සංස්කෘ­තිය විසු­රුවා හැරීම | සිළුමිණ

සංස්කෘ­තිය විසු­රුවා හැරීම

දුන්න දුනු                      ගමුවේ

ඊතල කිතල                   ගමුවේ

රාල                           මීග­මුවේ

මුවෙක් හැඬු­වයි       සප­ර­ග­මුවේ  

සිංහල ගැමි වහරේ එන ඉහත කවිය පව­සන්නේ කුමක් දැයි ඔබට අමු­තු­වෙන් පැහැ­දිලි කළ යුතු නැතැයි සිතමි. විශේ­ෂ­යෙන්ම පසු­ගිය පාලන තන්ත්‍රයේ, ඒ කාල වක­වා­නුවේ දී මෙරට සංස්කෘ­තික කට­යුතු විෂය භාර අමා­ත්‍යාං­ශය සතු විෂය පථ­යන් විසු­රුවා හරි­න්නට කට­යුතු කළ  අයුරු දෙස බලන විට අර කවියේ අරුත වඩාත් දීප්ති­මත්ව මතු නොවන්නේ සිතා බැලීම වටී.  

ඕනෑම රජ­යක් බල­යට පත් වීමේ දි ඒ වෙනු­වෙන් ජන­තාව හමුවේ තැබෙන ප්‍රතිඥා ජන­තා­වට අමුතු කාරණා නොවේ. නමුත් ලොව පවත්නා කිසිදු රජ­යක් තම දේශයේ ජාතික සංස්කෘ­තික පාදම උදුරා දම­න්නට පොරොන්දු වී බල­යට පත් වෙන්නට සිත­න්නේ­වත් නැත. මෙර­ටට ද එය එසේම අදා­ළය. 

එහෙත් 1977 න් පසු මෙරට ඇති වූ දේශ­පා­ලන වෙනස හමුවේ තව­දු­ර­ටත් සම්භාව්‍ය හෝ සංස්කෘ­තික වටි­නා­කම් සහිත උසස් සාහි­ත්‍යය හැදෑ­රී­මෙන් මෝටර් රථ­යක් හෝ මිලට ගත හැකි දැයි ප්‍රසි­ද්ධියේ අසන නිර්ල­ජ්ජිත තැන­කට  ඒ රාජ්‍ය නාය­ක­ත්වය පත් වුණේ ය. 

එය ඇත්ත වශ­යෙන්ම නොදැ­නු­ව­ත්කම නොවේ. සිතා­ම­තාම නිර්මා­ණය කෙරුණ රාජ්‍ය මෙහෙ­යු­මක් ම වේ. ඒ අනුව පසු­ගිය රජය විසින් සංස්කෘ­තික කට­යුතු විෂ­යය විසු­රුවා හරි­මින් අදල ආය­ත­නය වැඩක් නැති, කාර්ය නිය­ම­යක් නැකි ආය­ත­න­යක් බවට පත් කර­න්නට ගත් උත්සා­හය සැල­කිය යුත්තේ 77 න් පසු ඇති කර­න්නට යෙදුණු අර තත්වයේ ම දිගු­වක් හැටි­යට ය.

පේරා­දෙ­නිය විශ්ව විද්‍යා­ලය පිහි­ටු­වීමේ ලා පුරෝ­ගාමී වු අයි­වර් ජෙනිංග්ස් ඒ නිසාම ඉති­හා­ස­යට එකතු වුණත්, මෙරට සංස්කෘ­තික කාන්තා­ර­යක් කිරී­මට ගත් විජා­තික උත්සා­හය හමුවේ ඔහු ද චෝද­නා­වට ලක් වුයේ ය. කෙසේ වෙතත් මෙය හුදෙක් දේශ­පා­ලන මත­යක් පිළි­බඳ ප්‍රශ්න­යක් නොවේ. 

මෙය වනාහි ඒ විජා­තික හස්තය විසින් හසු­රු­වන දේශ­පා­ලන ක්‍රියා­න්වි­ත­යක් වේ. 

ඒ අනුව ඔවු­න්ගෙන් යැපෙන ටොප් හැට් ටේල් කෝට්ධාරි දේශ­පා­ලන හැසි­රී­මක්  තම දේශ­පා­ලන පැවැත්ම වෙනු­වෙන් සිතා මතා ම නිර්මා­ණය කර­ගත් කාර්ය සාධ­­න­යක් වශ­යෙන් එය හඳුනා­ගැ­නීම වැද­ගත් වේ. වැඩි­දු­ර­ටත් කිය­නවා නම් එය වනාහි ට්‍රෝජන් කුම­න්ත්‍ර­ණ­යකි.  

ඒ අනුව ඔවුන්ගේ මුලි­කම කාර්ය­භා­රය වන්නේ මෙරට ජාතික සංස්කෘ­තිය යන්න සහ­මු­ලින්ම උදුරා ගලවා දැමී­මයි. ඒ වෙනු­වෙන් මූල­ධ­ර්ම­වාදී පුව­ත්පත් හා ප්‍රකා­ශන හරහා ප්‍රයෝ­ජ­න­යට ගැනෙන කුලී­කාර නර්මා­ලාප විචා­ර­ක­යින් විශ්ව විද්‍යාල මට්ටමේ උග­තුන් රාජ්‍ය නොවන සංවි­ධාන හරහා පැවැ­ත්වෙන සාහිත්‍ය සංවි­ධාන හා විද්වත් පර්ෂද තුළින් නිෂ්පා­ද­නය කෙරෙයි. 

ඒ අනුව ඔවුහු ස්වාධීන උග­තුන් නොවෙති. මොළ සේදී­මට ලක් වුවෝ ම වෙති. ඔවුහු සංස්කෘ­තික නියෝ­ජි­තයෝ නොවෙති. සංස්කෘ­තික සංහ­ර­කයෝ ම වෙති.

එසේ පුරුදු පුහුණු  කළ  නර්මා­ලාප න්‍යායා­චා­ර්ය­ව­රුන්ගේ කාර්ය­භා­රය වුණේ නග­රය මුල් කොට­ගෙන හැකි­තාක් දුරට ග්‍රාමීය ප්‍රදේශ ද ආව­ර­ණය වන ආකා­ර­යට ජාතික සංස්කෘ­තියේ මුදුන් මුල අනා­ගත වශ­යෙන් සහ­මු­ලින්ම විනාශ වී යන ආකා­ර­යට කට­යුතු කිරී­මයි. නර්මා­ලාප න්‍යායන් ඇති කිරීම යි. ඒ ආකා­ර­යට 77 න් පසුව 56 සංස්කෘ­තික ජය­ග්‍ර­හ­ණය මුළු­ම­නින් ම උදුරා දැමී­මට වපුල විෂ­බී­ජය නල්ල­තම්බි රැල්ල වශ­යෙන් හැඳි­න්වීම සුදුසු යැයි සිතමි.

බ්‍රිතා­න්‍යය යටත් විජි­ත­වාදී පාල­න­යෙන් නිද­හස් වීමේ ජාතික විමුක්ති සටන් ව්‍යාපා­රයේ  ශක්ති­මත්ම මූලය වූයේ මෙරට ජාතික සංස්කෘ­ති­කය යි ඒ මතින් ගොඩ නැගී ඊට ආම­න්ත්‍ර­ණය කළ සංස්කෘ­තික ව්‍යාපාර යි. තවද ඊට ම අනු­යුක්ත බෞද්ධ ප්‍රබෝ­ධ­යෙන් උපන් පාසැල් පද්ධ­ති­යෙන් බිහි­වන දරු­වන් මෙරට අනා­ගත නාය­ක­ත්ව­යට පත් වීමෙන් තමන්ට එළ­ඹෙන අනා­ගත දුර්භා­ග්‍යය මේ විජා­තික නර්මා­ලාප මූල­ධ­ර්ම­වා­දීහු හොඳින් දැන සිටි­යහ. 

ඒ අනුව 70 දශ­කය අව­සා­නයේ දී ඉති­හ­සය හා සාහි­ත්‍යය යන ජාතික සංස්කෘ­තික ධාරාවේ පුරෝ­ගාමී විෂ­ය­යන් පාසැල් පද්ධ­තිය තුළ ඉගැ­න්වීම “එපා වාහෙට හොදි බෙදන” ආකා­ර­යෙන් අක­ර්මණ්‍ය කිරීම සිතා මතා සිදු කළ  දේශ­පා­ලන ව්‍යාපෘති වේ. 

ඒත් සම­ඟම පුරා­විද්‍යා කැණීම් විෂ­ය­යි­කව සිතා මතාම සිදු කළ  සංහා­රක ක්‍රියා­ව­ලිය  ගැන පෙන්වා දෙමින් විද්ව­තුන් කීවේ මහා­චාර්ය පර­ණ­වි­තාන හැන්දෙන්, සියුම් ලෙසින් පස් ඉවත් කර­මින් කළ  කැනීම් කට­යුතු අද කෙරෙන්නෙ බුල්ඩෝ­ස­ර­යෙන්ය කියා ය. 

පසු­ගිය යහ­පා­ලන අණ්ඩු කාලයේ දී සංස්කෘ­තික දෙපා­ර්ත­මේ­න්තුවේ විෂය කට­යුතු විසු­රුවා හැරී­මට කට­යුතු කිරීම හුදෙක් අත­පසු වීමක් හෝ හුදෙ­කළා සංසි­ද්ධි­යක් නොවන බව වටහා ගත යුතුය.

කෙසේ වෙතත් අද වන විට මේ තත්ත්වය පහ­සු­වෙන් පරා­ජය කළ හැකි තැනක පව­ති­න්නක් ද නොවේ. වෛර­ස­යක ආකා­ර­යෙන් එය පොකුරු නිෂ්පා­ද­නය කර­මින් පවතී. ඒ අනුව ආණ්ඩු බලය මාරු වූ පම­ණින් ඒ දේ නිරා­යා­ස­යෙන්ම සිද්ද වන්නේ යැයි සිතිය යුතු නොවේ. 

මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ බසින් කිව­හොත් බමුණු කුලය බිඳ දැමු 56 ජය­ග්‍ර­හ­ණයේ ක්‍රියා­කා­රීන් විසින් ඉදි­රි­යට පමු­ණු­වන ලද ජාතික සංස්කෘ­තික ජය­ග්‍ර­හණ  සිල්ලර මට්ට­මින් විනාශ කිරී­මට කට­යුතු කිරී­මට බලා සිටින විජා­තික බල­වේග පැහැ­දි­ලි­වම කුම­න්ත්‍ර­ණ­යක් වේ. 

ඒ වෙනු­වෙන් වැටුප් ලබ­මින් මෙරට වෙසෙන ඒ කුම­න්ත්‍ර­ණයේ  නියෝ­ජි­ත­යින් සෑම  රැය­කම නින්දට යනවා හා සමා­න­වම සෑම උදෑ­ස­න­කම අවදි වන බව ද සිහියේ තබා ගැනීම වැද­ගත් ය. 

ඔවුහු, තමන්ගේ පැවැත්ම වෙනු­වෙන් ඕනෑම පාවා දීමක් කිරී­මට මේ මොහො­තේත් සුදා­න­මින් සිටිති.

Comments