කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

එකම පොළො­වක එකම අහ­සක් යට

එකම ජීවි­ත­යක
ගිළිහී වැටෙන සඳ
විය­ළුණු පතක්
දැනෙයි එහි දුක පොළො­වට...

මලක් පූදින කල
තුරු හිස
සුළඟ දිවැ­විත්
අහුලා ගනී එහි සුසු­වඳ...

අහස දුර යැයි හැඟු­ණද
හෙළන දයාර්ද්‍ර දිය බිඳු
තුරු ලතා­වට
පොළො­වට නොවෙද...

සැඟවී පොළෝ ළමැදේ
සිහිල උල්පත්
නිබ­ඳව ගලා නොහැ­ළේද...

මූල මණ්ඩල සැඟවී
පොළෝ ගැඹරේ
තුරු මඬුළු
ඔසවා නොහි­දිද..

වැසි බිඳක සැඟවූ කඳු­ළක
පව­නත පැවරූ සුසු­මෙක
තුටු හස­රැල්ල තබා කුසු­මෙක
මේ අප විඳිනු
එකම ජීවි­ත­යක රස නොවෙද...

චමින්ද රොෂාන්

 

පිං කුඹුරු

පිං කුඹුරු වලින්
ඇහි­ඳ­ගෙනා කරල්
තම්බා කොටා ඇගිටි අහුලා
දිගටි ඇඟිලි තුඩින්
මට අනා කැවු අම්මා...

පපුවේ හංගා­ගෙන ආද­රය
කොපුවේ ගහ­ගෙන මල් පිහිය ඉනේ
අතුරේ ඉහිරී නැති මල් තැලූ
ඉහිරී උතුරා ගිය ආද­රය තාත්තා...

වරු­වෙන් වරුව ඇහැ ඇරන්
දෙමා­රු­වට වැරුව නිදී
හද කකි­යන විට දුක දිදී
මට නිදි දුන්නේ අම්මා තාත්තා...

ලබා­ගෙන මහා මිල මුදල්
නම්බු­නාම නිල­තල උතුම්
යහ­පත් ගති ළඟ නිති පැස­සුම්
ලබන මා දකි­න්නට
මට වඩා පින් කළේ ඔවුන්

සමන් සුර­වීර ආරච්චි 
 

 

වික්ෂිප්ත සැන­සුම

අළු පාට එකතු වූ
පර­ඩැල් තැන තැන
එක ලෙසින් බදා ගෙන..

උච්ච ස්වර­යෙන් ගයන
උල ලේනි­ය­කගේ ගූඪ
ගී හඬ වධ දෙමින් ලව­න­තට..

කර­ව­ටක් වළ දැමු
අපුල වූ අතී­තය
ගෙල­වටා ඔච්ච­මට
කොක්සන් සල­මින් සිනා­සෙන
බකුසු ඇස් අතර
සන­සන්න කිසි­වෙ­කුත්
නැත තවම හමු­වුණේ...

මල් වැරු පළු ගසක
එල්ලෙන තොණ්ඩු­වක
දුක් විඳින ජීවි­තය
අතී­තය සිර කළා
ආත්මය සන­ස­මින්

මේදනී මැණි­ක්කු­ඹුර 

හරි­තා­ගා­රයේ යුව­තිය

මල් වවන රළු දෑත
මල් මැකුණ දිගු සාය
සීත නල මැද
සීත නළ ඇද
දිය බෙදන සම සමව...

බර පාව­හන් හැඳ
දුර පා තබා සොඳ
රුවන් සක්මන..
හිරු මුවා­කළ පියස
ඉහට හෙව­ණකි
හිතට නිව­නක් නැති...

නෙක පෑ මල් පිපෙන
තනි යායක් ය ලෝකය
සිහින විල­සින මල් නෙළන
මොහො­තින
සිහින මිලි­නව තනි­වන ...

සර­ත්චන්ද්‍ර බණ්ඩාර

 

නොසැ­ලෙන 
පිය­සෙ­නෙ­හස

හද­ව­තට ඔසු­පැන් පෙවූ 
වෙදැ­දු­රා­ණනි
පිරී සස­ලව තිබූ සිති­විලි
දැහැ­න්ග­ත­කොට 
නිද­න්කර දුන් හිමි සදා­ණනී
කටු ඇනී සිත් රිදුම් දුන්විට
සෙත් කවක්සේ ඔබ ­ව­දන් ඇසුණා..

දරා­ගෙන දුක් සු­සුම් සන්කා
නොනි­දනා රැය පහ­න්ව­න­තුරු
ළඟින් හිද ජීවි­තය මේ යැයි
මට කියා දුන්නා
මගේ නොඉ­ව­සුම් බස්මු­දා­හල
විටෙක ඔබ බෝසත් ගුණෙන් රැදුණා

නොසි­දෙනා ඉව­සුම් සුසුම් පිරි
හද­වි­ලෙහි දරු­පැ­ටවු පොඟවා
හෙට දිනන මන්පෙත් කියාදී
පිය­සෙ­නෙහෙ පිදුවා...

කරු­ණා­රත්න විජේ­ව­ර්ධන

 

ඉසි­ඹු­ලන පෙම

විහග ගී නැගෙයි ඈත හිද පාවෙලා
දම්පාට වලා­කුළු අඬ­ග­සයි ළංවෙලා
කණ කොකුන් රූ මවයි සීත­ලට තටු සලා
තුසර බිඳු විසි­රේවි අඳුර ළඟ ගුලි­වෙලා..

වැඩුණු මල් දලු පිපී හිනැ­හු­ණත්
වස­න්තයේ අඳුර ගලා යයි දස අතින්
වැටෙ­න්නට සිටි අකල් වැහි බිඳු අද­රින්
මල් බරව සැඟ­වෙයි වලා මැද තනි­යෙන්...

ප්‍රේමයේ දිය සිදුණු කළල් ගැටි­යට බරව
පිබි­දෙන්න විහඟ තුඩු පොහො­ට්ටු­වක් වී
එවිට අඩ අඳු­රේම සිනා­සෙනු ඇත පිනි­බි­ඳක්
අහිමි වූ නෙළු­ම්පත් සිසි­ල­කින් ගිම් දුර ගෙවූ

සංජය ප්‍රිය­ද­ර්ශන

 

නපුරු අහ­සට 
සඳ කී කව

නපුරු අහස උඹ
සඳ­ටත් එන්නට නොකි­යන
වියරු සිහින ගෙන
හද­වත හයි­යෙන් කොන­හන...

වළා­බ­රවු වැහි අඳු­රුම හව­සක
මා ආ බව නුඹ දුටු­වෙම නැති­වට
නුඹට නැතිව වෙන කාට කිය­න්නද
ඉව­සනු බෑ හද රිදෙන රිදු­ම්වල...

සොඳුරු වදන් කවි හිස පුර­වා­ගෙන
දිලෙන තාරුකා ගැබ අතු­රා­ගෙන
අතුරු මිතුරු හා විත පුරවා නුඹ
මා ආ දව­සෙත් නුඹෙ ඇස්වල රත !

සීත සඳුන් නළල'ත තව­රා­ගෙන
රත්ත­ර­නෙන් රන් තිලක තියා­ගෙන
ආවෙමි සෙනෙ­හස හද පුර­වා­ගෙන
අම­ත­කදෝ නුඹ හද දිළි සඳ­වත. 

කාශ්‍යප සත්‍ය­ප්‍රිය ද සිල්වා

 


ඇය ගිය පසු

ගෙදර මහ උළු­වස්ස 
රැක­වල්ලා සිටි­යෙමි
යන්න නොදී ඇයගෙ
මඟ වල­කන්න...

හතර අතින් පුපුරා ගිය
විවා­හයේ බිත්ති
ගරා වැටුණු පසු
යා හැකි තැන්
බොහො­ම­යක් ඇති බව
ඇය ගිය පසු දැනුණි

සඳ­රු­වන් කරු­ණා­ති­ලක

 

උදා­නය

අදත් පායලා රන් හිරු
ජීවි­ත­යම කල­එළි කර 
මෙතෙක් දිවියෙ නොදුටු අයුරු
රන් කෙඳි නිවි නිවි දිලි දිලි
පොල් අතු අත­රින්..

පෙරදා රෑ ඔබෙ නෙතු තරු
දිලි­සුණු ආලය තැවරී
මේ හිරු උණු­සු­මට වඩා
මා නිවුවා සීත නොදී
හදට තුරුලු වෙමින්..

ළබැඳි සබඳ අලුත් ලොවට
පිය නග­නෙමි ඔබෙ අත ගෙන
දනිමි සියලු රැක­ව­ර­ණය
ආද­රය ද එහි ඇති බව
අපෙ සෙනෙ­හස නමින්...

අලුත උපන් මල් දහ­සක
සුවඳ පැහැය හුස්ම වැදී
හදට උනයි රතු ලේ බිඳු
නැවත උප­ද්ද­මින්
අප අපගේ වෙමින්...

මංග­ලිකා පෙරේරා

 

ප්‍රේමය

දෙතැ­නක  වෙසෙන
ගොළු පෙම්ව­තුන් යුවළ
වීඩියෝ ඇම­තු­මක් ගෙන
හුව­මාරු කර ගනිති
සිත් පුරා පිරි හැඟුම්
ගොළු නොවූ ආද­රය
ගලා යයි සුන්ද­රව

මාලතී රූපිකා පුංචි­හේවා

 

සැඩ සුළඟ

සිත් අහ­සට
පායා ඇවි­දින්
වලා­කු­ළක් යට නතර වුණේ ඇයි
මගේ අහස් ගැබ අඳුරු කරන්...

පියා­ප­තක් සේ සුළ­ඟට පාවී
සැහැ­ල්ලු­වෙන් මට
තුරුලු වුණේ ඇයි
ජීවි­තයේ බර නොදැන ඉතින්...

ගංගා­වක් සේ ගලාන ඇවි­දින්
හද මිටි­යා­වත
තෙත් කෙරුවේ ඇයි
බංඩි ගොයම යට වේවි ඉතින්...

සැඩ සුළ­ඟක් වී නපුරු වුණේ ඇයි
සිත් අරණේ තැනූ සුන්දර පැල
මගේ කෑලි කැඩී විසි­රේවි එයින්...

ජී. ජේ අමරා ජය­කොඩි

 

අද අලුත් දව­සක්....

හිස්ව ගිය ජීවිත මධු බදුන
අරන් සුර­තින් පෙරා පුරවා
ජීවිතේ මධු බින්දු එකි­නෙක
ආදරේ නොඅ­ඩුව ම තවරා
බලන් සොඳු­රිය අහස සඳ දෙස...

නුරා තවරා වලා­වක් මත
මගේ ලව­නත ඔබේ වත මත
උම­තු­වෙන් මෙන් සොයයි මීවිත
නොතිත් තරු කැල රැය පහන් කළ
බලා සිටිය ද අප දෙදෙන දෙස...

ස්වේද වර තවරා පුරා රැය
වින්දා ද ඒ මධුර මධු­විත
හිස්ව ගිය අම බදුන පිරවී
වැගි­රෙනා විට ස්වේත මධු­විත
අඩ­වන් වු ඔබ නිල් දෙනෙත් යුග...

සදා මත­කෙට නැගෙන අරු­මය
බලන් මිහි­රිය අව­ර­ගිර දෙස
නුරා සඳ දැන් සෙමින් බැස යයි
අලුත් දව­සක් රැගෙන දිනි­සුරු
පෙර­ඹ­රින් විත් අපව අම­තයි...

සචිත් විජේ­සූ­රිය

 

සිර­ක­රු­වෙක්

ධවල සුසි­නිඳු බිතු පෙළට රැය
වැදුණු හීරුණු වවුල් තුඩ­කට
වැටී වර්චස් පිඬක් කිළු­ටැති
බිත්ති උලනා අදත් පින්සල...

ගලව ගලවා නිතින් නැග එන
හිතට වධ දෙන තරම් වල් පැළ
උදුර උදුරා නැඟුණු සර­තැස
වැඩෙයි වැට ඔබ අහිමි බිම දැක..

නිතොර ලඹ දෙන පිපෙන මල් වැල
උයන දුටු සැන නෙතුත් නව­තන
කොතැන වෙද හද සොයනු රිසි­යෙමි
ගෙවුණු දිවි ඔහු මතක ඇති කල..

පොතක් විව­රව තවත් හිනැ­හෙන
මියැ­සි­යක පද දෙකක් මිමි­ණෙන
නොවෙයි වෙණ තත් නැගෙන මොහො­තක්
සිරව පා සිත නිබඳ ලැගි තැන..

කොටුව දුම්රිය පළෙන් පෙර මඟ
තනා කුටි හඬ නැඟෙන සාදුව
පඩි­ප­තක අර­ග­ලය උන් අත්
නැඟෙන රුව කිසි දිනෙක දැක නැත

රණ­තුංග මල්ල­ව­ආ­රච්චි

 

ගබ්සා වූ ඇසළ සඳ නොහොත් කළු ජූලිය

සම­සක් පිරුණු දින­යක
අඳු­රින් වැසුණු අහ­සක
ගැබ්ගත් ඇසළ පුර හඳ
ගබ්සා කළෝ කවු­රුද...

වර්ජන හිසට ඉහ­ළින
තර්ජන කගය ලෙළ­දෙන
පීඩිත පංති සට­නට
නොපැ­කිල ඉහළ එස­වුන
අත්වල දිරිය ගිලි­හිණ
අසූවේ ජූලි­යෙදි
ගෙල වටා වැටුණු මල­පුඩු
අද දින පවා හිර වී
පිය­වරු අහිමි වී යත්...

ගිනි ගත් සහෝ­ද­ර­කම්
අහස් කඩ වසා නැගු­ණිය
පරවී ඇසළ සඳ
නට­බුන් මතට වැටු­ණිය
අසූ තුන ජූලි­යෙදි
කළු­වර ජයට බෝවුණි
මරු­වැල හැමට පෑගුණි
වෛර වෙඩි පිපි­රිණි
උණ්ඩ පපුවේ සිර­වුණි....

පර­මා­ධි­ප­ත්‍යයේ කුළු ගෙඩිය
හිස මතම පතිත කළ
තම හිසට සෙව­ණැල්ල
වූ අතද අහිමි කළ
අසූ හත ඇසළ සඳ
ගැබ් බව සැඟව ගත්
කාලය ද ඉක්ම ගොස්
මළ උප­ත­කට මුල් විණි
අහේ­තුක දින රහිත
මර­ණ­යක් උරුම විණි...

අබ මිටක් සොයා යන මවු­ව­රුනි
පුතු ඇට කැබලි දැක වුව
මළ බව නොඅ­ද­හන
දම්පල් පිය­ව­රුනි
ඔබගේ කඳුළු බිඳු­වෙනි
ගැබ් ගනු නියත අව­සඳ

සු.ප්‍රි. සම­ර­සිංහ

 

අදි­රද මළ­ගම

එව බලව මා යන මගෙහි
පයට පෑගෙන මුතු කැරලි 
සකල දේශය මිටින් ගත්
නිසල දෑතක හිස් ඇඟිලි...

සිය දහස් පා යුග ගෙවා
දිනු කඳු ගොඩ­නැ­ගිලි 
දොරින් දොර තුන්බිය මවා
නෙළූ අස්වනු ඇට­සැ­කිලි... 

මහ­ල්ලන්, මළ­වුන්, ලෙඩුන්
වෙසින් සුර­ලොව සිට පැමිණි
දසුන් පෙළ හඳුනා නොගත්
කුමට පල නැති නෙත් කළණි...

මගේ බැරි බර කර දරා
සිව් රියන් සොහො­නට පැමිණි
නොමළ ගෙය­කින් අබ සොයව්
වෙදැ­දු­රනි, කේව­ට්ට­යෙනි

ප්‍රියන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

රුවැ­ත්ති­යක එපා

නොප­තමි රුවැ­ත්ති­යක පියඹ කර­ගැ­නු­මට
සැම පිරි­මි­ය­කුම සොරා­ග­නීවි
ඇගේ  එක් හෝ බැල්මක්
නොප­තමි රුවැ­ත්ති­යක පියඹ කර­ගැ­නු­මට
අයිති නොවේවි ඈ හුදෙක් මට පම­ණක්ම
නොප­තමි රුවැ­ත්ති­යක පියඹ කර­ගැ­නු­මට

අව­ර්ණය ඈ නොවැ­ට­හේවි මට
ඇගෙ පියවි ගති සොබා
නොප­තමි රුවැ­ත්ති­යක
පියඹ කර­ගැ­නු­මට
රූ සිරිය වෙස් ප්‍රසං­ග­යකි
නොද­කීවි මා ඇගෙ පියවි වත

නොප­තමි රුවැ­ත්ති­යක 
පියඹ කර­ගැ­නු­මට
හකු­ළාවි ඈ මගේ නෙත්
හිරි­හැර කරාවි මගේ ආත්ම­යට
ගැඹුරු නිල් සයු­රක්ය ඇය

සමත් නොවේවි මා කෙදි­න­ක­වත්
පිහි­නන්ට ඈ හදේ ගැඹු­රුම ඉස­ව්වට
නොප­තමි රුවැ­ත්ති­යක පියඹ කර­ගැ­නු­මට
ධූම­යකි ඇය  කෙමෙන් සැඟව යාවි ඈතක
රතු විසකි ඇය  කා දමාවි මගේ මුළු ආත්මය
නොප­තමි රුවැ­ත්ති­යක පියඹ කර­ගැ­නු­මට

මුළා කර­ව­න­ සු­ලුය ඈ අහං­කා­රය, හිස්ය.
නොප­තමි රුවැ­ත්ති­යක පියඹ කර­ගැ­නු­මට

නයි­ජී­රි­යානු කිවි  Gideon Idudje ගේ  
පද්‍ය­යකි.

දේ . වි. ගාල්ලගේ

Comments