජනා­ධි­ප­ති­ව­රයා පිය­වර ගෙන තිබෙ­නවා. ඔබලා කුහක නිසා ඒවා දකින්න හෝ ඒ ගැන කියන්න කැමති නෑ නේද?

ඔබ හරි. ඔබ ඔය ප්‍රශ්න කරන්නෙ මත්ද්‍රව්‍ය ටිකක් අල්ලා ගත්තාම හුරේ දාන ජන­තාව පැත්තේ ඉඳ­ගෙ­නනේ. නමුත් අපි කියන්නෙ ‍කෝ කොහේ­දිද මත්ද්‍රව්‍ය ගේන අය අල්ලා­ගෙන තිබෙන්නෙ. කිලෝ 250ක හෙරො­යින් බිස්නස් එක කෝටි 300ක බිස්නස් එකක්. කෝටි 300ක් කියන්නෙ ලක්ෂ 30,000ක්. ලක්ෂ 30,000ක බිස්නස් එකක් කරන්න සාමාන්‍ය පුද්ග­ල­ය­කුට පුළු­වන්ද? මේවා කරන්නෙ මහ ධන­වත්තු. ඒ අය කොහේද ඉන්නෙ මේ පාල­ක­යන්ගේ ඔඩො­ක්කු­වල. කුඩු අහු­වෙ­නවා නමුත් ඒවා ගේන අය අහු­වෙන්නෙ නෑ. ග්‍රෑම් දෙක ගානේ විකු­ණන එවුන් හා කුඩු බොන එවුන් විත­රක් පොලී­සිය අල්ල­නවා. එහෙම කරල මේ ජාවා­රම නතර කරන්න පුළු­වන්ද?

ඔබත් පිළි­ග­න්නවා බොහෝ දේවල් රජ­ය­කට තනිව කරන්න බෑ. ඔබ දන්නවා නම් කුඩු ගෙන්වන අය ගැන ඒ තොර­තුරු අදාළ අයට නොදෙන්නෙ ඇයි?

අපි එවැනි තොර­තුරු ලබා දුන්නත් ඔබ හිත­න­වාද අප­ක්ෂ­පාති පරී­ක්ෂ­ණ­යක් කරලා ඔවුන් අත්අ­ඩං­ගු­වට ගනී කියලා. එහෙම වෙන්නෙ නෑ. මොකද මම මුලින් කීවා වාගේ මේ කෝටි­පති ව්‍යාපා­රි­කයෝ ඉන්නෙ පාල­කයා ගේ තොටි­ල්ලෙයි.

ඔබ අනුන්ගේ සංව­ර්ධ­නය ගැන කතා කළත් ඔබ­ලට ලැබෙන විම­ධ්‍ය­ගත මුද­ලින් මොන­වද කරන්නෙ කියල ඇයි ඔබලා ජන­තා­වට කියන්නෙ නැත්තේ?

අපිට ලැබෙන ලක්ෂ 50ක තරම් කුඩා මුදල අපේ ගම්බි­ම්වල ජන­තාව ගේ පාරක් පිහි­ල්ලක් වාගේ දේවල් හදන්න යොද­ව­නවා. ලොකු පාලම් ගොඩ­නැ­ඟිලි හදන්න මේ මුදල ප්‍රමා­ණ­වත් නෑ.

ඔබලා හඳු­නා­ගෙන තිබෙන බර­ප­තළ ජනතා ප්‍රශ්න පිළි­බඳ ව්‍යාපෘති වාර්තා සකස් කරල රජය ලවා ඒ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරලා ජන­තා­වට ප්‍රති­ලාභ අරන් දෙන්න පුළු­ව­න්කම තිබු­ණත් දේශ­පා­ලන කුහ­ක­ත්ව­යෙන් ජන­තාව පීඩා­වට පත්ව සිටින දෙස බලා රජ­යට ඇඟිලි දිගු කිරීම හරිද?

නෑ. අපි කිසි­සේත්ම එහෙම කරන්නෙ නෑ. මම පසු­ගිය පාර්ලි­මේන්තු කාලය තුළ හැම අමා­ත්‍යාං­ශ­ය­කින්ම රටේ ප්‍රශ්න විස­ඳන්න සහය ගන්න උත්සහ කළා. නමුත් ඔබ බලන්න අපේ රටේ කෘෂි­ක­ර්මා­න්තයේ තිබෙන ගැට­ලුව. ධීවර අධ්‍යා­පන සෞඛ්‍ය ආදි මේ ක්ෂේත්‍ර­වල තිබෙන ගැටලු විස­ඳන්න මෙතෙක් සිටි පාල­ක­යන් කට­යුතු කරල නෑ. ඔවුන් ජනතා ප්‍රශ්න­යට විස­ඳුම් හොය­න­වාට වැඩිය ඔවුන් අව­ධා­නය යොමු කර ඇත්තේ ජනතා ප්‍රශ්න විස­ඳන්න යාම හරහා තමන්ට කොප­මණ මුද­ලක් ලැබෙ­න­වාද කිය­ලයි. ඒ නිසා තමයි පාල­කයෝ විශාල ඉදි­කි­රී­ම්ව­ලට කැමති වෙන්නෙ. රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය රටේ හැම තැනම ලොකුම දිසා­පති කාර්යාල, ග්‍රාම නිල­ධාරි කාර්යාල හද­නවා.

නමුත් ඒ කන්තෝ­රු­ව­ලට ෆොටෝ කොපි මැෂි­මක් නැතිව ජන­තාව දුක් විඳි­නවා. හැම ක්ෂේත්‍ර­යේම කරන්නෙ මේ වැනි ඉදි­කි­රීම් විත­රයි. ඒකට හේතුව කොන්ත්‍රා­ත්ක­රු­ව­න්ගෙන් සන්තෝ­ෂම් ලැබෙන නිසයි. ඒ ඒ අමා­ත්‍යාං­ශ­වල කාර්ය සාධ­නය ශක්ති­මත් කරන්න පහ­සු­කම් සප­ය­නවා වෙනු­වට රට පුරා ගොඩ­නැ­ඟිලි හදන්න හැම අමා­ත්‍යාං­ශ­යක්ම ප්‍රමු­ඛ­තාව දෙනවා. මේ විදි­යට බැලු­වම අපේ රටේ තියෙ­න්නෙම ඉදි­කි­රීම් අමා­ත්‍යාං­ශ­යක් විත­රයි කිය­ලත් කාට­හරි හිතෙ­න්නත් පුළු­වන්.

ඔබ­ලත් ජාතික දේශ­පා­ල­න­යෙන් බැහැ­රව පක්ෂ දේශ­පා­ල­නය තුළ එකි­නෙකා විවේ­ච­නය කර­නවා හැරෙන්න වෙන මොන­වද ඵල­දායි දෙයක් කියල කරන්නෙ?

අපි කවු­රුත් විවේ­ච­නය කරන්නෙ නෑ. අපි ඇත්ත පෙන්වා දෙනවා. ඒක නීරස වෙන්න පුළු­වන්. ඒ වගේම අපි මේ රට ගොඩ­න­ඟන මාව­තත් කිය­නවා. නමුත් අපි කියන කරන දෙයින් වඩාත් සමාජ කතා­බ­හට ලක්වෙන‍්නෙ අපි අඩු­පාඩු පෙන්වා දෙනවා කියන කාර­ණය පම­ණයි. ඒකත් අපි විවේ­ච­කයෝ විදි­යට තමයි පෙන්වන්නෙ.

මේ තත්ත්ව­යට මාධ්‍යයේ ඔබ­ලත් වග­කි­යන්න ඕනේ. පුර­වැ­සි­යත් වග කියන්න ඕනේ. අපේ රටේ මාධ්‍ය­යත් පුර­වැ­සි­ය­නුත් වඩා කැමති කොට­වන ප්‍රවෘ­ත්ති­ව­ල­ටයි. අතී­තයේ මාධ්‍ය තුළ තොර­තුරු වාර්තා වුණත් අද එකට එක ගැටු­ම්කාරි තොර­තුරු තමයි වාර්තා කරන්නෙ. ඔබ අපිට විවේ­ච­ක­යන් ලෙස කීවත් අපි මේ රටේ සෑම ක්ෂේත්‍ර­යක් ගොඩ ගැනීම සඳහා වූ ප්‍රායෝ­ගික සැල­සුම් ඇතිව යෝජනා ඉදි­රි­පත් කරලා තිබෙ­නවා. නමුත් ඒවා සමා­ජ­ගත වෙන්නෙ නෑ.

ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් හදන්න ජනා­ධි­පති දැන් විශේෂ කමි­ටු­වක් හරහා තොර­තුරු රැස් කර­මින් ඉන්නවා. ඔබ­ලාගේ යෝජනා මේ කමි­ටු­වට දුන්නාද? ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක අව­ශ්‍ය­තාව ඔබලා පිළි­ග­න්න­වාද?

අපිත් පිළි­ග­න්නවා ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් අවශ්‍ය බව. අපිත් එවැනි ප්‍රති­ප­ත්ති­යක් හදලා තිබෙ­නවා. අපිට මේ ගැන කථා කරන්න රජ­යෙන් ආරා­ධ­නා­වක් ලැබෙ­නවා නම් අපි සාකච්ඡා කරන්න කැමැ­තියි.

මේ මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකක බල­යක් ලබා ගන්න පත්වෙන රජ­යට නොහැකි වුණොත් පාර්ලි­මේ­න්තුවේ යහ­පත් කට­යු­තු­ව­ලදි තුනෙන් දෙක සම්පූර්ණ කර ගන්න ඔබලා සහය දෙන­වද?

පත්වෙන ආණ්ඩුව අපේ සහය ගන්න බලා ඉන්නෙ නෑ. අපේ රටේ සල්ලි­ව­ලට ගන්න පුළු­වන් මිනිස් කඳන් පාර්ලි­මේ­න්තු­වට එනවා. වට අඩි ගාණට විකි­ණෙන මන්ත්‍රි­වරු පාර්ලි­මේ­න්තුවේ ඉන්නවා. හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේ­නම මේ ගැන කියල තියෙ­නවා. දින 52 ආණ්ඩුව කාලේ මන්ත්‍රි­ව­ර­යකු මිලි­යන 500 දක්වා ඉහළ ගියා කියලා. මේ අතීත අත්දැ­කීම් අනුව සජිත්ගේ හා රනිල්ගේ පිරි­සක් ආණ්ඩු­වට ගිහිල්ල තුනෙන් දෙක හදා­ගන්න උදව් කර­නවා. ඒක නොවෙන දෙයක් හෝ අලුත් දෙයක් නොවෙයි. 2010 දීත් එහෙම වුණා. 58% ඡන්ද ගත්තත් තුනෙන් දෙක හදා ගන්න බැරි වුණා. එදාත් එජාප පිරි­සක් ආණ්ඩු­වට ගිහිල්ල තුනෙන් දෙකක් හදලා දුන්නා. මේ පාරත් ඒක එහෙ­මම වෙනවා.

ඔබලා ඡන්දය ඉල්ලලා ජන­තාව වෙනු­වෙන් මොන­වද කරන්න බලා­පො­රොත්තු වන්නෙ?

ජන­තාව අපිට ඡන්දය දීලා අපේ වැඩි පිරි­සක් පාර්ලි­මේ­න්තු­වට ගියොත් අපි ඉස්සෙල්ලා පාර්ලි­මේ­න්තුව ශුද්ධ කරන අර­ග­ලය පටන් ගන්නවා. එහෙට මෙහේට පැනීම, අසික්කිත හැසි­රීම, අප­රා­ධ­ක­රු­වන් වීම වැනි මේ අය අඩු කරන්න මාලි­මා­වට ඡන්දය දෙන්න කිය­ලයි අපි ඉල්ලන්නෙ. අනෙක ජන පීඩ­න­යට එරෙහි ප්‍රබල හඬක් නඟන්න අපිට ඡන්දය දෙන්න. ආර්ථික සමා­ජ­යීය කඩා වැටීම බේරා ගෙන රට නිවැ­රැදි දිසා­වට යොමු කර­වන්න අපිට ඡන්දය දෙන්න. අපිට ඡන්දය දෙන අයට සාධා­ර­ණ­යක් කරන්න අපි හැම විටම පාර්ලි­මේ­න්තු­වේදී හා ඉන් පිට­ත­දීත් නිවැ­රැදි තැන හිට­ගෙන ඉඳලා තිබෙ­නවා. මෙව­රත් ඒ විදි­ය­ටම අපි කට­යුතු කරලා ජන­තා­වගේ අයි­තිය තහ­වුරු කරන්න කට­යුතු කර­නවා.

Comments