‘මන්ත්‍රී පදවි ලද නළු නිළියන් සිනමාවට කළ දෙයක් නැත’ | සිළුමිණ

‘මන්ත්‍රී පදවි ලද නළු නිළියන් සිනමාවට කළ දෙයක් නැත’

විශි­ෂ්ට­තම සිනමා නළුවකු, චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ව­ර­යකු  මෙන් ම දේශ­පා­ල­න­ඥ­ය­කුද වූ ගාමිණි ෆොන්සේකා එක්තරා සිනමා පුව­ත්පත් සඳහා 1982 වසරේ ජන­වාරි 21 වෙනි දින පළවූ අදාළ පුවත් පත සඳහා කරන ලද ප්‍රකා­ශයක මෙසේ සඳ­හන් විය.

“දියුණු කරන ලද ජාතික සින­මාව එක්සත් ජාතික පක්ෂයේ අනු­ග්‍ර­හය යටතේ මරුවා සමඟ පොර බඳි­මින් සිටී. ජාතික සින­මාව වැළලූ පසු එහි සොහොන් කොතේ මෙම යකුන් විසින් මෙසේ සඳ­හන් කළ යුතුය. “අපි ජාතික සින­මාව මරා­ගෙන කෑවෙමු”

ගාමිණි ෆොන්සේකා විසින් මෙම චෝද­නාව එල්ල කරනු ලබන්නේ ඒ මොහොතේ පැවැති එක්සත් ජාතික පක්ෂ රජ­යට වුවත්, රජ­යට සම්බන්ධ සින­මා­ක­රු­වෙකු වශ­යෙන් ඔහු අතින්ද සින­මාවේ ආර­ක්ෂාව උදෙසා පසුකාලී­නව ප්‍රබල හඬ නැඟි­මක් සිදුවූ බවක් පෙනෙ­න්නට නැත. 

1970 වන විට කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා, සුමිත්ත අම­ර­සිංහ, එල්සන් දිවි­තු­රු­ගම, එල්.එම් පෙරේරා, තිස්ස ලිය­න­සූ­රිය, රෝයි ද සිල්වා. ඩී.බී නිහා­ල්සිංහ සහ තවත් විශාල පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් පිහි­ටුවා ගන්නා ලද දේශිය චිත්‍ර­පට ආර­ක්ෂක බල මණ්ඩ­ලය විසින් කරනු   ලැබු උද්­ඝෝ­ෂණ හමුවේ  එකී පොදු අර­මුණ ඉටු­කර ගැනීමේ අභි­ලා­ෂ­යෙන් ගාමි­ණිද පෙනී සිටි­යේය. 

ඔවුන් විසින් සිරි­මාවෝ බණ්ඩා­ර­ණා­යක මැති­නි­යට සහය දැක්වීම මත දේශිය සින­මාව ආරක්ෂා කර ගැනිමේ ප්‍රබල පිය­ව­රක් තැබී­මට සමත් වූහ. ගාමිණි, ඩොමි, එඩී, ආදී ජන­කාන්ත තරු තමන්ගේ ජන­ප්‍රි­ය­ත්වය මගින්  මැති­නිය වටා මහ ජන ගංගා­වක් එක් රොක් කර­ව­න්නට සමත් වූහ.

සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය බල­යට පත්වී­මෙන් අන­තු­රුව 1972 දී අංක 47 දරන ජාතික චිත්‍ර­පට සංස්ථා පනත අනුව ව්‍යව­ස්ථා­පිත සංස්ථා­වක් පිහි­ටු­වනු ලදුව සිය  පොරො­න්දුව අකු­ර­ටම ඉටු­ක­රනු ලැබුවා ය. නමුත් මෙය මැති­නිය විසින් හුදු සිය ඡන්ද පොරො­න්දුව ඉටු කිරී­මක්  පම­ණක් නොවන බවත් දේශ­පා­ල­නික වශ­යෙන් ජාතික අර­මුණු ඉටු­කර ගැනීමේ පරි­ශ්‍ර­ම­යක් දැරී­මට ඇයගේ පක්ෂය ගත් උත්සා­හ­යක් ලෙසද පෙනී යන්නේ යයි ද අභා­ව­ප්‍රාප්ත ආචාර්ය ඩී.බී නිහා­ල්සිංහ ප්‍රකාශ කර තිබුණි.

නව­සිය හැත්තෑවේ මැති­ව­ර­ණය සඳහා සියලු නළු නිළි­යන් දේශ­පා­ලන වේදි­කා­වට ගොඩ වූයේ දේශීය සින­මාව ආරක්ෂා කර දීමේ ප්‍රති­ඥාාව ඉටු­කර දිය යුතුය යන  පර­මා­ර්ථය මුල් කර ගනි­මිනි. මැති­නිය ඒ පොරො­න්දුව ඉටු­කර දෙමින් අසි­මිත බල­යක් සහිත පන­තක් යටතේ චිත්‍ර­පට සංස්ථාව නම් බල කොටුව ඉදි­ක­රන ලදී.

සංස්ථාව බිහිවූ 1972 සිට 1979 දක්වා සිංහල සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලි­යන 28ක ප්‍රමා­ණයේ මිලි­යන 75 කට ආසන්න තත්ත්ව­ය­කට ගොඩ නැංවි­මට සමත් විය. 1979 න් පසු එය ඉතා ශිඝ්‍ර ලෙස පරි­හා­නි­යට පත්වී­මට පටන් ගත් අතර, 1984 වන විට මිලි­යන 74.4 ක්ව පැවැති ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලි­යන 40 දක්වා පහත බැස්සේ ය. ඊට සම­ගා­මීව චිත්‍ර­පට සංස්ථාවේ ආදා­යම හා ලාභය ද පහත වැටෙ­න්නට පටන් ගත්තේ ය.

එතැන් සිට මෙකී අර්බූ­දය ගැන කතා කිරීම සඳහා ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­සන් සභා­වක් පත්කර නිර්දේශ ලබා­ගත් නමුත් ඒ කිසි­ව­කින් සංස්ථාව ගොඩ­ගත හැකි වූයේ නැත. නමුත් එදා සිට අද දක්වා ම විවි­ධා­කාර සිනමා නළු නිළි­යන් තමන් සතු ජන­ප්‍රි­ය­ත්වය නම් සිවිල් බලය අලෙවි කොට පාර්ලි­මේ­න්තු­වට ඇතුල් වූහ. 

මේ මොහොතේ ද එසේම ය. නමුත් පාර්ලි­මේ­න්තුව හරහා දේශ­පා­ලන බලය ලබා­ගත් මේ කිසිදු නළු­වෙකු හෝ නිළි­යක සින­මාව වෙනු­වෙන් තබා චිත්‍ර­පට සංස්ථාව ගොඩ­ගැ­නීම වෙනු­වෙ­න්වත් කිසි­වක් කළ බවක් පෙනෙ­න්නට නැත. 

ඒ පිළි­බඳ ව ප්‍රශ්න­යක් ඇසු­ව­හොත් බෝල පාස් කර­මින් කතා කර­නවා හැර වෙන කිසි­වක් කිය­න්නට නොදන්නා මේ පිරි­ස­ගෙන් සාමාන්‍ය මන්ත්‍රී­ව­ර­යෙ­කු­ගෙන් වත් වන තරම් සේව­යක් රටට හෝ ජන­තා­වට සිදුවී නොමැති බව පැහැ­දි­ලිය.

පසු­ගිය කාල පරි­ච්ඡෙ­දය ගැන සලකා බලන කල මාලනී ෆෝන්සේකා, රන්ජන් රාම­නා­යක, ගීතා කුමා­ර­සිංහ, ජීවන් කුමා­ර­තුංග, උපේක්ෂා ස්වර්ණ­මාලි ආදීන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නයේ යෙදී මැති ඇම­ති­කම් දැරු­වද සංස්ථාව හෝ චිත්‍ර­පට වෙනු­වෙන් සිටි බවක් නම් අපට අම­ත­කය. 

පාර්ලි­මේ­න්තු­වට නොගිය ද චන්ද්‍රිකා කුමා­ර­තුංග රජය සමයේ දී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ මතු­නොව සමස්ත දේශ­පා­ලන භූමියේ ම බල­වත් නාය­ක­යෙ­කුව සිටියේ සනත් ගුණ­ති­ල­කය. අප දන්නා තර­මින් ඇත්ත­ටම ඔහුට අවශ්‍ය වූවා­නම් සර්ව සම්පූ­ර්ණ­යෙන් නොවූ­වද, යම් ප්‍රමා­ණ­ය­කට හෝ මෙම තත්ත්ව­යෙන් සංස්ථාව ගොඩ දැමීම පිණිස දෙයක් කළ හැකිව තිබිණි. 1984 සිට ඔහු හා විවිධ සාකච්ඡා වල යෙදී ඇති බැවින් හොඳ සින­මාව ගැන මෙන් ම හොඳ චරිත නිරූ­ප­ණ­යක් කියන්නේ කුම­ක්දැයි යන්න පවා මැන­වින් දන්නා කලා­ක­රු­වෙකු බව දනිමි. එසේ වුවද ඔහුද අනෙ­කුත් සිය­ලුම කලා­ක­රු­වන් මෙන් සියලු දේශ­පා­ලන සබ­ඳතා තමන් වෙනු­වෙන් පම­ණක් ම භාවිත කළා විනා සින­මාව හෝ චිත්‍ර­පට සංස්ථාව ගොඩ­නැ­ඟීම සඳහා ප්‍රායෝ­ගික වැඩ පිළි­වෙ­ළ­කට අත ගැසුවේ නැත. වෙන කිසිත් කළ නොහැකි නම් පන­තට අනුව සංස්ථාව සතුව ඇති බල­තල නිසි පරිදි බලා­ත්මක කරන තත්ත්ව­යක් ඇති කර­න්න­ට­වත් මේ කිසි­වෙ­කුගේ උන­න්දු­වක් තිබුණේ නැත.

නමුත් නළු නිළි­යන්ගේ දේශ­පා­ලන වේදි­කා­වට ගොඩ­වීමේ උන­න්දුව කිසි ලෙස­කින් හෝ තව­මත් අඩු වී නොමැත. මේ මොහොතේ ද ඔවුන් දේශ­පා­ලන බලය අත්පත් වේයයි සිතනු ලබන  දේශ­පා­ලන කඳ­වු­ර­කට අයත් වේදි­කා­ව­කට නැඟී සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­න­ඥ­යාගේ චරි­තය ඊටත් වඩා හොඳින් රඟ­පා­නවා විය හැක. නමුත් මේ කිසි­වෙ­කුත් මෙත­රම් අසීරු තත්ත්ව­ය­කට පත්ව ඇති සින­මාව වෙනු­වෙන් කිසිදු සඳ­හ­නක් හෝ කළ බවක් මාධ්‍ය ඔස්සේ නම් අස­න්නට දකි­න්නට හෝ කිය­ව­න්නට හෝ ලැබුණේ නැත.

මේ ආකා­ර­යෙන් බලන කළ ශ්‍රි ලංකාව නම් දූප­තෙහි චිත්‍ර­පට සංස්ථාාව නම් සුදු අලියා ගොඩට ගෙන සින­මාව දියු­ණුව කරා යොමු කර­ව­න්නට “කොරෝනා“ ජය­ගත් ආකා­රයේ ක්‍රියා මාර්ග­යක් විනා අන් කිසි විස­ඳු­මක් නැති බව නම් පෙනී යයි.

Comments