
මෙය සාම්ප්‍රදායික සටන් ගැටුම් විහිළු තහළු මෙන් ම ගීත ගායනා හා ඇඳුම් විලාසිතා ආදීයෙන් ද තොර චිත්‍රපටයක් කිරීමේ උවමනාව සහිත තරුණ අධ්යක්ෂවරයෙකුගේ නිර්මාණයකි. එහි අන්තර්ගතයේ ස්වාභාවිකත්වය ඉක්මවූ චරිත දෙකක් ගැන කියවෙන බැවින්දෝ චිත්රපටකරුවා තම නිර්මාණය සඳහා තෝරා ගෙන ඇත්තේ විකාර රූපී බවක් පෙන්නුම් කරන ආකෘතියකි. මෙම කෘතිය තුළ අදාළ චරිත ද්විත්වය හැසිරෙන ආකාරය සහ ඔවුනට අදාළ සිදුවීම් දිග හැරෙන පිළිවෙළ විසින් ද ඒ අදහස තවදුරටත් තීව්ර කරනු ලබයි. ඒ නිසා අපට මෙම චිත්‍රපටය තාත්වික ලෝකයේ සිදුවීමක් දෙස බලන ආකාරයෙන් නරඹා ගළපා ගත හැක්කක් නොවේ.
තමාට කැමැති විදියට ජීවත්වීමේ නිදහස සොයා නිවසින් පැන ආ තරුණියක් තට්ටු ගොඩනැඟිල්ලකින් පැන දිවි නසා ගන්නට තැත්කරන මොහොතක එවැනිම අරමුණකින් එතැනට පැමිණි තරුණයෙකු හා මිතුදමක පැටලෙන අයුරු චිත්‍රපටයෙන් දැකගත හැකිය. අනතුරුව තරුණියගේ කනකර උකස් තබා ගන්නා මුදලක් ද, යාළුවෙකුගෙන් ඉල්ලා ගන්නා මෝටර් සයිකලයක් ද සහිතව මේ දෙදෙනා දීර්ඝ සංචාරයක යෙදේ.
ඇත්තම කියනවා නම් මෙම ආරම්භයත් සමඟ චිත්රපටකරුවා අපව සිය කෘතිය ඔස්සේ යම් දුරක් රැගෙන යනු ඇතැයි අපි විශ්වාස කළෙමු.
මන්ද යත් චිත්‍රපට කරණයේ යෙදෙන අලුත් අදහස් සහිත තරුණයන්ගේ කාර්යය එය යයි අප සිතන බැවිනි.
තවද හැත්තෑව දශකයෙදී ධර්මසේන පතිරාජ නම් තරුණ සිනමාකරුවා තමාගේ “පාර දිගේ” වැනි චිත්‍රපට තුළින් ප්‍රේක්ෂක අප පමණක් නොව, සිංහල සිනමාව ද බොහෝ ඉදිරියට කැඳවාගෙන ගිය බැවිනි.
එහෙත් ඉතා කනගාටුදායක අයුරින් අපට මේ තරුණ සිනමාකරුවාගේ නිර්මාණය ඔස්සේ එසේ යන්නට හැකි වූයේ තරුණ ජෝඩුව සිය මෝටර් සයිකලයට නගින තෙක් පමණි.
ආරම්භයේ දී තරුණ වියේදීම ජීවිතයේ නිස්සාරත්වය හෝ සමාජයේ කටුක බව හෝ තමාගේ වෙනත් මානසික පීඩනයක් නිසා හෝ ඉතා සැහැල්ලුවෙන් මිය යන්නට සිතා සිටි තරුණයා චිත්‍රපටයකට කිසි ලෙසකින් උචිත නොවන ආකාරයේ ‘දේශකයෙක්’ බවට පත් වෙයි. ඔහු අපට පණිවිඩ බෙදන්නට පටන් ගනියි.
එතැන් සිට අප දකින්නේ ජීවිතයේ නිස්සාරත්වය ගැන සිතන ශූන්‍යවාදී තරුණයෙකු නොව යම් පමණකට මාක්ස්වාදී අදහස් පිළිඹිබු කරන ඉලන්දාරියෙකි. සිය අදහස්වල දිගුවක් ලෙස එක් භාගයකදී දේව විශ්වාසය උපහාසයට ලක් කරන ඔහු, තවත් විටකදී ශ්‍රි ලංකාවේ ක්‍රිකට් පිළිබඳ මතය පවසයි. ආරම්භක අවස්ථාවේදී ම ඔහු එය පටන් ගන්නේ පවතින දේශපාලන ක්‍රමවේදය හමුවේ ලොක්කන් සුරසැප විඳින ආකාරය ගැන පැහැදිලි කරමිනි. ඔය ආකාරයට මෝටර් සයිකලයේ නැඟී ලංකාවේ උතුරු කොණටත්, අනතුරුව කඳුකරය දක්වාත් මේ දෙදෙනා ගමනේ යෙදෙන අතර, කඳුරටේ දී ඉන්දියානු සහ චීන නිෂ්පාදන ගැන යම් යම් අදහස් ද පළ කරයි. තරුණියගේ භුමිකාව වෙන්ව ඇත්තේ මොනවා හෝ ගොන් කතාවක් කියා කොල්ලාව පත්තු කිරීමත්, ඔහුගේ ‘දාර්ශනික’ ප්‍රකාශ වලට හූමිටි තැබීමත් සඳහා ය. නමුත් ඒ දාර්ශනික ප්‍රකාශ වලටත් ජීවිත විවරණ වලටත් ප්‍රේක්ෂකයාට හුමිටි තැබිය නොහැක්කේ ඔහුට ඒවා සූස්ති චිත්‍රපටයෙන් කියා දිය යුතු හෝ යළි යළිත් ඇසිය යුතු ඒවා නොවන බැවිනි. ත්‍රී විලරයකට ගොඩවී කිලෝ මීටර් දෙක තුනක් යන විට අප්ඬේට් සහිතව එහි රියදුරාගෙන් ම වඩා සවිස්තරාත්මකව අසා දැනගත හැකි ඒවා බැවිනි.
ඒ නිසා මෙම චරිතය දකින අපට එක් වරම සිහි වන්නේ රූමත් යුවතියක් ඇඟේ එල්ලෙද්දී පවා ඒ ගැන නොතකන බව පෙන්වමින් කැපී පෙනීම සඳහා දාර්ශනික මත දොඩවන ජාතියේ මොට්ට පණ්ඩිතයකු බවය. අධ්යක්ෂවරයා මෙතුළින් පෙන්වා දෙන්නට වෑයම් කරනු ලැබුවේ දිවි තොර කර ගන්නට බලාපොරොත්තු වන ශුන්යවාදියෙකි.
නමුත් ප්‍රේක්ෂකයාට හැඟී යන්නේ ඔහු එක්කෝ උමතු රෝගියෙකු හෝ ගල් කපටියෙකු යන චරිත දෙකෙන් එකකට අයත් විය යුතු බවය. මන්ද යත් මිය යන්නට තරම් වූ කිසිදු මනෝභවයකින් තොරව මොකකු හෝ මිය යන්නට අවශ්‍ය බව කියනවා නම් ඔහු ඒ මෙකී චරිත දෙකෙන් එකක් විය යුතු බැවිනි. වතුර දෙකක් නා ගන්නට ඕනෑ කියා ළිඳට යන්නාක් මෙන් මිනිසුන් කිසිදිනක මැරෙන්නට යන්නේ නැත.
නමුත් මැරුණා හෝ නොමැරුණා හෝ රූමත් තරුණියකද සමඟ මෝටර් සයිකලයක නැඟී මරණය සොයා යන ගමන ප්‍රේක්ෂකයා අල්ලා ගන්නා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට බැරි කාරණයක් නොවේ.
2002 දී “Joel schumacher” නැමැති හොලිවුඞ් චිත්‍රපට අධ්යක්ෂවරයා මොහොතක් පාසා කුතුහලය අවුලවන සුලු “Phone Booth” නම් චිත්‍රපටය තැනුවේ තනිකරම එළිමහනේ වූ දුරකථන කුටියකට සීමා වූ කතා පුවතක් මුල් කර ගනිමිනි. ඇමෙරිකන් ඩොලර් මිලියන 13 ක් වියදම් කර තැනූ මෙම චිත්‍රපටය මිලියන 97.8 ක් උපයා දෙන තත්ත්වයේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නා ලද්දකි.
නමුත් “සූස්ති” චිත්‍රපටය තිරයේ දිග හැරනේනේ මොහොතින් මොහොත ප්‍රෙක්ෂක ආකර්ෂණය උදෙසා නොව, විකර්ෂණය උදෙසා කරුණු සපයා දෙමිනි.
චිත්‍රපටයක මොනයම් හෝ කතා පුවතක් වේවා, එය සංකීර්ණ ආධ්‍යාත්මික ගැටලුවක් වුවද, යුධ වැදිමක් හෝ දේශපාලන තේමාවක් වුවද ප්‍රේක්ෂකයා රඳවා ගනු ලබන්නේ එම වෘතාන්තය ගොඩ නැඟෙන නාට්‍යමය ස්වභාවය මුල්කර ගනිමිනි.
ඊට සමගාමීව චරිත නිරූපණ වල ප්‍රබලත්වය, කැමරාකරණයෙහි වූ සුන්දරත්වය, දෙබස් වල ඇති ප්‍රාණවත් හා අරුත් බර ස්වභාවය, සංස්කරණයෙන් මතුකර දෙන රිද්මය, ආදී කාරණාද ප්‍රේක්ෂකයා සිතුවම් පට කෙරෙහි බැඳීමට හේතුවක් වෙයි. එසේ වන්නේ අධ්යක්ෂවරයා තෝරාගත් ජීවන අත්දැකීම සිනමාව කලා මාධ්‍යයට අයත් රූපභාෂාවේ ව්‍යාකරණයට අනුකූලව ගොඩනැඟීමෙනි.
නමුත් ‘සූස්ති’ දිත්රපටය තුළ එම ගොඩනැඟීම අපට දක්නට ලැබෙන්නේ නැත. එයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ චිත්‍රපටයකට තබා මොන දෙයකටවත් නුසුදුසු රචනාවක් මඟින් ‘සූස්ති’ ගොඩනඟන්නට උත්සාහ කිරීමය.
ඒ කාරණය ඇතුළේ නළු නිළියන්ගේ සියලු ක්‍රියාකාරකම් ඇණ හිටින අතර, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ආලෝකකරණය ආදී සෙසු සියලු කලාංගයන් ද, තිර රචනය විසින් ඇති කළ හානිය තවදුරටත් වර්ධනය කරනවා විනා අතිරේක ලකුණක් දෙකක් හෝ රැගෙන දෙන්නට සමත් වී නැත.
සූස්ති අරබයා අධ්යක්ෂවරයාගේ රාජකාරිය නිසි ලෙස ඉටුවී නොමැති බවට ඉහත කී කාරණා ටිකම සාක්ෂියක් වන නමුදු එය වඩාත් කැපී පෙනෙන්නේ නළු නිළි දෙපළගේ රංගනය දෙස බලන කල්හිය. හොඳ සිනමා පටවලින් තම දක්ෂතාවය මැනවින් පිළිඹිබු කළ සමනලී ෆොන්සේකා පවා, මබ්බෝධ වූ කලෙක මෙන් දෙබස් කියන තත්ත්වයකට පත්ව සිටින්නේ ඒ නිසා බව පෙනේ.
චරිත නිර්මාණය යනු කෘතියේ චරිතයට සහ එකී මොහොතට අදාළ හැඟීම් කළමණාකරණයකින් යුතුව ප්‍රති නිර්මාණය කිරීමකැයි අපි සිතමු.
තාත්වික රඟපෑම යනු නිදහසේ ස්වභාවිකව සිටින මිනිසෙකු පිළිවෙළකින් තොරව කරන කියනු ලබන හැම දෙයක් ම රූප රාමුවකින් ඉදිරිපත් කිරීම නොවේ. එසේ වුවද, අප ‘සූස්ති’ තුළ දකින්නේ එසේ වී ඇති බවකි.
යම් පමණකට හෝ චිත්‍රපටය උදෙසා මොනයම් හෝ වෙනසක් ඇතිවේ යයි ඩබ්. ජයසිරිගේ රූපය සහ කට හඬ ඇසුණ මොහොතේ සිතුණත්, එයින් ද පලක් නොවන තරමට චිත්‍රපටය වඩ වඩාත් ප්‍රේක්ෂකයාගෙන් ඈතට යයි.
එය කොතෙක් බරපතළ ද යත් චිත්‍රපටයේ දෙවන භාගයවන විට මේ දෙන්නා එකිනෙකා කා කොටාගෙන හෝ මැරී යනවා නම් හොඳයයි සිතන තත්ත්වයකට ප්‍රේක්ෂකයා පත්වෙයි. නමුත් කිසිදු සෞන්දර්යයකින් තොරව පිහිටි අළු පැහැති ගල් වළක් අසල දී තරුණියට ජීවත්වීමට ආශාවක් ඇතිවීම නිසා ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව ද නැතිවී යයි.
මොනවා වුවත් මෙම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට වෙනත් ආරක චිත්‍රපටයක් කරන්නට තරුණ අධ්‍යක්ෂවරයෙකු ගත් උත්සාහයක් ලෙස “සූස්ති” හඳුන්වා දිය හැකිය.
හැත්තෑවේ දශකයේ දී ඒවන විට මේ වයසේ ම තරුණයෙකු යයි සිතිය හැකි ධර්මසේන පතිරාජ නම් සිනමාකරුවා තමන්ගේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂක අප මෙන් ම සිංහල සිනමාව ද බොහෝ දුරක් රැගෙන ආවේ ය.
මෙහි අධ්යක්ෂවරයා වැනි තරුණයින් අතින් සිදුවිය යුත්තේ පතිරාජලාගේ අභාවයත් සමඟ ගිලිහුණු බැට්න් එක රැගෙන ඉන් ඔබ්බට දිව යාමය. එහෙයින් මේ මොහොතේ හෝ ධර්මසේන පතිරාජගේ “පාර දිගේ” චිත්‍රපටයවත් නරඹනමෙන් ඔහුගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
“සූස්ති”මෙන් නාස්තියක් නොවන චිත්‍රපටයකට පදනම වැටෙන්නේත් ප්‍රේක්ෂක අපව මෙතනින් ඔබ්බට රැගෙන යාහැකි වන්නේත් එවිටය.